Home / Featured / සිල් රෙදි බෙදුවේ නිවන් පතා නොවේ…ලලිත් වීරතුංග යහපත් රාජ්‍ය සේවකයෙක් නොවේ….කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට නායකයෙක් වෙන්නේ නැ

සිල් රෙදි බෙදුවේ නිවන් පතා නොවේ…ලලිත් වීරතුංග යහපත් රාජ්‍ය සේවකයෙක් නොවේ….කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට නායකයෙක් වෙන්නේ නැ

“ලලිත් වීරතුංග රාජ්‍ය මුදල් අවභාවිතය නිසා අද සිර දඬුවම් විඳිනවා. ඔහු යහපත් රාජ්‍යසේවකයෙක් කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. අග‍්‍රාමාත්‍ය ලේකම් විදිහට ඔහු ඉන්න කාලේ හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ නඩු තීන්දුව ලබාදෙන දවසේ ලලිත් වීරතුංග ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ? ශිරාණි බණ්ඩාරනායක අග‍්‍ර විනිශ්චයකාර ධුරයෙන් නෙරපා දමන විට ඇයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වත්කම් බැරකම් හෙළි නොකිරීමයි. ඒ වෙලාවේ වත්කම් බැරකම් නොදුන් ඇමතිවරුන්ට වත්කම් බැරකම් හදාගන්න උපදෙස් දුන්නේ කවුද කියලා අපි දන්නවා.” යැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

මහරගමදි පැවැති කොළඹ දිස්ත්‍රික් දිරිය පුරවැසි සමුළුව අමතමින් අනුර දිසානායක සදහන් කළේ ආණ්ඩුවෙන් හදන ඕපදුපවලට එහා ගිය ගැඹුරු දේශපාලන සංවාදයක් රටට අවශ්‍යව් ඇති බවයි..

 

අපේ රට පත්වෙලා තිබෙන ගැඹුරු ආර්ථික දේශපාලන තත්වය පිළිබඳව ගැඹුරු දේශපාලන සංවාදයක් ඇතිකිරීම මේ වනවිට අපිට තිබෙන අභියෝගයක්. පසුගිය දවස්වල ප‍්‍රධාන පුවත් ශීර්ෂපාඨ වෙලා තිබුණේ රවී කරුණානායක, විජේදාස රාජපක්‍ෂ. දැන් ලලිත් වීරතුංග. රූපවාහිනියෙන් ප‍්‍රවෘත්තිවලත් ප‍්‍රධාන ප‍්‍රශ්නය වුණේ ඔවුන්. අපේ සමාජය මුහුණ දී තිබෙන ඇත්තම ගැටලූ ඒවා නොවෙයි. රවී කරුණානායක මුදල් ඇමතිකමේ සිට විදේශ ඇමතිධුරයට මාරු වුණා කියලා ජනතාවට අත්වුණු දෙයක් නැහැ. විජේදාස රාජපක්‍ෂට ඇතුළෙන්ම චෝදනා ඇවිල්ලා ඇමතිධුරයෙන් ඉවත් කළා. ඉවත් කරපුදාට පහුවදා විජේදාස මහින්ද රාජපක්‍ෂලා එක්ක පන්සල් යනවා. ඒ ප‍්‍රවෘත්තියෙන් අපි කාටවත් වැඩක් තිබුණද? එනිසා අපේ රටේ ඇතිවෙලා තිබෙන තත්වය පිළිබඳව ගැඹුරු දේශපාලන සංවාදයක් හදනවා වෙනුවට ආණ්ඩුවම නිර්මාණය කරන ප‍්‍රවෘත්ති දිහා පුරවැසියන්ට බලාගෙන ඉන්න සිදුවෙලා. රවී වෙනුවට මංගල මුදල් ඇමති වුණා. ඒත් දේශීය ආදායම් පනත ඒ විදිහටම පාර්ලිමේන්තුවට ආවා. ආණ්ඩුව සිල්ලර ප‍්‍රශ්න කරළියට ගෙනත් ගැඹුරු ප‍්‍රශ්න යට ගහනවා. එනිසා ගැඹුරු ප‍්‍රශ්න දෙස අවධානය යොමුකර පිළිතුරු සොයා ගැනීමෙන් තොරව අපේ රටට තවදුරටත් ඉදිරියට යන්න බැහැ.

රවීලා, විජේදාසලා, රනිල්ලා, මහින්දලා, මෛතී‍්‍රලා ගැන තවදුරටත් කතා කරලා වැඩක් නැහැ. එකට එක, දතට දත, ඇට නැති දිව ඒවා තමයි අද ප‍්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙන්නේ. ළිඳ ළඟ සංගමය වගේ ඕප¥ප විතරයි, අද දේශපාලන සංවාදයන් බවට පත්වෙලා තිබෙන්නේ. අපේ රට මුහුණ දී තිබෙන ආර්ථිකයේ ඉරණම මොකක්ද? දේශපාලන අර්බුදය මොකක්ද? මේ ගැන ගැඹුරු දේශපාලන සංවාදයක් ගොඩනගන්න ඕනෑ. අපේ රටේ රූපවාහිනී දවසකට පැය 18ක්වත් කි‍්‍රයාත්මක වෙනවා. අපි ඉල්ලනවා අඩුම තරමේ පැයක්වත් ගැඹුරු දේශපාලන සංවාදයක් වෙනුවෙන් වෙන් කරන්න කියලා. ඉරිදා පුවත්පත්වල පිටු 120ක් පමණ තිබෙනවා. සාස්ත‍්‍රකාරයන් වෙනුවෙන් වෙන් කරන පිටු 1-2ක් මෙම ගැඹුරු දේශපාලන සංවාදය ගැන සාකච්ඡුාවට ලක් කරන්න. ජවිපෙ අපි උත්සාහ කරනවා මාධ්‍යවලින් එවැනි ගැඹුරු දේශපාලන සංවාදයක් සඳහා ඉඩ විවර කරගන්න.

