නව ආදායම් පනත සම්මත කලේ IMF කොන්දේසි වලට…. ඉදිරියේ තනි පුද්ගල කුඩා ව්‍යාපාර කඩාවැටෙනවා….

0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකිරීමට නව ආදායම් පනත සම්මත කරගත් බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

නව දේශීය ආදායම් පනතක් පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විම හා මෙම පනත මගින් සිදුවන හානිකර සමහර දේවල් සම්බන්ධයෙන් සංශෝධන සිදුකරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද වාර්තා වන අන්දමට ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කළ පනතට එවැනි සංශෝධන කිසිවක් අඩංගු වී නැති බව පවසමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ (08) මාධ්‍ය සාකච්ඡාවේදි සදහන් කළා.

“ආණ්‌ඩුව මේ පනත ගෙන ආ විදිහ ප්‍රශ්නයක්‌. සාමාන්‍යයෙන් පනතක්‌ ගෙන ඒමට පෙර පනත් කෙටුම්පතක්‌ ගැසට්‌ කළ යුතුයි. එහිදී පනතෙහි යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ජනතාවට අධිකරණයට වුවද යැමට හැකියාව තිබෙනවා. එසේ ගැසට්‌ නොකර හදිසියේම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක්‌. අඩුම තරමේ ජනතාවට පමණක්‌ නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා මේකට විරුද්ධ වෙන්න වෙලාවක්‌ තිබුණේ නැහැ. මේක කලින් ගැසට්‌ කරලා අධිකරණයට ගියා නම් සංශෝධන සහිතව සම්මත කර ගන්න තිබුණා. එම නිසයි ආණ්‌ඩුව හදිසියේම පනත ගෙනැල්ලා සම්මත කර ගත්තේ.”

“නව පනතින් ජනතාවගේ වැටුපට බදු ගහලා තිබෙනවා. සැලකිය යුතු සමාගම් බදුවලින් නිදහස්‌ කරලා. විශාල සමාගම්වලට බදු අඩු කරලා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු වැඩි කරලා. විශාල සමාගම් ඉදිරියේ තනි පුද්ගල කුඩා ව්‍යාපාර කඩාවැටෙනවා. “

“සම්මත වූ නව පනත හරහා බදු පරිපාලනය සහ එකතු කිරීම පෞද්ගලීකකරණය වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම කොන්දේසිය ඉටු කිරීමට තමයි හදිසියේම ආණ්‌ඩුව මේ පනත සම්මත කර ගත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය වාරිකය ලබා ගැනීම තමයි ආණ්‌ඩුව මේ සූදානම් වෙන්නේ.”