Home / විශේෂාංග / ජනතාවගේ භාෂා අධිකරණ බලය ආරක්ෂාකර ගැනීම සදහා…….

ජනතාවගේ භාෂා අධිකරණ බලය ආරක්ෂාකර ගැනීම සදහා…….

ජනතාව පාලනය කරන ප්‍රධාන මෙවෙලම නීතියයි. ප්‍රජාවක සෑම දෙනාම නීතියෙන් බැදී සිටින අතර කිසිදු තැනැත්තකුට ඉන් බැහැරවී යා නො හැකිය. නීතිය නො දැනීම සමාවට රුණක් නොවන අතර ඒ නිසාම ශිෂ්ට ලෝකයේ රටවල් එම රටවල ජනතාවගේ භාෂාවෙන් නීති පැනවීමත් අධිකරණ තීන්දු ලබාදීමත් සිදු කරයි. සංවර්ධනය වූ සෑම රටකම ඉහළ අධිකරණ සිය තීන්දු ලබා දීමේදී එම රටවල බහුතර ජනතාවගේ භාෂාවෙන් නඩු තීන්දු ලබා දේ.

ලංකාව යටත් විජිතයක් වීමෙන් පසු මව් රටේ ජනතාවගේ භාෂාවෙන් ලංකාවේ ජනතාව පාලනය කරන නීති පැනවීමත්, නඩු තීන්දු ලබා දීම කරගෙන යන ලදී. ඒ අනුව ලංදේසීන් සහ බ්‍රිතාන්‍යන් එම රටවල රාජ්‍යත්වය හරහා  ලංකාවේ ජනතාව පාලනය කරන ලදී. පසුව ඔවුන් එම රටේ (බ්‍රිතාන්‍යයේ) විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන වල අනුරුව ලංකාවේ භූමියේ පිහිටුවා ඉංග්‍රීසි ජාතිකයින් ඒවායේ ස්ථාපිත කර ලාංකීය ජනතාව සහ භූමිය පාලනය කිරීම කරගෙන යන ලදී. එනම් යටත් විජිත සමයේ කිසිම අවස්ථාවක ලංකාවේ ජනතාවගේ භාෂා අධිකරණ බලය සම්බන්ධව තැකීමක් නොකළ අතර සියලු නීති පැනවීම් සහ නඩු විභාග කිරීමේ මාධ්‍ය වූයේ බ්‍රිතාන්‍යය ජනතාවගේ භාෂාවයි. රටක් පාලනය කිරීම සහ යටත් විජිතතත්තවය පවත්වා ගැනීමේ ප්‍රධාන මාර්ගය වන්නේ රටේ ජනතාව සතු භාෂා අධිකරණ බලය ග්‍රහණයට ගැනීම බව බ්‍රිතාන්‍යයන් මැනවින් වටහාගෙන තිබුණි.

1948 ලංකාවට නිදහස ප්‍රධානය කළ බව පැවසුවද එවකට පැවති විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වයේම, භාෂා අධිකරණ බලයේ නිදහස ජනතාවගෙන් අහිමිකර තිබූ අතර එකී භාෂා අයිතිය ඩොමීයන් තත්ත්වයෙන් බ්‍රිතාන්‍යයන් සතුකරගෙන තිබුණි. 1947 දී කෙටුම්පත් කළ සෝල්බරි එනම් ජෙනිංග්ස් ආණ්ඩුක්‍රමයෙන් මෙය මැනවින් පැහිදිලි වේ. එනම් ඩී. එස්. සේනානායක මහතා 1948 දී නිදහස ලබා ගන්නා ලද්දේ ජනතාව සතුව භාෂා අධිකරණ බලය නොමැති තත්ත්වකදීය. මෙම දුර්වලතාවය හේතුවෙන් 1948 සිට ලංකාවේ ජනතාව සහ බ්‍රිතාන්‍යයන් දායද කළ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන අතර නොනවතින ගැටුමක් ආරම්භ කරගන්නා ලදී.