ඕනෑම රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ, ඒ රටේ ආර්ථීකය මතයි. රටක ආර්ථිකය ශක්තිමත් නම් ඒ රටේ අපරාධ අඩුයි. රෝහල්වල පහසුකම් තිබෙනවා. පාසැල්වල පහසුකම් තිබෙනවා. දුවා දරුවන්ට රැුකියාවන් ලැබෙනවා. ගොවියන්ට, ධීවරයින්ට හොඳ ජීවිතයක් ගතකරන්න ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට බිස්නස් තිබෙනවා. රට විනයගරුක රටක් බවට පත්වෙනවා. නමුත් අපේ රටේ ආර්ථිකය ශක්තිමත්ද? අපරාධ වැඩිවෙලා, රෝහල්වලට පහසුකම් නැතිවෙලා, පාසැල්වල පහසුකම් නැතිවෙලා, දුවා දරුවන්ට රැුකියා අහිමිවෙලා, ගොවියන්ට, ධීවරයින්ට ජීවත් වෙන්න අමාරු නම් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ. අද අපේ රට මුහුණ දී තිබෙන දැවැන්තම ආර්ථික අර්බුදයක් තිබෙනවා. රනිල්-මෛතී‍්‍ර මුදල් ඇමති, ගමේ ඉන්න ආණ්ඩු පාක්‍ෂිකයා අද ආර්ථිකය ගැන කතා කළෙත් කියන්නේ අපේ රට විශාල ණය කන්දක හිර වෙලා තියෙනවා කියලා. ජනාධිපති කියනවා, මීතොටමුල්ල කුණු කන්දට වඩා විශාල ණය කන්දක් ඒකකයි තමන්ට රට භාරගන්න වුණේ කියලා. ඒක ඇත්ත.

රවී කරුණානායක මුදල් ඇමතිව සිටියදී අපේ රටේ ආර්ථික තත්වය ගැන පොතක් ගැහුවා. 1985 ඉඳලා 2014 දක්වා අපේ රටේ ආර්ථික තත්වය ගැන ඒ පොතේ තියෙනවා. 1985 බිලියන 130ක් වූ ණය දැන් බිලියන 10,500ක් බවට පත්වෙලා. 85 ඉඳලා මේ රට පාලනය කරපු පාලකයෝ අපිට කියන්න ඕනෑ මේ ගත්ත ණයවලට මොකද වුණේ කියලා. ජේ.ආර්, පේ‍්‍රමදාස, විජේතුංග, චන්ද්‍රිකා, රනිල්, මහින්ද, මෛතී‍්‍ර අපේ රට පාලනය කළා. අද ජීවතුන් අතර ඉන්න චන්දි‍්‍රකා, රනිල්, මෛතී‍්‍ර, මහින්ද උඹලා අපිට කියපල්ලා කෝටි දශලක්‍ෂ පනස්දාහට මොකද වුණේ කියලා. දකුණු අධිවේගී මාර්ගය, නොරොච්චෝලේ බලාගාරය මත්තල, හම්බන්තොට වරාය වැනි ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම කෝටි 40,000යි. අනෙක් ණයවලට මොකද වුණේ? සජින්වාස්ලා හෙළිකොප්ටර් ගත්තේ ඒ ණයවලින්. බැසිල් රාජපක්‍ෂලා මාලිගා හැදුවේ, ඉඩම් ගත්තේ ඒ ණයවලින්. මහින්ද රාජපක්‍ෂලා ලක්‍ෂ 980ක් වියදම් කරලා අම්මගෙයි, තාත්තගෙයි සොහොන් හැදුවේ මේ ණයවලින්. ලක්‍ෂ 1650ක් වියදම් කරලා රවී ගෙවල් ගත්තේ ඒ ණයවලින්. නාමල් රාජපක්‍ෂ හෙලෝකෝප් එක ගත්තේ ඒ ණයවලින්. යෝෂිත රාජපක්‍ෂ සී.එස්.එන් එක ගත්තේ ඒ ණයවලින්. ශිරන්ති රාජපක්‍ෂ ටොරින්ටන්වල ගෙවල් ගත්තේ ඒ ණයවලින්. එදා ඉඳලා පාලකයෝ මේ ණය පොදි බැඳගත්තා.

2009 ඉඳලා වසර 3ක් අපේ රටේ ආදායම ණය පොලී වාරිකය ගෙවාගන්න මදි වුණා. 2009දී ණය පොලි වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 700යි. 2010දී ණය පෝලී වාරිකය බිලියන 820යි. ආදායම බිලියන 817යි. 2013දී ණය පොලී වාරිකය 1144යි. ආදායම බිලියන 1137යි. අපේ රටේ රාජ්‍ය සේවකයින්ට සහ විශ‍්‍රාම වැටුප් සඳහා පමණක් මිලියන 620ක් ඕනෑ. තමන්ගේ ආදායම ණය ගෙවාගන්න බැරි තැනට ආවොත් සාමාන්‍ය නිවසකට කියන්නේ හිඟන ගෙයක් කියලා. ඒ වගේ අපේ රට අද හිඟන රටක් බවට පත්වෙලා. අපේ පාලකයෝ ලෝකේ වටේ ගිහින් හිඟා කනවා. දැන් අපේ රට ණය ගෙවාගන්න බැරි පොලූකාරයක් බවට පත්වෙලා. ඒ නිසා දැන් අපේ රටේ පාලකයෝ රටේ සම්පත් ටික විකුණනවා. මාධ්‍යවේදියෙක් රනිල්ගෙන් ඇහුවා, දැන් හම්බන්්තොට විකුණලා ලැබුණු සල්ලි ඉවුර වුණාම ටික මොනවද කරන්නේ කියලා. මත්තල විකුණනවා කිව්වා. ඊට පස්සේ නැගෙනහිර ජැටිය විකුණයි. ඊට පස්සේ තෙල් ටැංකි ටික විකුණනවා. ඊට පස්සේ… එතකොට රනිල්ගේ අවුරුදු 5 ඉවරයි.

අපේ රටේ ආර්ථිකය වෙන රටවල මුදල් මත යැපෙන නිසා ස්වාධීනත්වය නැතිවෙලා තිබෙනවා. හම්බන්තොට විකුණුවා වගේ තව නොබෝ දිනකින් මේ ආණ්ඩුව මත්තලත් විකුණනවා. රාජපක්‍ෂ කාලෙ කළෙත් ඕක. චීනෙට එකයි, ඉන්දියාවට එකයි විදිහට ව්‍යාපෘති ලබාදුන්නා. අපේ රට ආර්ථික වශයෙන් බංකොළොත් වුණාම ස්වාධීනත්වය අහිමි වෙලා යනවා.

2015 රු. 130ටය තිබුණු ඩොලරය අද 155 වෙලා. රුපියල කඩා වැටුණා. එදා ඩොලර් 1ක් දීලා ගෙනාපු සැමන් ටින් එක 130ට ගත්තා. අද 155ක් ගෙවන්න සිදුවෙලා. ඩොලර් එකට ගෙනාපු තෙල් ලීටයට 130 ගෙවලා ගතතා. අද 155ක් ගෙවන්න වෙනවා. ඒ භාණ්ඩ මිල ඉහළ ගිය නිසා නෙවෙයි. රුපියල කඩා වැටුණු නිසයි. රුපියල කඩා වැටීම අපේ රටේ ආර්ථිකයට බරපතළ ලෙස බලපානවා. රුපියල කඩා වැටීම නිසා පමණක් 2015-2016 ණය ප‍්‍රමාණය රුපියල් බිලියන 471කින් වැඩිවුණා. රුපියල කඩා වැටුණේ ඇයි? අපේ රටේ අපනයන ආදායම නිසා තමයි රටට ඩොලර් ඇදිලා එන්නේ. ඒ ඩොලර්වලින් තමයි අපි ආනයන වියදම් දරන්නේ. නමුත් අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 1000ක් වනවිට ආනයන වියදම ඩොලර් බිලියන 2000ක් වෙනවා. විශාල පරතරයක් තිබෙනවා. අපනයනය දිගින් දිගටම කඩා වැටීම නිසා අපේ රටේ රුපියල කඩා වැටෙනවා.

කුරහන් තලප ගිල්ලට වක්කඩෙන් අත හේදුවට, සාටකය දැම්මට කව්රු හරි රටක නායකයෙක් වෙන්නේ නැහැ. රෝයල් එකෙන් ඉගෙන ගත්තට, ටයි කෝට් දැම්මට, කාට හරි රටක නායකයෙක් වෙන්න බැහැ. අපේ රට හිඟන රටක් බවට පත්කරපු මේ අය නායකයොද? පපුවට ගහ ගත්තට පොළොව ඉම්බට නායකයෙක් වෙන්නේ නැහැ. රටක් ආර්ථික වශයෙන් ගොඩනගනවා නම් තමයි රටක නායකයෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අද අපේ රට ආර්ථික වශයෙන් කඩා වැටිලා. දැන් ආණ්ඩු මාරු කිරීමෙන් හරි නායකයින් මාරු කිරීමෙන් හරි මේ රට හදන්න පුළුවන්කමක් නැහැ.

