අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන්ට නඩු ….නීතිඥයින්, නිලධාරීන් හා විනිසුරුවරුන් කැඩපත දෙස බැලීමට පැකිලිය යුතු නැත

0

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරි දින කිහිපය තුල ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී සියලු නීතිඥවරුන් ඒකමතිකව තීරණය කර තිබේ.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥයන්ට අපහාස වන ආකාරයට කළ ප්‍රකාශ පිළිබඳ කරුණු දැක්‌වීම සඳහා රන්ජන් රාමනායකට දින දාහතරක කාලයක්‌ ලබා දුන්න ද එම කාලය අවසන් වීමට තවත් දින හතක්‌ පමණ තිබියදීත් රාමනායක නඩුවට සූදානම් බවට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

එම නිසා දින දාහතර යැමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම සතිය තුළ රාමනායකට එරෙහිව නඩු පවරන බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මාසික මහ සභා රැස්‌වීමේදී තීරණය කර තිබේ.

මේ අතර නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ ප්‍රකාශයකට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ගනු ලබන බව පැවසූ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ආසියානු මානව හිමිකම් කොමිසම දැඩි විවේචනාතමක ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එම කොමිසම විසින් සිය සති අන්ත පුවත් වෙත නිකුත් කළ නිවේදනයකින් පෙන්වා දෙන්නේ අධිකරණය හා නීතිඥයින් පවතින්නේ රටේ ජනතාවට ඔවුන්ගේ සමාජ තරාතිරම ලිංගිකත්වය ජාතිය හා භාෂාව නොතකා යුක්තිය ඉටු කර දීමට නමුත්, එම තත්ත්වය පිළිබඳව ඉතා බරපතල ගැටලු ලංකාවේ පවතින බව පෙනී යන බව ය.

එසේම නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනයාකගේ මෙන්ම ඕනෑම අයකු අධිකරණය හෝ න්නීතිඥවරයකු සමබන්ධයෙන් පවසන කාරණා හා ප්‍රකාශවලට එරෙහි වීම යනු එවැන්නන්ගේ භාෂණයේ නිදහස උදුරා ගැනීමක් වන බව එම කොමිසම වෙන්වා දෙයි.

නීතිඥයින්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා විනිසුරුවරුන් කැඩපත දෙස බැලීමට පැකිලිය යුතු නැත

ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය පුවත් පත් නිවේදනයක් කරමින් අධිකරණයට හා නීතිඥ වෘත්තියට විරුද්ධව කරන ලද යම් බරපතල විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන බවට තර්ජනය කොට ඇත. අපගේ මේ ප්‍රකාශයේ අරමුණ එම නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කරුණු කීම හෝ ඔහුගේ ප්‍රකාශය සාධාරණය කිරීමක් නොවේ. අධිකරණයට හෝ නීතිඥ වෘත්තියට විරුද්ධව විවේචන එල්ල කරන කාට විරුද්ධව වූවත් දඬුවම් පැමිණවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ එම විවේචනයන්ගෙන් සිදුවිය හැකි හානියට වඩා විශාල වශයෙන් වැඩි හානියක් සිදුවීම ය. මෙහිදී කීර්තිමත් ඩෙනින් ස්වාමිවරයා අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ ආරක‍ෂාව සඳහා යොදා ගැනීමේ අනුවණකම පිළිබඳව කරන ලද පහත සඳහන් ප්‍රකාශය නැවත මතක් කර ගැනීම සුදුසු යැයි සිතනවා.

“මේ අධිකරණ බලය කිසිම සැකයක් නැතිව අපට ඇතත් අප එය පාවිච්චි කළ යුත්තේ ඉතාමත් මසුරු ආකාරයෙනි. එසේ විශේෂයෙන්ම මසුරු විය යුත්තේ එය අපටම සම්බන්ධ වන අවස්ථාවේදීය. මා ඉතාම පැහැදිලිව කියා සිටින්නේ මෙම අධිකරණ බලය අපගේම ගෞරවය රැකගැනීම සඳහා කොයිම අවස්ථාවකදීවත් අප විසින් යොදා ගන්නේ නැත. එමෙන්ම අපට විරුද්ධව කථා කරන්නන් මර්දන කරගැනීම සඳහා ද මෙය අපි යොදාගන්නේ නැත. අප විවේචනයට බය නැත, අප එය නුරුස්සන්නේත් නැත. මන්ද යත් මෙහි අන් සියලූ දේට වඩා වැදගත් දෙයක් තර්ජනයට ලක්වේ. එය නම් භාෂණයට ඇති නිදහස ය.

පාර්ලිමේන්තුව වූවත් එයින් පිටතදී වූවත් මුද්‍රණ හෝ විකාශන මාධ්‍යයන් මගින් වූවත් පොදු යහපත පිළිබඳව ප්‍රශ්නවලදී ඉතා තදින් වූවත් අදහස් ප්‍රකාශ කිරීම සෑම කෙනෙකුට ඇති අයිතියකි. අධිකරණයක දී සිදු වන සියලූම කරුණු පිළිබඳව නිවැරදිව ප්‍රකාශයක් කිරීමට ද අයිතියක් ඇත. අප ‘අධිකරණය’ අතින් වරදක් සිදු වී ඇති බවත් හෝ අපගේ තීන්දු වැරදි බවත් එම තීන්දු අභියාචනයට යටත්ව තිඛෙන අවස්ථාවල හා නැති අවස්ථාවල ඒ ගැන තම මතය ප්‍රකාශයට පත් කළ හැකිය. අප ඉල්ලා සිටින්නේ එකම දෙයක් පමණි, අප විවේචනය කරන්නන් අපගේ ස්වභාවය හා නිලය නිසාම මෙම විවේචනවලට උත්තර දිය නොහැකි තත්ත්වයක පසු වන බව මතක තබා ගත යුතු බවය. ප්‍රසිද්ධ මත භේදවලට ඇතුළු වීමට අපට නොහැකිය. විශේෂයෙන්ම දේශපාලන මතභේද පිළිබඳව අපට කථා කළ නොහැක. අපව සාධාරණ කරගැනීම සඳහා අපට යොදා ගත හැක්කේ අපේම ක්‍රියාකලාපය පමණකි. විවේචනයේ මහා සුළංවලට අප මුහුණ දෙමින් සිටියත් මේ පුද්ගලයා හෝ වෙනත් පුද්ගලයෙකු කියන කිසිම දෙයක් අප විසින් නිවරදි යයි විශ්වාස කරන දේ කිරීමෙන් අපව පසු බැස්ස විය නොහැකිය. – ‘ඩෙනින් ස්වාමිවරයා රැජින එදිරිව මැට්රෝ පොලීසිය’

නීතිඥ සංගමයේ ප්‍රකාශයේ අප සුවිශේෂව කම්පනයට පත්වන්නේ පහත ඇති සඳහන් කිරීම ය.

“ලංකාවේ නීතිඥ සංගමය විශේෂ සැලකිල්ලෙන් සටහන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට විරුද්ධව, නීතිපතිවරයාට විරුද්ධව හා දැන් අධිකරණයට විරුද්ධව අයුතු හා අනවශ්‍ය පහරදීම් සම්බන්ධයෙනි.”

මේ අයුතු හා අනවශ්‍ය පහරදීම් මොනවාද? නීතිඥ සංගමය වැනි වැදගත් සංවිධානයක් වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට විරුද්ධව හා නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවට විරුද්ධව කෙරෙන අයුතු හා අනවශ්‍ය බලපෑම් මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත් කළ යුතුය.

1) ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් එනම්, පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාථමික කර්තව්‍ය පැහැර හැර තිබේ යැයි කීවොත් එය අයුතු හා අනවශ්‍ය ප්‍රකාශයක්ද?

2) ලංකාවේ රජයේ නඩු පවරන්නා වශයෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව සියලූම අපරාධ සම්බන්ධයෙන් අපක‍ෂපාතීව හා කාර්යක‍ෂම ආකාරයෙන් කටයුතු කර නැතැයි කීවොත් එය අයුතු හා අනවශ්‍ය විවේචනයක් ද? සමස්ත යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ සියලූම කොටස්කරුවන් අයුතු හා අසාධාරණ නඩු පමාකිරීම් මගින් නීතිය මත පාලනය තර්ජනයට ලක් වන තත්ත්වයක් ලංකාව තුළ ඇති කර තිබේ යැයි කීවොත් එය අයුතු හා අසාධරණ විවේචනයක් ද?

මේ කිසිදු විවේචනයක් අලූත් ඒවා නොවේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අධිකරණයේ හා නීතිඥයින්ගේ නිදහස පිළිබඳව වාර්තාකාරිනිය ලංකාව සම්බන්ධයෙන් මෑතක දී කරන ලද දීර්ඝ ප්‍රකාශය තුළ ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ ඇති බරපතල අඩුපාඩුකම් විශාල ගණනාවක් ලැයිස්තුගත කොට ඇත. අතීතයේ දී නීතිඥ සංගමය විසින්ම කර ඇති සමහර ප්‍රකාශ දෙස බැලූව හොත් අව්‍යාජව හා පැහැදිලිව ලංකාවේ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ඇති අඩුපාඩු හුවා දක්වා ඇති ආකාරය දකිත හැකිය. ආසියානු මානව හිමිකම් සංවිධානය ළඟදී නිකුත් කොට ඇති ‘වදහිංසාව අමානුෂික කෘෘර හා අවමන්සහගත නීති ක්‍රමයක ලක‍ෂණයක්’ යනුවෙන් ප්‍රකාශයට පත් කොට ඇති පොතක ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ පැන නැගී ඇති ඉතා විශාල අඩුපාඩුකම් නිසා ලංකාවේ ජනතාවට යුක්තිය සඳහා ඇති අයිතිය අහිමි වන ආකාරය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය එම සංගමයේම වෘත්තිකයන් ඔවුන්ගේ වෘත්තිය ඉටු කිරීමට යෑමේ දී රටපුරාම මුහුණ දෙන ගැටලු පිළිබඳව දැන සිටිනවාට සැකයක් නැත. නීතිඥ සංගමයම අධිකරණ ඇමතිවරයා විසින් ගැසට් නියෝගයක් මගින් අත්අඩංගුවට පත් වන සැකකරුවන් හමු වීමට නීතිඥයින්ට ඇති අයිතිය සීමා කරමින් නීති සංශෝධනයක් ගෙන ඒමට විරුද්ධව මැදිහත්වීමක් ද සිදු විය. නොබෝදා එක් නීතිඥවරයෙකු ඔහුගේ වෘත්තීය කටයුතු නිසා පැහැර ගෙනයෑමට ලක් වී එහිදී බරපතල පහරදීමකට ද තුවක්කුව පෙන්වා මරණ තර්ජන කිරීමකට ද, ලිංගික අපචාරයට ලක් කරන බවට තර්ජනයට ඔහු සතුව තිබූ මුදල් හා ටෙලිෆෝන් සොරා ගැනීමකට ද ලක් විය. මේ පිළිබඳව පසුව එම නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේ ඔහුට විරුද්ධව සිදුවූ අපරාධ පිළිබඳ පරීක‍ෂණය පොලීසිය හිතාමතා නොමග යවා ඇති බව ය.

අධිකරණය හා නීතිඥයින් පවතින්නේ රටේ ජනතාවට ඔවුන්ගේ සමාජ තරාතිරම ලිංගිකත්වය ජාතිය හා භාෂාව නොතකා යුක්තිය ඉටු කර දීමට ය. එහෙත් මෙම තත්ත්වය පිළිබඳව ඉතා බරපතල ගැටලු ලංකාවේ පවතින බව නොපෙනිය හැක්කේ අන්ධයෙකුට පමණි.

මොනයම් හේතුවක් නිසා හෝ යම් විවේචනයක් ඉදිරිපත් වන අවස්ථාවකදී එයට ඇහුම්කන් දී පවතින ගැටලු තේරුම් ගෙන ඒවා විසඳා ගැනීමට අවශ්‍ය රැඩිකල් වූවත් ගැනීම අවශ්‍ය වේ. එසේ කළ නොහැකි වූවොත් නීතිය මත පාලනයත් සාධාරණව යුක්තිය ඉටු කර ගැනීමත් සිහිනයක් පමණක් වනු ඇත.

නීතිඥ වෘත්තිය උතුම් වෘත්තියක් ලෙස පැවතිය හැක්කේ නීතිඥයිනන්ට යුක්තිය සඳහා සටනට මුහුණ දීමේ හැකියාව හා උවමනාව පවතින තාක් කල් පමණි. සටන්කාමී නීති වෘත්තියක් නැතිව ගියහොත් ඒ මගින්ම යුක්තිය සඳහා අරගලය ද යටපත් වී යනු ඇත.

කණ්නාඩිය දෙස හැරී බැලීමත් තමන්ගේ පෙනීමේ යම් දෝෂයක් දුටුවහොත් ඒවා නිවැරදි කරගැනීමත් විවේචනයට පිටුපෑමට වඩා යෝග්‍ය ය. එවැනි අවංකකම හා අව්‍යාජභාවයෙන් වරදක් සිදු වන්නේ නැත. එහෙත් කුහකව විවේචන මගහැරීමට උත්සාහ කළහොත් එය නීතිඥ වෘත්තියේ මෙන්ම අධිකරණයේ නිදහසටත් බියෙන් තොරව ජීවත් වීමට ජනතාවට ඇති අයිතියටත් තර්ජනයක් වනු ඇත. “

Ranjan Ramanayake