1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් නීති පනවනු ලැබූයේද මෙම ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස ය. එසේ වුවද ඒ අවස්ථාවේ පවා එකී උත්සාහයෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත නොහැකි වූයේ අන්කිසිවක් නිසා නොව එකී ක්‍රියාදාමය අධිකරණය දක්වා ව්‍යාප්ත කිරීමට එඩිතරකමක් බණ්ඩාරනායක මහතාට නොතිබීමේ හේතුවෙනි. එනම් 1956 දී  විධායකය සහ ව්‍යවස්ථාදායකයේ ස්වභාෂා අයිතිය තහවුරුකිරීමට හැකි වුවද පාලන ආයතන ත්‍රිත්වයේ මර්මස්ථානය වන අධිකරණයට ස්වභාෂාව හදුන්වාදීමට අවශ්‍ය බලය එවක රාජ්‍ය බලධාරීන්ට නොවීය. අධිකරණයට භාෂා අධිකරණ බලය හදුන්වාදීමට බණ්ඩාරනායක මහතාට ශක්තියක් නොතිබුණද ඔහුගේ වැන්දඹු බිරිඳට එනම් සිරිමා බණ්ඩාරනායක මහත්මියට එකී එඩිතරකම තිබුණි.1970 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් 1972 පළවන ජනරජ ව්‍යවස්ථාව පනවා ලාංකීය ජනතාවගේ අධිකරණ බලය, නීති පැනවීමේ බලය සහ භාෂා අධිකරණ බලය තීරණය කිරීමට බ්‍රිතාන්‍යයන්ට එතෙක් තිබූ අයිතිය අහුරනු ලැබී ය. එමෙන්ම අයගේ පාලන සමයේ දී ස්වභාෂාවෙන් පහළ අධිකරණවල නඩු විභාග පැවැත්වීමද තහවුරු කරගන්නා ලදී.

“නීතියේ නිදහස”රටක සංවර්ධනයට මනා පිටිවහලක් වන අතර නඩු කටයුතු ජනතාවගේ භාෂාවෙන් සිදු කිරීමෙන් සහ නඩු තීන්දු ජනතාවගේ භාෂාවෙන් ලබා දීමෙන් එම රටේ ජනතාවගේ නෛතික සාක්ෂරතාවය ඉහළ මට්ටමට ලගා වන බව කිව යුතු නොවේ. දියුණු රටවල පවතින එම දියුණුවට ප්‍රධාන හේතුව වන්නේ ජනතාවගේ නෛතික නිදහස ආරක්ෂා කිරීමත්,නඩු කටයුතු එම රටවල ජනතාවගේ භාෂාවෙන් සිදු කිරීමත් ය.

ජපානය, ප්‍රංශය, ජර්මනිය, අරාබිය, චීනය, එංගලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව වැනි දියුණු රටවල ඉහළම අධිකරණවල නඩු කටයුතු සිදු කිරීමේදී එම රටවල බහුතර ජනතාවගේ භාෂාවෙන් ඒවා සිදුකරන අතර ලංකාවේ මෙන් සුළුතරයකට පමණක් තේරෙන භාෂාවෙන් කටයුතු සිදුකිරීමත් නඩු තීන්දු ලබා දීමත් සිදු නොවේ. ඒ අනුව රටක දියුණුවට, ජනතාවගේ නෛතික සාක්ෂරතාවයේ වර්ධනයට භාෂාමය අධිකරණ බලය කොතෙක් වැදගත් ද යන්න පිළිබද තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ.

ලංකාවට ලැබුණායැයි කියන නිදහස තුළ 1948 සිට මේ දක්වාම රටේ බහුතර ජනතාවගේ භාෂා අධිකරණ බලය අහිමි කරමින් ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන කටයුතු කරමින් තිබීම පැහැදිලි වන අතර එය ජනතාවගේ අවාසනාවට සිදුවූවක්ම පමණක් නොවේ. එනම් ලංකාවේ බහුතර ජනතාව සිය අයිතිවාසිකම් පිළිබද අවබෝධයක් නොවීමත්, කරුණු නොවිමසා අනුකාරකයින් ලෙස දිවි ගෙවීමත් මෙයට ප්‍රධාන හේතුවයි.

ලංකාවේ ජනතාව තවදුරටත් සිය භාෂා අධිකරණ බලය අහිමිව සිටිය යුතු නොවේ. සිය භාෂා අධිකරණ බලය නැවත ලබා ගැනීමේ උත්සාහයක නියැලීම දැනට පවතින විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතනවලට හෝ එහි ප්‍රධානීන්ට එරෙහි වීමක්ද නොවේ. ලංකාවේ අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ක්‍රියාත්මක වන හෙයින් භාෂා අධිකරණ බලය අහිමි කර ඇති ආකාරය සම්බන්ධව අධ්‍යයනය කිරීම ලංකාවේ ජනතාවට ඉතා වැදගත් වෙයි.

අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය යනු ඉහළ අධිකරණ විසින් එනම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබා දෙන නඩු තීන්දු පහළ අධිකරණ එනම් මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, පළාත්බද මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ සහ යුධ අධිකරණත් අධිකරණමය නොවන ආයතන වන ගෙවල් කුලී මණ්ඩලය, ණය සහනදායී මණ්ඩලය, සමාලෝචන මණ්ඩලවලදී අදාල වීම හෙවත් අනුගම්‍ය වීමයි.