අද අධ්‍යාපනය මුහුණ දී තිබෙන ඛේදවාචකය මොකක්ද? මීට පෙර සල්ලි තියෙනවාද නැද්ද කියන කාරණය සළකන්නේ නැතිව තමන්ගේ දරුවට හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනෑ කියලා වුවමනාවක් දෙමව්පියන්ගේ ලේවලට කාවැදී තිබුණා. දොස්තර තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න උගන්වනකොට තී‍්‍රවීල් රථ රියදුරා තමන්ගේ පුතා දොස්තර කෙනෙක් කරන්න අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කළා. නමුත් අද මොකද වෙලා තිබෙන්නේ. දරුවා පළමු පන්තියට බාර දෙනකොටම ටියුෂන් පංතියටත් බාර දෙන්න සිදුවෙලා. ඇයි? අද පාසැල් අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය බිඳ වැටිලා. ලෝකයේ කෙහෙවත් රටවල්වල එහෙම නැහැ. ජපානයේ ටියුෂන් තිබෙනවා, ඉස්කෝලේ උගන්වන්නේ නැති දේවල් ඉගෙන ගන්න. නමුත් අපේ රටේ ඉස්කෝලෙන් ඉගෙන ගන්න සිංහල, ගණිතය, විද්‍යාව ඉගෙන ගන්න ටියුෂන් එකටත් යනවා. ඉතාලියේ ටියුෂන් කරන්න ගිහිල්ලා ලාංකිකයෝ තුන් දෙනෙක් සිර දඬුවම් විඳිනවා. මොකද, ඉතාලියෙ ආවාට ගියාට ටියුෂන් කරන්න බැහැ. අද උසස් පෙළ පොදු පංතියට රුපියල් 2,000යි. විෂයයන් 3ට 6,000යි. කණ්ඩායම් පංතියකට යනවා නම් රු. 5,000 ගානේ 15,000යි. ඊට අමතරව ප‍්‍රශ්න පත‍්‍ර වෙනුවෙන් තව පංති 3කට යන්න වෙනවා. ගුරුවරයා ගෙදරට එනවා නම් පැයකට 5000 යි. අද දරුවෙකුගේ අධ්‍යාපනය තීරණය වෙන්නේ මුදල මතයි. ගොවියෙකුගේ ධීවරයෙකුගේ, රාජ්‍ය සේවකයෙකුගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන තියෙන බලාපොරොත්තු ඉටු වෙනවද? ඒ විතරක් නෙවෙයි, සමහර දරුවන් පාන්දර 4ටත් ටියුෂන් යනවා. පාසැල් වේලාවෙන් පසුවත් ? දහය හමාර වෙනකන් ටියුෂන් පංති. දෙමාපියෝ දරුවන් අරගෙන ටියුෂන් එකෙන් පාසැලට, පාසැලෙන් ටියුෂන් එකට යනවා. අද අපේ දරුවන්ට නාට්‍යයක් බලන්න, පොතක් කියවන්න, මළ ගෙදරක යන්න වෙලාවක් නැහැ. දරුවන්ගේ සංස්කෘතියට මොකද වෙලා තිබෙන්නේ.

ඒ විතරක් නෙවෙයි. අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන මුදල් කප්පාදුව නිසා ගුරුවරුන් යාවත්කාලීන වෙන්නේ නැහැ. ගුරුවරුන්ට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ගුරු පුහුණුවක් නැහැ. වසර 30කට කලින් ඉගෙනගෙන, උගන්වන්න පටන් ගත්ත ගුරුවරයා අද දරුවටත් උගන්වනවා. නමුත් ඔහුගේ අධ්‍යාපනය වසර 30ක් පැරණි එකක්. රවී කරුණානායක හදපු වාර්තාවට අනුව කියනවා, මේ කලාපයේ අඩුවෙන්ම අධ්‍යාපනයට වියදම් කරන රට ලංකාව කියලා. වියට්නාමය, රටේ ආදායමින් 6.3%ක් මැලේසියාව 6.2%ක්, මාලදිවයින 5.2%ක්, ඉන්දියාව 3.8%ක්, පිිලිපීනය 3.4%ක්, සිංගප්පූරුව 2.9%ක්, බංගලාදේශය 2.1%ක් අධ්‍යාපනයට වෙන් කරද්දී ශී‍්‍ර ලංකාව වෙන් කරන්නේ 1.2%ක් පමණයි. අපේ රටේ පාලකයෝ හොඳද? අපේ රටේ අධ්‍යාපනය මේ වගේ තැනකට පත්කරපු එකම මදිද මේ පාලකයෝ ගෙදර යවන්න. අපි හැමෝම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. සහතික කොට කියනවා, අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් කරන්න අපිට පුළුවන් කියලා.

අපේ රටේ සෞඛ්‍යයට මොකද වෙලා තිබෙන්නේ? නිරෝගීසම්පන්න ජනතාවක් වෙනුවට ලෙඩ ජාතියක් හැදුවා. ගෙදරකට ගියාම තේකක් හදන්න කලින් සීනි දාලාද නැද්ද කියලා අහනවා. තැනකට ගිහින් කෑමක් කන්න බැහැ. ලෙඩ ජාතියක් බවට පත්කළා. ජනතාවට වස විසින් තොර සමබල ආහාර වේලක් ලබාදෙන එක රජයක වගකීමක්. නමුත් මේ පාලකයෝ අපිට වස විස කවනවා. ලෝකයේ අනෙක් රටවල් එහෙම නැහැ. අද අපේ රටේ ජනතාවට වැඩිපුරම ලෙඩ හැදෙන්නේ ආහාරවලින්. මීට කලින් කන්න නැතිව ලෙඩ හැදුණා. අද කාලා ලෙඩ හැදෙනවා. ඇයි? අපි කන්නේ වස. රෝහලකට ගිහාම ඇඳ උඩත් ලෙඞ්ඩු. ඇඳ යටත් ලෙඞ්ඩු. ඇඳ වටේත් ලෙඞ්ඩු. පහුගිය කාලයේ ආණ්ඩුව තීරණයක් ගත්තා ඩෙංගු වසංගතය නිසා මැරෙන ලෙඞ්ඩු ගාණවත් ඩෙංගු වැළඳුණූ රෝගීන් ගාණවත් රටට හෙළි කරන්නේ නැහැ කියලා. කියුබානු රජය නිරෝගීසම්පන්න ජනතාවක් ගොඩනගලා ඔලිම්පික් රන් පදක්කම් 90කට වැඩි ගාණක් ලබාගෙන තිබෙනවා. අපි රිදී පදක්කම් දෙකයි.

කියුබාව අධ්‍යාපනයට මුදල් වෙන්කළා. වෛද්‍ය විද්‍යාල හැදුවා. වෛද්‍යවරු බිහිකළා. නිරෝගීසම්පන්න ජනතාවක් ඇතිකළා. ලංකාවේ ඩෙංගු කීටයා මරන්නත් බෙහෙත් ගෙනාවේ කියුබාවෙන්. අපේ රටේ බාහිර රෝගී අංශවලට මිලියන 60 රෝගීන් ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර ගන්න එන බවට වාර්තා තිබෙනවා. රටේ ජනගහනය මිලියන 20යි. ජනගහනය වගේ තුන් ගුණයක් ප‍්‍රතිකාර ගන්න රෝහල්වලට යනවා. අපේ රටේ ජනතාවට ප‍්‍රජා සෞඛ්‍ය අධ්‍යාපනයක් නැහැ. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අලූත් පර්යේෂණ නැහැ. ආණ්ඩුව ඒවට සල්ලි වෙන් කරන්නේ නැහැ. ඒ නිසා අද පුංචි පුංචි ෆාමසි හැම තැනම බිහිවෙලා. වියට්නාමයේ ජාතික ආදායමින් 7.1%ක් සෞඛ්‍යයට වෙන් කරනවා. තායිලන්තයේ 5.5%ක්. පිලිපීනයේ 4.7%ක්. ඉන්දියාවේ 2.7%ක්. සෞඛ්‍යයට වෙන් කරනකොට ලංකාවේ වෙන්කරන්නේ 1.3%ක් පමණයි. අපේ රටේ සෞඛ්‍ය ඇමතිටවත් අපේ රටේ සෞඛ්‍යය විශ්වාස නැහැ. ජනාධිපති අරමුදලෙන් රු. ලක්‍ෂ 100ක් අරගෙන ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරුවට යනවා. රනිල් වික‍්‍රමසිංහ ඇමරිකාවට ගිහින් ප‍්‍රතිකාර ලබාගෙන එයාර් පෝට් එකට ඇවිල්ලා එහේ සෞඛ්‍යය ගැන වර්ණනා කරනවා. හැම මන්තී‍්‍රවරයාටම ඇමරිකාවේ ප‍්‍රතිකාර ගන්න පුළුවන් ක‍්‍රමයක් හදන්න කල්පනා කරනවා. නමුත් රනිල් වික‍්‍රමසිංහලාට අපේ රටේ ජනතාවට හොඳ සෞඛ්‍යයක් හදන්න වුවමනාවක් නැහැ. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ආණ්ඩුවක් හදමු. හැම පුරවැසියාටම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ලබාදෙන සෞඛ්‍යයක් වර්ධනය කරන බවට අපි සහතික වෙනවා.

2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ ගෙවල් මංකොල්ලකෑම් 653ක් සිදුවෙලා තිබෙනවා. රුපියල් 25,000ට වඩා මංකොල්ලකෑම් 3822ක සිදුවෙලා තිබෙනවා. දැරියන් 337ක් දුෂණයට ලක්වෙලා තිබෙනවා. 2016 මුල් මාස 6 තුළ වාහන අනතුරුවලින් 2934ක් මියගිහින් තිබෙනවා. දිනකට 16දෙනෙක් වාහන අනතුරුවලින් මියගොස් තිබෙනවා. රේල් පාර මාරු වෙන්න ගිිහින් 26දෙනෙක් මිය ගිහින් තිබෙනවා. විනයක් නැති රටක් බවට අපේ රටට පත්වෙලා තිබෙනවා. කුණු කඳුවලට යට වෙලා, ගං වතුරට යට වෙලා, පස් කඳු නාය ගිහිල්ලා මිනිස්සු මැරෙනවා. සෑම කෙනෙක්ම අනතුරක් සහිත මරණයක් තිබෙන පුරවැසියන් බවට පත්වෙලා තිබෙනවා. අපේ රට මහා ඛේදවාචකයකට මුහුණ දීලා තිබෙනවා.

සමහරු කියනවා, අපිට දේශපාලනයෙන් වැඩක් නැහැ, ‘අපේ හිසට අප අතමය සෙවනැල්ල’ කියලා. ඒක වැරදියි. අද අපි මුහුණ දීලා තියෙන මේ අර්බුදය නිර්මාණය වුණේ වැරදි දේශපාලනය නිසා. මේ අර්බුදය විසඳීම සඳහා පිළිතුරු සොයා ගත හැක්කේ දේශපාලනයෙන්ම පමණයි. අද අපේ රටේ දේශපාලනය ලාබම ව්‍යාපාරය බවට පත්වෙලා. ඒ නිසා මේ ලාභ ලබන ව්‍යාපාරය වෙනුවට දේශපාලනය මහජන සේවකයක් බවට පත්කළ යුතුව තිබෙනවා. අපි සහතික කොට කියනවා, අපේ රටේ දේශපාලනය මහජන සේවයක් බවට පත්කරනවා කියලා. අද අපේ රට වංචාවෙන්, දුෂණයෙන් පිරිලා. ලලිත් වීරතුංග රාජ්‍ය මුදල් අවභාවිතය නිසා අද සිර දඬුවම් විඳිනවා. ඔහු යහපත් රාජ්‍යසේවකයෙක් කියලා සමහරු කියනවා. ඒක පට්ටපල් බොරුවක්. අග‍්‍රාමාත්‍ය ලේකම් විදිහට ඔහු ඉන්න කාලේ හෙල්පින් හම්බන්තොට ගිණුම පිළිබඳ නඩු තීන්දුව ලබාදෙන දවසේ ලලිත් වීරතුංග ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ? ශිරාණි බණ්ඩාරනායක අග‍්‍ර විනිශ්චයකාර ධුරයෙන් නෙරපා දමන විට ඇයට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වත්කම් බැරකම් හෙළි නොකිරීමයි. ඒ වෙලාවේ වත්කම් බැරකම් නොදුන් ඇමතිවරුන්ට වත්කම් බැරකම් හදාගන්න උපදෙස් දුන්නේ කවුද කියලා අපි දන්නවා.

ජනාධිපතිවරණයේදී සිල් රෙදි බෙදීම නිවන පතා කළ දෙයක් නෙවෙයි. මැතිවරණය වෙලාවේදී මැතිවරණ කොමසාරිස් මෙම සිල් රෙදි බෙදීම වළක්වනු ලැබුවා. මැතිවරණයේදී අල්ලස් දෙන්න උදව් කරපු කෙනෙක් කොහොමද පිරිසිදු මහත්තයෙක් වෙන්නේ? ලක්‍ෂ 6,000ක් වියදම් කරලා සිල් රෙදි බෙදන එක විදුලි සංදේශ නියාමන කොමිසමට අයිති වැඩක් නෙවෙයි. ලක්‍ෂ 6,000ක සිල් රෙදි කියන්නේ ලංකාව වටේ තුන් සැරයක් ඔතන්න තරම් රෙදි ප‍්‍රමාණයක්. ඒ විතරක් නෙවෙයි, එම රෙදි පාර්සල් ඇතුළේ මහින්ද රාජපක්‍ෂ අපේක්‍ෂකයාගේ ලිපියක් තිබුණා. ඒ නිසා ඒක ඡුන්ද අල්ලසක් බව පැහැදිලියි. ඒ නිසා අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා කිපෙන්න ඕනෑ සිල් රෙදි බෙදන්නවත් නිදහස් නැහැ කියන එකට නෙවෙයි සිල් රෙද්දත් ඡන්ද අල්ලසක් විිදිහට යොදා ගත් එකටයි. සිල් රෙදි විතරක් නෙවෙයි, අල්ලස් විදිහට දුන්නේ. කී‍්‍රඩා අමාත්‍යාංශය කැරම් බෝඞ් 14,000ක් බෙදුවා. බැසිල් රාජපක්‍ෂ ඡුන්ද රැුස්වීම්වල කොඩි දාන්න දිවි නැගුම අරමුදලින් ලක්‍ෂ 200ක් වෙන් කරලා කොඩි කණු බෙදුවා. අනුර පි‍්‍රයදර්ශන යාපා පෙට්‍රෝලියම් එකෙන් ලක්‍ෂ 61ක් අරගෙන වියලි ආහාර බෙදුවා. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සතොසින් ලක්‍ෂ 60 ක බඩු බෙදුවා. ජගත් පුෂ්පකුමාර වැවිලි සමාගමේ මුදල් වියදම් කරලා රෙදි බෙදුවා. සමෘද්ධිලාභීන්ට 2500 ගානේ බැසිල් රාජපක්‍ෂ බෙදලා දුන්න. ඒ සඳහා කෝටි 300ක පමණ මුදලක් සමෘද්ධි බැංකුවලින් ගත්තා. ඒ ඡන්දෙදි ලලිත් වීරතුංග කටයුතු කළේ ලේකම්වරයෙකු ලෙස නොවේ. ඔහු වැඩ කළේ දේශපාලඥයෙකු ලෙසයි. අධිකරණයේදී මේක ප‍්‍රශ්නයක් බවට පත්වුණා. රූපවාහිනි නාලිකාවල වැඩසටහන්වල කතා කරපු දේවල් ගෙනල්ලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔප්පු කළා ලලිත් වීරතුංග දේශපාලනය කළා කියලා. මෙම පරීක්‍ෂණය අසීරුම එකක් වුණා. ලලිත් වීරතුංගට එරෙහිව තිබුණු චෝදනාව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමයි. නමුත් ලලිත් වීරතුංග නඩුව තිබෙන කාලය තුළ සිරගත කළේ නැහැ. ඒක පුදුමයට කාරණයක්. මෙම කාර්යයට මැදිහත් වූ නීතිපති දෙපාර්තමේන්තුවට අපි ස්තුතිවන්ත වෙනවා. මෙම පරීක්‍ෂණය භාරව කටයුතු කළ අරුණ පේ‍්‍රමශාන්ත, රවී විද්‍යාලංකාර ඇතුළු පොලිස් නිලධාරීන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මෙම පරීක්‍ෂණය යනකොට අධිකරණයට බලපෑම් ආවා. ලලිත් වීරතුංගට එරෙහිව මෙම පරීක්‍ෂණ සිදුකළේ රාජ්‍ය නිලධාරීන්ම තමයි. එම කටයුත්ත අපි අගය කළ යුතුව තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහගේ යහපාලනය ඇතුළේ අද රාජ්‍ය නිලධාරීන්ට මොකද වෙන්නේ? පුනරුත්ථාපන අමාත්‍යාංශය නව කාර්යාලයට ලක්‍ෂ 30 තක්සේරුව තිබියදී ලක්‍ෂ 50ක් ගෙවීමට ඇමතිවරයා නියෝග කළා. ඒ කි‍්‍රයාවලියට එරෙහි වුණු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලංකා සේනාරත්න මහත්මිය, සහකාර ලේකම් නිකරි කාන්තන් මහතා ස්ථාන මාරු කළා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙනුවෙන් ගත් ගොඩනැගිල්ලට මාසිකව රු. මිලියන 24 ගානේ ගෙවමින් තිබුණා. මාස 8ක් ගිය පසුත් පදිංචියට ගියේ නැහැ. එම බිල්ඩිමට මුදල් ගෙවීමට චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අතිරේක ලේකම් රසිකා අබේධීර මහත්මිය රනිල් වික‍්‍රමසිංහ විසින් මාරු කළා. අරුන්දික ප‍්‍රනාන්දුගේ අමාත්‍යාංශයට පාවිච්චි කළ වාහන දෙකක් ගැනීම ප‍්‍රතික්‍ෂේප කළ (රාජ්‍ය ආයතනයකට මිලදී ගත හැක්කේ අලූත් වාහන පමණි) ප‍්‍රධාන ගණකාධිකාරි පී.ජී. අයිරාංගනිී මහත්මිය තනතුරෙන් මාරු කරලා දැම්මා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහත්තයා මන්තී‍්‍රවරුන් 58කට මාස 60ක් සඳහා ලක්‍ෂ 7 ගණනේ කුලී පදනම මත වාහන ලබාගැනීමේ කැබිනට් තීරණය අනුව ඉදිරිපත් කළ චෙක්පත අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළා. රනිල් වික‍්‍රමසිංහ මොකද කළේ ඔහුව මාරුකරලා දැම්ම. ඒ නිසා අද රජයේ නිලධාරීන්ට බලපෑම් එනවා. එම බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ට අපි ගෞරව කළ යුතු වෙනවා. ලලිත් වීරතුංග බලපෑම්වලට යටවී වැඩ කළා නොවේ. ඔහු කැමැත්තෙන්මයි ඒ දේවල් කළේ. ඒ නිසා බලපෑම්වලට යට නොවී වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කිරීමේ වගකීම ජනතාවට තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සූදානම් ජනතාව සමඟ එක්වී වංචාවට, දුෂණට එරෙහිව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්‍ෂා කරන්න.

අද අපේ රටේත් දුෂිත වළල්ලක් තිබෙනවා. දේශපාලකයෝ, 2400ක්වූ පරිපාලන ක්‍ෂේත‍්‍රයේ 100ක් පමණ සුළු පිරිසක්, වාස් ගුණවර්ධන, අනුර සේනානායක වගේ පොලිස් නිලධාරීන් සුළු පිරිසක්, හමුදාවේ කුඩා ප‍්‍රමාණයක්, ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක්, මාධ්‍ය හිමිකරුවන් කිහිප දෙනෙක්, මාධ්‍යවේදීන් අතළොස්සක්, පාතාල නායකයින් සහ ඇතැම් යුක්තිය පසිඳලීමේ ආයතන කිහිපයක් මේ දුෂිත වළල්ලේ ඉන්නවා. මෙම දුෂිත වළල්ල ඇමති මාරුවකින් වෙනස් කරන්න බැහැ. එම දුෂිත වළල්ල පරාජය කළ හැක්කේ දුෂිත ව්‍යාපාරයකට පමණයි. අපේ රටේ දුෂිත එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අපේ රටේ වංචාවෙන් දුෂණයෙන් පිරුණු රාජ්‍ය සේවය, මහජන සේවයක් බවට පත්කළ යුතුව තිබෙනවා. සියල්ල අද කුණු වෙලා තිබෙනවා. ඒවා නැවතත් පිරිසිදු කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ බලය ගන්න න්‍යාය පත‍්‍රයක් හදන්න ඕනෑ. එහි පළමු පියවර තමයි පළාත් පාලන ඡුන්දය කියන්නේ. අපි මැදිහත් වෙලා නව පළාත් පාලන ඡුන්ද ක‍්‍රමයක් හදා ගත්තා. ඒකට අනුව ජනවාරියේ ඡන්දයක් එනවා. ඒ ඡන්දයේදී ජනතාවගේ ඇත්ත අපේක්‍ෂකයා වෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ අපේක්‍ෂකයා පමණයි. ඔහු දිනවන්න අපි වැඩ කළ යුතුව තිබෙනවා. ඉන් පසුව පළාත් සභා ඡන්දය එනවා. දැන් සංවාදයක් තිබෙනවා, පළාත් පාලන මැතිවරණය එක දිනක පවත්වන්න ඕනෑ කියලා. අපි ඒකට කැමතියි. හැබැයි ලබන අවුරුද්ද ඇතුළත මැතිවරණය පවත්වන්න ඕනෑ.

ඊළඟට එන මහ මැතිවරණයට මුහුණ දෙන්න අපි පුළුල් පෙරමුණක් හදනවා. අපේ රටේ ඉන්න දක්‍ෂ ආර්ථිකවේදීන් නීතිවේදීන් කර්මාන්තකරුවන්, පරිසරවේදීන්, සාහිත්‍යවේදීන් සියලූ දෙනාම කැඳවලා පුළුල් බහුජන පෙරමුණක් හදනවා. 2020දී ඡුන්දෙට යන්නේ බලය ලබාගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහටයි. අපිට බලය ලබාදෙන එක ජනතාවගේ වැඩක්. මීට කලින් අපි ආණ්ඩු බලය ඉල්ලූවේ නැහැ. නමුත් අපි 2020දී ආණ්ඩු බලය ඉල්ලනවා. ඒක අමාරුයි තමයි. නමුත් දේශපාලන පරිවර්තන සිදුවෙන්නේ පිමි විදිහටයි. 2015 මැතිවරණයේදී තව අවුරුදු 99ක් බලයේ ඉන්නවා කියපු රාජපක්‍ෂලා ගෙදර ගියා. 2014 එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවා ගන්න බැරුව පක්‍ෂයේ නායකත්වයවත් පිළිගන්නේ නැතිව හිටපු රනිල් වික‍්‍රමසිංහ 2015 අගමැති වුණා. 2015දී මහින්ද රාජපක්‍ෂ පළවා හරින්න මතයක් හැදුණා. ඒ වෙලාවේ ඔහු පළවා හරින්න තෝරා ගත්තේ එජාපයයි. 2020දී මේ ආණ්ඩුව පළවා හරින්න මතයක් හැදෙනකොට එය පළවා හරින්න පුළුවන් පෙරමුණ අපි හදලා තිබුණොත් ජනතාව අපි තෝරා ගන්නවා.

ශී‍්‍රලනිප එජාප සාමාජිකයන් වෙනස් නොවී අපේ රට වෙනස් කරන්න බැහැ. අපේ රට පරිවර්තනය කරන්න නම් එජාප ශී‍්‍රලනිප සාමාජිකයින් අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. අද අපි මුහුණ දෙන ප‍්‍රශ්නවලට එජාප, ශී‍්‍රලනිප, ජවිපෙ සියලූදෙනාම මුහුණ දෙනවා. එනිසා සියලූ දෙනා මේකෙන් මිදෙන්න ඕනෑ. එජාප, ශී‍්‍රලනිප සාමාජිකයින් එයාලට ඡුන්ද දුන්නට ඔවුන් රට හැදුවේ නැහැ. රට අගාධයකට ඇදලා දැම්මා. එජාප-ශී‍්‍රලනිප සාමාජිකයන්ගේ අරමුණු ඉටුකරන දේශපාලන ව්‍යාපාරය වෙන්නේ ජවිපෙ පමණයි. එනිසා අපි ශී‍්‍රලනිප-එජාප පාක්‍ෂිකයන්ට ආරාධනා කරනවා. ජවිපෙ සාමාජියින් එජාප-ශී‍්‍රලනිප සාමාජිකයින් සමඟ එකතු වෙන්න ඕනෑ. එක අත්තේ කුරුල්ලෝ වගේ වෙන්න් ඕන. ඔවුන් දැනුවත් කරන්න ඕන. ඔවුන් වෙනස් කරන කාර්යය කරන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් විදිහට බෙදීම් හෝ දේශපාලන පක්‍ෂ විදිහට බෙදීම් එපා. වටුවන් රැුලක් වගේ එකතු වෙන්න ඕනෑ. දිරිය පුරවැසි සමිති ඉටුකළ යුත්තේ එම කාර්යයයි.

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

One comment

  1. රතු අලි සහ කොල අලින්ට අනුව රටේ අාර්තිකයට කෙලවලා තියෙන්නෙ රනිල් සහ රනිල්ගෙ ගෝල බාලයො ටික 'මහ බැංකුවෙ' බැඳුන්කරේට සහ 'සේවක අර්ත සාධක අරමුදලට' විදල රටට කෝටි ප්‍රකෝටි ගනනකට පාඩු කල එකෙන් නෙවෙය් සිල් රෙදි බෙදන්න ලක්‍ෂ 6,000 ක් වියදම් කරලය්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *