ලලිත්,අනුෂ සිරකරු අංක නිකුත් කිරීමටත් පෙර බන්ධනාගාර රෝහලට! වැලිකඩ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනි නිර්මලී වහාම ඉවත් කරනු…

0

වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවරගේ 2017 ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

අදාල වෛද්‍යවරිය ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන සිරකරුවන් දෙදෙනා වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රමවිරෝධී සහ ප්‍රශ්න කාරීබවත් 2017 වසර සඳහා ඇය ලබා ඇති ස්ථාන මාරුවීම වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක නොවී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි. වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවරගේ 2017 ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබේ. අදාල වෛද්‍යවරිය ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන සිරකරුවන් දෙදෙනා වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රමවිරෝධී සහ ප්‍රශ්න කාරීබවත් 2017 වසර සඳහා ඇය ලබා ඇති ස්ථාන මාරුවීම වෘත්තීය සමිතියක බලපෑමෙන් ක්‍රියාත්මක නොවී ඇති බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ සිරකරුවකු බන්ධනාගාරය වෙත රැගෙන ඒමෙන් පසුව මුලින්ම ඔහුට සිරකරු අංකයක් ලබාදිය යුතු අතර ඉන් පසුව ඡායාරූපයක් ගත යුතුය. වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය භාර වෛද්‍යවරයා වෙත යොමු කෙරෙන්නේ ඉන් අනතුරුවය. එහෙත් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට බන්ධනාගාරයට රැගෙන පැමිණි වහාම සිරකරු අංක නිකුත් කිරීමටත් පෙර වෛද්‍ය නිර්මලී තේනුවර ඔවුන්ව හමුවී ඇති අතර කාර්ය භාර වෛද්‍ය වරයා වෙත යොමු කිරීමට පෙර ඇය විසින් ම ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා ටිකට් පත් ලියා දී ඇත. මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීමක් වන අතර මෙවැන්නක් සිදුවිය හැක්කේ මරණාසන්න රෝගියකු සම්බන්ධයෙන් පමණක් විය හැකි බවත් බන්ධනාගාර ඉතිහාසයේ මින් පෙර මෙවැන්නක් සිදුවී නොමැති බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

එසේම මෙම ක්‍රියාවලිය බාහිර පුද්ගලයින්ට අනාවරණය වීම හේතුවෙන් මතු වූ විරෝධය නිසා ලලිත් සහ අනූෂව එදින රාත්‍රියේ ම (7) බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට නොහැකි වී තිබේ. එහෙත් ඔවුන් දෙදෙනා පැමිණෙන තෙක් වෛද්‍ය නිර්මලී රාත්‍රී 9.00 වන තුරු බන්ධනාගාර රෝහලේ රැඳී සිට ඇත. පසුදින (8) උදෑසන නියමිත වෙලාවටත් පෙර සේවයට වාර්තා කර ඇති ඇය හැකි ඉක්මනින් අංක V18069 සහ V18068 යන අංක දරණ පෙර කී සිරකරුවන් දෙදෙනා බන්ධනාගාර රෝහලට අංක 7401 සහ 7402 යටතේ ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. මෙය දූෂිත ක්‍රියාවලියක් බවත් කාර්ය පටිපාටි උල්ලංඝනය කිරීමක් බවත් එම ලිපියෙන් අවධාරණය කෙරෙයි.

මේ සම්බන්ධව පැමිණිලි කිරීමෙන් අනතුරුව බන්ධනාගාර අමාත්‍යවරයා විසින් සිරකරුවෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම සඳහා වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නිර්දේශය අවශ්‍ය බවට නව නියෝග පැනෙව්වද වෛද්‍ය නිර්මලී, වෛද්‍ය ටිරානි සහ වෛද්‍ය සුජීවා යන අය එක්ව දැන් එම නියෝගය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට ඒ සඳහා නිර්දේශ ලබා දෙන්නේ වෛද්‍ය වෛද්‍ය වරුණ ජයතිලක බවත් මේ සිව්දෙනාගේ කණ්ඩායම බන්ධනාගාර රෝහල තුළ පෙර පැවති ක්‍රියාකාරම් සුපුරුදු ලෙසම කරගෙන යන බවත් අදාල ලිපියෙහි සඳහන් ය.

වෛද්‍ය නිර්මලී තේනුවර 2017 වසරේ කොළඹ මහ රෝහලෙහි සේවය සඳහා ස්ථාන මාරුවීමක් ලබා ඇතත් එය ක්‍රියාත්මක වීම වළක්වාගෙන සිටින්නේ වෘත්තීය සමිතියක සහ සයිටම් ආයතනයට සම්බන්ධ නිලධාරියකුගේ බලපෑමෙන් බව පෙන්වා දෙන ලිපියෙන් වෛද්‍ය නිර්මලීට දිස්ක්‍රික් රෝහලක කාර්ය භාර නිලධාරී තනතුර දැරීම සඳහා සුදුසුකම් නොමැති බවත් පෙන්වා දෙන අතර බන්ධනාගාර රෝහල සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් මීට මාස 3කට පෙර පවත්වනු ලැබූ පරීක්ෂණය පිළිබඳව ද සිහිපත් කෙරෙයි.

එහෙයින් ඉහත කී කරුණු සියල්ලම සලකා බලා වෛද්‍ය නිර්මලි තේනුවරට කොළඹ මහ රෝහල වෙත ලැබී ඇති ස්ථාන මාරුව වහා ක්‍රියාත්මක කරන ලෙසත් දිස්ක්‍රික් රෝහලක කාර්ය භාර නිලධාරී තනතුර දැරීම සඳහා සුදුසුකම් ඇති අයකු පමණක් බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා ලෙස පත් කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, බන්ධනාගාර හෙද නිලධාරී සංගමයේ හිටපු ලේකම් මහින්ද කෝදාගොඩ, බන්ධනාගාර රැඳෙවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතීඥ සේනක පෙරේරා, නීතීඥ උදුල් ප්‍රේමරත්න, කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන්, නීතීඥ නාමල් රාජපක්ෂ සහ මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල යන අයගේ අත්සනින් ලිපිය නිකුත් කෙරී ඇත.