20 ඡන්ද අයිතියට හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතියට සෘජු බලපෑමක්..- 20ට ජනමත විචාරණයක් ඉල්ලා පැෆ්රල් සංවිධානය අධිකරණයට

0

යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමත විමසුමකින් පමණක් සම්මත කල යුතුය යන ස්ථාවරයේ සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට පැෆ්රල් සංවිධානය අද දින (28.08.2017) අංක SC SD 22/2017 යටතේ පෙත්සමක් ගොනුකරනු ලැබීය.

ඒ මූලික වශයෙන් කරුණු 3 ක් සම්බන්ධයෙන් සැලකිල්ලට ගනිමිනි.

1. 20 වන සංශෝධනය හරහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කල්යාමට ඇති හැකියාව

2. මෙම කාලසීමාව ඇතුළත පළාත් සභාවක/සභාවන් කිහිපයක නිල කාලය අවසන් වුවහොත් ඒවායේ බලය පාර්ලිමේන්තුවට පවරාගැනීම

3. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව ශක්තිමත් කල යුතු වටපිටාවක මැතිවරණ දිනය ප‍්‍රකාශයට පත්කිරීමේ බලය ස්වාධීන මැතිවරණ කොමිසමෙන් පාර්ලිමේන්තුවට පවරාගැනීම

20 වන සංශෝධනය හරහා ජනතාවගේ ඡන්ද අයිතියට හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතියට සෘජු බලපෑමක් එල්ලවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත නොකොට ජනමත විචාරණයකට ලක්කල යුතු බවට අප තරයේ විශ්වාස කරන අතර එයට 1982 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණය කල්දැමීමට අදාලව පැවති ජනමත විචාරණය පූර්වාදර්ශ සපයනු ඇත.

ව්‍යවස්ථා සම්පාදනයට පාර්ලිමේන්තුවට /ව්‍යවස්ථාදායකයට ඇති අයිතියට ගරු කරමින් හා පිළිගනිමින් එහෙත් එම ක‍්‍රියාවලිය ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝනය නොවන ආකාරයට සිදුවිය යුතු යැයි අප තරයේ විශ්වාස කරන බැවින් මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.

එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණය එකම දිනයක පැවැත්වීමට නීති සම්පාදනය කිරීමට රජය දරණ උත්සාහය අප අගය කරන අතර එමගින් මැතිවරණ කල්දැමීමට ලක්වන්නේ නම් අප ඊට එරෙහිවෙමු.

රජයට එකම දිනයක මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් යෝජිත මැතිවරණ එසේම පවත්වාගනිමින් අදාල නීති සංශෝධන කර ඉදිරි පළාත් සභා නිල කාලය ආරම්භවීමෙන් අනතුරුව එය ක‍්‍රියාවට නැගෙන ආකාරයෙන් සංශෝධන ගෙන ආහැකි බව අවධාරණය කරනු කැමැත්තෙමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

PAFFREL