සරත් ෆොන්සේකා හමුදාපති කෙනෙක්ද?… ඇලෝසියස්ලාගේ හෙළුව වහන්න බැඳුම්කර හොර පත්තරේ පිටුවලට බෑ

0

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රණවිරුවන් පාවදෙන ආකරය දෙස බැලුවිට ඔහු හමුදාපති කෙනෙක්ද? යන්න සැක මතුවන බව දකුණු පළාත් සභා මන්ත්‍රි චන්දන සිරිබද්දන පවසයි.

මුලටියන ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ රටේ කොඳු නාරටිය බිඳ දමමින් ආර්ථිකය වළපල්ලට ඇද දැමූ මහා බැඳුම්කර හොරකම, බැඳුම්කර කොමිසම හමුවේ එකින් එක ඔප්පුවෙන විට අර්ජුන් ඇලෝසියස්ලාගේ රෙදි ගැලවෙන බවත් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට බැඳුම්කර හොර පත්තරේ පිටු ප්‍රමාණවත් නොවන බවයි.

“අද අපේ රණවිරුවන් පාවා දෙන්නෙ ෆීල්ඩ් මාර්ෂල් කියන හිටපු හමුදාපතිතුමා. අපිට සැකයක් තියෙනවා ඔහු හමුදාපති කෙනෙක්ද කියලා. හමුදාවේ අභ්‍යන්තර ප්‍රශ්න එළියට දාල රණවිරුවන් පෝරකයට යවන්න කටයුතු කරන මොහුගෙ ෆීල්ඩ් මාර්ෂල්කම අහෝසි කළ යුතුයි. මේ දේශද්‍රෝහී ප්‍රකාශය මුළු මහත් ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙලා ඉවරයි.”

“වර්තමානය වන විට බැඳුම්කර හොර මගඩිය එකින් එක ජනාධිපති කොමිසම හමුවේ හෙළි වෙනවා. ඇතැම් අමාත්‍යවරුන්ගේ මේ වන විටත් රෙදි ගැලවී හමාරයි. මෙම හොරකම ලෝකයා හමුවේ වසන් කිරීමට විවිධ මාධ්‍ය කුලියට ගත්තා. මාධ්‍යවේදීන් කුලියට ගත්තා. හොර සල්ලිවලින් පත්තර ගැහුවා. හැබැයි ඒ හොර පත්තරයට මෙම මහා හොරකම වසන් කිරීමට නොහැකිව පරාජිත වී සිටිනවා. මොවුන්ගේ නිරුවත දැන් රටටම හෙළිවී හමාරයි.”

“ඊයේ පෙරේදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 66 රැලියක් කොළඹ කැම්බල් පිටියේ තිබුණා. ඒකේ හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උදවිය නොවෙයි. යූ. එන්. පී. පාක්‍ෂිකයෝ. ඔවුන්ගේ සටන් පාඨ වුණේ අපි රනිල්ට රනිල් අපිට කියලා. කවුරුවත් කිව්වේ නෑ. අපි මෛත්‍රිට කියල ඔන්න ඔහොම තමයි 66 සැමරුවේ.”

Chandana Siribaddana