එනම් ජනතාව තේරුම් ගත යුත්තේ  මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ, පළාත්බද මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ සහ යුධ අධිකරණත් අධිකරණමය නොවන ආයතන වන ගෙවල් කුලී මණ්ඩලය, ණය සහනදායී මණ්ඩලය, සමාලෝචන මණ්ඩලවල ලංකාවේ ජනතාවගේ ස්ව භාෂාවෙන් නීති කටයුතු සිදු කළද එහිදී අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ක්‍රියාත්මක වීමත් සමග ජනතාවගේ භාෂා අධිකරණ බලයේ අයිතිය නැවත අහිමි කරනු ලබන බවයි. එනම් පහළ අධිකරණ කටයුතු පවා අවසානයේ සිදු වන්නේ ජනතාවගේ භාෂා අධිකරණ බලයේ අයිතිය අහිමිකර ඇති තත්ත්වයක සහ පරිසරයක දී ය.

“නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ”යන්නසහ “තමන්ගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය”ලංකාවේ බහුතර ජනතාවට ප්‍රායෝගික මට්ටමේදී ක්‍රියාත්මක නො වේ. මේ අනුව පැහැදිලි වන්නේ 1948 දී බ්‍රිතාන්‍යයන් ලබා දී ඇති නිදහස තුළ ජනතාවගේ භාෂා අධිකරණ බලය මේ දක්වාම අහිමිකර ඇති බවයි. 1948 සිට මේ දක්වා බලයට පැමිණි දේශපාලන අධිකාරීන් අතරින් මෙම ගැටළුව නිවැරදිව හදුනාගත් තැනැත්තන් අතර සිරිමා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛස්ථානයේ ලා සැළකිය හැකි අතර ලාංකීය ජනතාවගේ භාෂා අධිකරණ බලය යම් පමණකින් හෝ ආරක්ෂා කළ ඇයට අවසානයේ සිදු වූයේ “බිංදුමතී” ලෙස නම් පැටබැඳනොකළ වරදකට වරදකාරිය වී ප්‍රජා අයිතියද අහෝසිකර ගැනීමට ය.

ජේ. ආර්. ජයවර්ධන මහතා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවමින් පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවනු ලැබුවද, මේ දක්වා නොවිසිදී ඇති ලංකීය ජනතාවගේ භාෂා අධිකරණ බලය අහිමි කිරීමේ ක්‍රියාව නිවැරදි කළ හැක්කේ උපරිමාධිකරණ එනම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි ලෙස ලබා ගැනීමට අවස්ථාව සළසා ගැනීමෙනි. එසේ කිරීමට හැකිවන තෙක් ලාංකිකයින්ගේ නෙතික සාක්ෂරතාවය වර්ධනය කිරීම තබා ඔවුන්ගේ නෛතික නිදහස පවා ආරක්ෂා කළ නො හැකි වන අතර එමගින් සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම ද අනතුරට පත්වී රටේ සංවර්ධනය සදහා බහුතර ජනතාව සහභාගීකර ගැනීමටද හැකි නො වේ.ජනතාවගේ භාෂා අධිකරණ බලය ආරක්ෂා කිරීම මිස එය අහුරාලීම රාජ්‍ය පාලකයින්ගේ යුතුකම නොවේ.

ඉහත කරුණු පිළිබද විද්වත් කතිකාවක් ආරම්භ කිරීම සහ උපරිමාධිකරණ එනම් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දු රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් බුද්ධිමය මැදිහත් වීමක් සිදු කිරීමට “උපරිමාධිකරණවල නඩු තීන්දු බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම-01” මගින් බලාපොරොත්තු වේ.

උපරිමාධිකරණවල නඩු තීන්දු බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම-01. 2017.09.10විද්‍යුත් ලිපිනය theenduwa@yahoo.com

මේ සම්බන්ධව අදහස් දැක්වීමට, දැනුම ලබාදීමට, සාකච්ඡා කිරීමට , සම්බන්ධ වීමට කැමති අයට සහ උනන්දුවක් දක්වන අයට ගෞරවයෙන් ඇරයුම් කරමු.

Check Also

ජාතියට සිදුවන ලොකුම අපරාධය මෙන්න – ආණ්ඩුව රණවිරුවා පාවා දුන් හැටි

ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, නියෝජ්‍ය කාරකසභා සභාපතිතුමනි, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන් ඉදිරිපත්කරන ලද යෝජනාව ස්ථිර කරමින් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *