Home / Featured / මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය ගැන සිරසේ අවලාද වලට රනිල් පිළිතුරු දෙයි…තමන්ගේ ව්‍යාපාර තර කරගැනීමට තමන්ගේම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නෑ

මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය ගැන සිරසේ අවලාද වලට රනිල් පිළිතුරු දෙයි…තමන්ගේ ව්‍යාපාර තර කරගැනීමට තමන්ගේම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නෑ

කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය

පසුගිය සති දෙක තුන පුරා එක්තරා මාධ්‍ය ජාලයක් මඟින්, වහල කියන්න ඕනෑ නැහැ සිරස මාධ්‍ය ජාලය මගින් මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගෙන යන ද්වේෂ සහගත අවලාද සහ මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් මෙම ගරු සභාවටත්, මෙරටේ ජනතාවටත් සත්‍යය පැහැදිලි කිරීමේ අරමුණ ඇතිවයි.

මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය ලද සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25 ක්, එනම් මිලියන 25,000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ලබා දීමට අපිට හැකි වුණා.

ශ්‍රී ලංකා රජයේ සහ ජපන් රජයේ මැදිහත්වීම් නිසා ව්‍යාපෘතිය පිළිබඳව සාධනීය වෙනස්කම් ගණනාවක් සිදු කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ අනුව කොන්ත්‍රාත්තුව හිමි වූ ටයිසෙයි සමාගම සමඟ සාකච්ඡා කොට රුපියල් බිලියන25 කින්, එනම් මිලියන 2500 කින් වියදම අඩු කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකි වුණා.

දැන් මේ මාධ්‍ය ජාලයට කේන්ති ගොස් තියෙන්නේ වියදම බිලියන 25 කින් අඩු කිරීම නිසයි. මේ මාධ්‍යය අපට අවලාද නගන්නේ බිලියන 25 ක මුදලක් එනම් මිලියන 25,000 ක් රටට ඉතිරි කර දීම නිසයි. ඒ සා විශාල මුදලක් ඉතිරි කර දීම පිළිබඳ අවලාද නැගීමට ඔවුන් තවත් අසත්‍ය කරුණු ගණනාවක් ප්‍රකාශ කරනවා.

හරියටම සංඛ්‍යා ලේඛන සඳහන් කළොත් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන රුපියල් බිලියන159 (159,659,226,919.24) ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහාමාර්ග අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, එය රුපියල් බිලියන 134 ක් දක්වා (134,905,155,000.00) දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

අපේ මැතිවරණ ප්‍රකාශනයේ කොළඹ – නුවර අධිවේගී මාර්ගය පිළිබඳව අපි ජනතාවට පොරොන්දුවක් ලබා දුන්නා.

අද කොළඹ ඉදලා නුවර යන්න පැය හයක් විතර ගත වෙනවා. මෙම වැය වන කාලය, ඉන්ධන හා මහන්සිය සලකා බැලූ විට මෙය ජාතික අපරාධයක්. කොළඹ නුවර අධිවේගී මාර්ගය තනි ව්‍යාපෘතියක් නෙවෙයි. එය මහනුවර නගර සංවර්ධන සැලැස්මේ කොටසක්.

අපේ සැලැස්ම අනුව මහනුවර කේන්ද්‍ර කොට ගෙන සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වනවා. බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් ඉදිවනවා. කෘෂි තාක්‍ෂණික සංවර්ධන ව්‍යාපෘති ඇරඹෙනවා. තොරතුරු තාක්‍ෂණ උද්‍යානයක් ඉදිවෙනවා.

ජපානය යෝජනා කර ඇති කර්මාන්ත පුරය සඳහා ද අප තෝරා ගෙන ඇත්තේ මහනුවරයි. මේ සියළු කාර්යයන් සඳහා මධ්‍යම අධිවේගී මාර්ගය අතිශය වැදගත් වනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේ පොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්. වමේ මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වෙනවා. කොන්ක්‍රිට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස් තියෙනවා. ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර 5.05 ක්.

ඒ වගේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 කුත් මේ මාර්ගයට අයත් වනවා. ඒ වගේම පාරිසරික හානි අවම කර ගැනීම සඳහාත්, විශේෂ ක්‍රියා මාර්ග ගණනාවක් මාර්ගය ඉදි කිරීමේදී සිදු කළ යුතු වෙනවා.

මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රිට් කණු මත ඉදි කළ යුතු ස්ථානයන්හි එසේ කළේ නැහැ. පස් පුරවා මාර්ගය ඉදි කළා. ඒ නිසා පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වුණ බව අපි දන්නවා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදිවුණු අනෙක් අධිවේගීමාර්ග වලට වඩා සංකීර්ණයි. මගෙන් ප්‍රශ්න කරල තිබුණ එක කිලෝමීටරයක් සඳහා වැය වන මිල වැඩි ඇයි කියලා. මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඊට හේතු දක්වා තිබුණා.

2015 මාර්තු 27 වන දා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති නොබිහිතො හොබො මහතා දන්වා සිටියේ මෙවැනි සංකීර්ණ ව්‍යාපෘතියක් සඳහා ජපානයේ දැනුම සහ අත්දැකීම් බහුල බැවින්, උසස් තාක්‍ෂණය සතු ජපාන සමාගම් මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීම සුදුසු බවයි. එසේ වෙතොත් ජපාන රජය සහය දැක්වීමට සූදානම් බවත් එතුමා දැන්වූවා. ඒ ලිපියේ ජපාන සහය ලබා දිය හැකි ආකාරයන් දෙකක් පිළිබඳව සඳහන් කර තිබුණා.

රටවල් දෙකක ආණ්ඩු අතර ඍජුවම සිදුවන ව්‍යාපෘති හා ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිල අයිතිය ඇත්තේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටයි. ඒ අනුව ඔවුන් මේ පිළිබඳව සාකච්ඡා කොට නිරීක්‍ෂණ හා නිර්දේශ ඉදිරිපත් කළා.

ජයිකා ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අනුව සම්පූර්ණ ණය මුදල ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ඔවුන් දන්වා සිටියා. වසර තුනක කාලයක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට අප බලාපොරොත්තු වන නිසා වඩාත් ප්‍රායෝගික වන්නේ මිට්ෂුබිෂි බැකුව මගින් ණය ආධාර ලබා ගැනීම බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැන්වුවා. ඒ නිසා ව්‍යාපෘතිය සඳහා ණය ආධාර ලබා ගැනීම පිළිබඳව දැන් ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ සාකච්ඡා තවම අවසන් වී නැහැ. ලබා ගන්නා ණය මුදල පිළිබඳවත් තවම අවසන් තීරණයකට එළැඹී නැහැ. එදා මෙයාල කතා කරේ මේ ඔක්කොම අපි අවසන් කරා කියලයි. නමුත් මම ඉදිරිපත් කළේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවයි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී අදියර ගණනාවක් සදහා මුදල් අවශ්‍ය වෙනවා. ඉඩම් අත්පත් කර ගැනීම. වෙනත් ස්ථානවල පදිංචි කිරීම. මාර්ගය ඉදි කිරීම. අප බලාපොරොත්තු වෙන්නේ ඉඩම් අත්පත් කරගැනීම සඳහා දේශීය බැංකු හරහා ණය මුදල් ලබා ගැනීමටයි. ඒ ගැනත් දැන් දේශීය බැංකු සමඟ සාකච්ඡා පැවැත්වෙනවා.

ජපාන රජයේ අදහස් අනුව 2016.06.22 වැනි දා ජපාන සමාගම් තුනක් වෙත මිල ගණන් කැඳවීමේ ලිපි නිකුත් කළා. නමුත් ඊට නිසි ප්‍රතිචාර ලැබුණේ නැහැ. එක් සමාගමක් පමණක් මිල ගණන් ඉදිරිපත් කළත් එහි තාක්‍ෂණික අඩුපාඩු තිබුණා.

මේ තත්වය මත මිල ගණන් අලූතින් කැඳවමින් ජපන් සමාගම් වෙත යළිත් ලිපි නිකුත් කිරීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2016.10.26වන දා තීරණය කළා. මේ තීරණය සඳහා කැබිනට් අනුමැතිය ද ලැබුණා. මිල ගණන් කැඳවීමේ ලිපි 2016.11.03 දා නිකුත් කළා. මේ ඔක්කොම කරන්නෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මතයි. අදාළ කැබිනට් පත්‍රිකා මහාමාර්ග අමාත්‍යාංශයත්, මගේ අමාත්‍යාංශයත් ඉදිරිපත් කළා.

මේ අවස්ථාවේ ජපානය ඉල්ලා සිටියේ මිල ගණන් කැඳවීම සඳහා ෆුජිටා සමාගමට ද ආරාධනා කරන ලෙසයි.

එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානී කෝජි යගී මහතා විසින් 2016.11.23 වන දා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබුණා. ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව එම ඉල්ලීම අනුමත කොට ෆුජිටා සමාගමට ද අවස්ථාව ලබා දී, මිල ගණන් ඉදිරිපත් කිරීමේ අවසන් දිනය සතියකින් කල් තැබුවා. මේක ජපාන තානාපති කාර්යාලයෙන් කරපු ඉල්ලීමක්.

මිල ගණන් ඉදිරිපත් කළේ ජපාන සමාගම් දෙකක් පමණයි. ෆුජිටා සමාගම රුපියල් බිලියන 147 (147,704,000,000) යි. ටයිසෙයි සමාගම බිලියන 159 (159,659,226,919.24) යි.

මේ මිල ගණන් අනුව, අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගමට කොන්ත්‍රාත්තුව ලබා දීම සුදුසු බව 2016.12.06 වන දා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

මේ අවස්ථාවේ කැබිනට් මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා කමිටුව එනම්(CANC) දන්වා සිටියේ අඩුම ලංසුව ඉදිරිපත් කළ ෆුජිටා සමාගම ඉතා වැදගත් සාධක දෙකක් සම්බන්ධයෙන් සුදුසුකම් සපුරා නැති බවයි. පසුගිය වසර 10 ක කාලය තුළ ෆුජිටා සමාගම මෙවැනි විශාල මහාමාර්ග ඉදිකිරීමක් සිදු කර නොමැති වීම ඊට හේතුවයි. ඔවුන් මේ තත්වය කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.

ඒ නිසා ඊළඟට ගත යුතුව තිබුණු පියවර වූයේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අනෙක් අයතනය වූ ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කිරීමයි. ඔවුන් සමග සාකච්ඡා කොට මිල ගණන් අඩු කර ගැනීමට උත්සාහ කළ යුතු යැයි ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව 2017.01.04 දින තීරණය කළා. මෙම තීරණයට ද කැබිනට් අනුමැතිය ලැබුණා.

කැබිනට් මණ්ඩලය විසින් පත්කළ සාකච්ඡා කමිටුව (CANC) 2017.03.17 වන දා කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ කළේ ටයිසෙයි සමාගම සිය මිල ගණන් අඩු කිරීමටත්, දින 365 ක් ඇතුළත ඉදි කිරීම් තම මුදලින් ආරම්භ කිරීමටත් එකඟ වී ඇති නිසා, ඔවුන් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සුදුසු බවයි.

2017 අප්‍රේල් මාසයේ මම ජපානයේ සංචාරය කළ අවස්ථාවේ දී නැවතත් ඉසුමි මහතා සහ ඔහුගේ කණ්ඩායම හමුවුණා. එහිදී සාකච්ඡා කළේ මෙම ඉදි කිරීම සඳහා ෆුජිටා සමාගම ද එක්කර ගැනීමේ හැකියාවක් තිබේද යන්නයි. ඒ බව ලිඛිතව ඉදිරිපත් කරන ලෙස අප දැන්වූවා.

ඒ අනුව 2017.04.12 වන දා ජපානයේ කැබිනට් මණ්ඩලයේ විශේෂ උපදේශක සහ ආර්ථික සහයෝගීතාවය පිළිබඳ තානාපති ෂිගෙරු කියමා මහතා ජපාන රජය වෙනුවෙන් මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා.

එම ලිපියේ මෙහෙම සඳහන් වෙනවා.

“මේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරිපත් වී ඇති අනෙකුත් ජපන් සමාගම් සමගම ෆුජිටා සමාගම වෙත ද විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නම් එය ජපන් රජයේ අගැයීමට ලක්වනු ඇත.”

පසුගිය අවුරුදු 10 තුළ ඔවුන් මේ තරම් විශාල තනි ව්‍යාපෘති සිදු කර නැතත් 1989වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 750 ක මාර්ග ව්‍යාපෘති සිදු කර ඇති බවත්,පසුගිය වසර තුන තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1100 ක ව්‍යාපෘති නිම කර ඇති බවත් ඒ ලිපිය මගින් අපට දැනුම් දුන්නා. ඒ කියන්නේ මේ වගේ විශාල ව්‍යාපෘතියක් වසර 10 කට කලින් ඔවුන් කරල තියෙනව කිව්වා.

ජපාන රජය එවැනි ඉල්ලීමක් කළ නිසා, කොන්ත්‍රාත්තුව පිළිබඳව යළි සලකා බැලිය හැකි දැයි යන්න ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුවේ අවධානයට ලක් වුණා.

2017.05.24 වන දා ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව මේ තත්වය ජපාන රජය වෙත දන්වා යැවීමට තීරණය කළා. ජපාන තානාපතිතුමන් වෙත මේ බව දන්වා සිටි අවස්ථාවේ එතුමා පැවසූයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රීති මත සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.

එතන දී ශ්‍රී ලංකා නීති රීති අනුව ගත හැකි ක්‍රියා මාර්ග දෙකක් තිබුණා.

පළමුවැන්න මිල ගණන් කැඳවීම් අවලංගු කොට යළිත් අලූතෙන් මිල ගණන් කැඳවීම. මේ ව්‍යාපෘතිය පිළිබඳ ඉංජිනේරු ඇස්තමේන්තුව බිලියන 123.5 ක් නිසා, ඒ බවද අවධාරණය කරමින් ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කොට,ඔවුන් ඉදිරිපත් කළ ලංසුව අඩු කර ගැනීමට උත්සාහ කිරීමයි. ඇත්ත වශයෙන්ම ඒ අය ලබා දුන් මිල ඇස්තමේන්තු මිලට වඩා වැඩියි.

පළමු විකල්පයට ගියහොත් එය ව්‍යාපෘතිය ඉදි කිරීම තව තවත් කල් යන්ට හේතුවක් වන නිසා ටයිසෙයි සමාගම සමග සාකච්ඡා කිරීම වඩාත් ප්‍රායෝගික වුණා.(CANC) ඔවුන් සමග සාකච්ඡා කළා.

අවසානයේ බිලියන 134.9 ක් දක්වා ලංසුව අඩු කිරීමට ඔවුන් එකඟ කරගැනීමට හැකි වුණා. මෙය ෆුජිටා සමාගම කලින් ඉදිරිපත් කළ ලංසුවට වඩා බිලියන 7 ක් එනම් මිලියන 7000 ක් අඩුයි.

ජපානය සමග කලින් සාකච්ඡා කළ පරිදි සමාගම් දෙකම ඒකාබද්ධව ඉදිකීරීම් සිදු කිරීමේ හැකියාව ගැන සලකා බැලීමටත් අප ඉඩ දුන්නා.

ඒ අනුව ටයිසෙයි සමාගමට ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමත්, ටයිසෙයි සමාගමට සහ ෆුජිටා සමාගමට එකට එක්ව වැඩ කිරීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමත් සුදුසු බව ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව තීරණය කළා.

මේ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ටයිසෙයි සමාගමට රුපියල් 134,905,155,000 කට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමටත්, ඒ සඳහා මූල්‍ය සහයෝගය ටෝකියෝ මිට්ෂුබිෂි බැංකුවෙන් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකා රජය එකඟ වන කොන්දේසි මත ටයිසෙයි හා ෆුජිටා සමාගම් ඒකාබද්ධව ඉදිකිරීම් සිදු කිරීමට අවස්ථාවක් ලබා දීමටත් 2017.07.11වන දා කැබිනට් අනුමැතිය ලැබුණා.

2017.08.11 වන දා මම ජපාන අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදේශක ආචාර්ය හිරොතො ඉසුමි මහතා හමුවුණා. මෙතෙක් සිදු වූ සියළු සිදුවීම් පිළිබඳව අප සාකච්ඡා කළා.

2017.08.28 වන දා ටයිසෙයි සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ෆුජිටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විසින් මහාමාර්ග අමාත්‍යතුමන්ට ලිපියක් එව්වා. ඒ ලිපියේ මෙසේ සඳහන් වෙනවා.

“ජපාන සහ ශ්‍රී ලංකා රජයන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින්, අප සමාගම් දෙක ඒකාබද්ධව ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.” මේ අනුව මට එන ආරංචි හැටියට තුන් වන අදියරේ කොටස් දෙකට බෙදා ගෙන ටයිසෙයි සහ ෆුජිටා සමාගම් වැඩ කරනවා. ඒ නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු මීට වඩා කෙටි කාලයකින් ඉවර කරන්න පුලූවන් වෙනවා. ඒ වගේම මෙම අධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර චීනයත්, දෙවන අදියර ලංකාවේ දේශීය සමාගම් සහ තුන් වන අදියර ජපානයත්, හතර වන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවත් එක් වේවි. බලාගෙන යන කොට මේක ජාත්‍යන්තර පාරක්.

මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ සියළු කටයුතු නිසි පරිදි, නිත්‍යානුකූළව සිදු කර තියෙනවා. මේ පිළිබඳ ගත් තීරණ පුද්ගලික තීරණ නෙවෙයි. ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අනු කමිටුව, සාකච්ඡා කිරීමේ කමිටුව සහ කැබිනට් මණ්ඩලය ගත් තීරණ. මේ පිළිබඳව ජපාන රජයේ උපදෙස් අපට ලැබුණා. තවමත් ලැබෙනවා.

නමුත් එක්තරා මාධ්‍ය සමාගමකට, එනම් අපේ සිරස සමාගමට ප්‍රශ්නයක් වී තියෙන්නේ ඉදිරිපත් කළ මිලට වඩා රුපියල් බිලියන 25 ක් එනම් මිලියන 25000ක් අඩුවෙන් මේ ව්‍යාපෘතිය ඉදි කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම පිළිබඳවයි. මිලියන 25000 ක් අඩු කර ගත්තු නිසා මට හොරා කියනවා. ඇත්තටම හොරකම් කළා නම් මොකද කියන්නේ…

මිලියන 25000 ක ලාභයක් රටට ලැබීම ගැන මේ මාධ්‍ය ආයතනයට සිත් වේදනාවක් ඇති වී තියෙන්නේ ඇයි? ඇයි අඩන්නේ? ඇයි අපට දොස් කියන්නේ?

මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ කාටද කියලා මේ මාධ්‍ය ආයතනය ප්‍රශ්න කරනවා. අපි මේ මාර්ග හදන්නේ රටේ මහජනතාවටයි. මහනුවර ජනතාව මේ මාර්ගයේ වාසි ලබා ගැනීමට ඇඟිලි ගනිමින් සිටින බව ආචාර්ය සරත් අමුණුගම මහතා දන්නවා.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දන්නවා. රවුෆ් හකීම් මහතා දන්නවා. මේ මාර්ගයේ අවශ්‍යතාව ජනතා හදවත් දන්නවා. මේ මාර්ගය ඉදිකිරීම නිසා වාසි ලබන්නේ මහජනතාවයි.

මහජනතාව ලැබිය යුතු වාසි උදුරා ගැනීමට උත්සාහ කරන මහරාජාවරුන් තවමත් අපේ සමාජයේ ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජය සේවය කරන්නේ මහජනතාවටයි. මහරාජාවරුන්ට නෙවෙයි. ඒ නිසා අධිවේගී මාර්ග තැනීම මහරාජාවරුන්ට වැඩක් නැති වැඩක් වෙන්න පුළුවන්. වාසියක් නැති වැඩක් වෙන්න පුළුවන්. ඒත් මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වාසියක්. මහජනතාවට මේ සංවර්ධන ව්‍යාපෘති වැඩක් ඇති වැඩක්.

මම මෙහිදී තවත් කරුණක් අවධාරණය කරන්නට කැමතියි.

විදේශීය සමාගම් කොන්ත්‍රාත් ලබා ගනිද්දී දේශීය ඒජන්තවරුන් ලෙස ලංකාවේ සමාගම් පත් කරනවා. සමහර සමාගම් ප්‍රසිද්ධියේම ඒජන්තවරුන් ලෙස පෙනී සිටිනවා. සමහරු ඒජන්තකම් කරන්නේ තිරය පිටුපස සිටයි. එවැනි ඒජන්තවරුන්ට බිලියන 25 ක් කියන්නේ ඉතා විශාල මුදලක්. ප්‍රසිද්ධ අයට ටැක්ස් වදිනවා, සල්ලි ලැබෙනවා. එයාලට ප්‍රශ්නයක් නැහැ. තිරය පිටුපස ඉන්න අයට තමයි ප්‍රශ්නෙ.

වැදගත් තැනක මුල් තැනට පත් විය හැක්කේ අවංකව කැපවීමෙන් හා වෙහෙසීමෙන්. බොරුවෙන් හෝ වංචාවෙන් නෙවෙයි. තමන්ගේ ව්‍යාපාර තර කරගැනීමට තමන්ගේම මාධ්‍ය ජාල භාවිත කිරීම සදාචාර සම්පන්න නැති බව පමණක් මම මෙහිදී සඳහන් කරන්නට කැමතියි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

2 comments

  1. pһân phối cһung cư vinhomes smart city

  2. phân phốichung cư vinhomes smart city