Home / Featured / අවාසනාවකට මේ ආණ්ඩුව බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියකයි ඉන්නේ…චීවරධාරියා,සංඝමුදලාලි මේ තමයි මේ ආණ්ඩුව රටට ලබාදුන් වෙනස….

අවාසනාවකට මේ ආණ්ඩුව බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියකයි ඉන්නේ…චීවරධාරියා,සංඝමුදලාලි මේ තමයි මේ ආණ්ඩුව රටට ලබාදුන් වෙනස….

“ලෝරන්ස් රන්ජන් රාමනායක නොදැන සිටියාට ඉතිහාසය පුරා භික්ෂුන් වහන්සේලා තමයි රජයේ වැරදි පෙන්නුවේ. රජවරු දොහොත් මුදුන් තබා නමස්කාර කොට ඒ අවවාද අනුශාසනා පිළිගත්තා මිසක් චීවරධාරියා සංඝ මුදලාලියා කියමින් භික්ෂුන් වහන්සේට අපහාස කලේ නෑ.”යැයි ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට බැලීමට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  බන්ධනාගාරයෙන් පිටව යන මොහොතේ මාධ්‍ය වේදීන් වෙත අදහස් දක්වමින් කියා සිටියා.

දෙවැනි වතාවටත්  ලලිත් වීරතුංග මහතාත් අනූෂ පැල්පිට මහතා බැලීමට බන්ධනාගාර රෝහලට පැමිණියේ මේ නඩු තීන්දුව පිළිබඳ නීතිමය විවරණයක් සකස් කිරීමේ බලාපොරොත්තුවෙන්.  අපේ රටේ නීතිමය කාරණා පිළිබඳ සමාජය විවෘතව කතා කරනවා අඩු නිසා ම නඩු තීන්දුව පිළිබදව ජනතාවටත් අවබෝධයක් නෑ.  ඒ නිසා අපි මේ පිළිබඳව නීතිමය විවරණයක් සකස් කර ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.

 දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යටතේ තමයි ලලිත් වීරතුංග මැතිතුමාට  මේ චෝදනාව නගලා තියෙන්නේ.  386 වන වගන්තිය යටතේ සාවද්‍ය පරිහරණයක් වෙන්න නම් එක්කෝ එම මුදල් භාවිතාකළ කෙනාට වාසියක් සිදුකරගෙන තියෙන්න ඕන. නැත්නම් මුදල් බාරදුන් කෙනා එහෙමත් නැතිනම් රජයට පාඩුවක් සිදුවෙන්න ඕනේ.   මේ දෙකෙන් එකක්වත් වෙලා නැහැ.

 ඒ වගේම නඩු තීන්දුවේ සඳහන් වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ගන්නේ පසු අනුමැතියක් කියලා. ඒක වරදක් නම් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි ජනාධිපති අරමුදලට මුදල් නිදහස් කරන සියළුම නිළධාරීන් අත්අඩංගුවට ගතයුතුයි. ජනාධිපති අරමුදල පිළිබද පනතේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා අධ්‍යක්ෂක මණ්ඩලය නැතිනම් කළමනාකරණ මණ්ඩලයේ අනුමැතියකින් තමයි සියළුම මුදල් නිදහස් කල යුත්තේ කියලා. අපි දන්නවා දිනපතා ලක්ෂ එකහාමාර දෙක රෝගීන්ට මුදල් නිකුත් කරනවා. මේ නිකුත් කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියෙන් නෙමෙයි. ජනාධිපති ලේකම් වරයා විසින් අනුමත කළාට පසුව එම මුදල් නිකුත් කරනවා.  මාස තුනකට විතර සැරයක් තමයි මේක රැස්වෙන්නේ. ජනාධිපතිවරයා අගමැතිවරයා ජනාධිපති ලේකම් වැනි රටේ කාර්ය බහුලම අයගෙන් තමයි ජනාධිපති අරමුදලේ කළමණාකරන මණ්ඩලය පත්වෙලා තියෙන්නේ.  එම මණ්ඩලය මාස්පතා හමුවෙන් නෑ. මාස තුන හතරකට සැරයක් හමුවෙන්නේ. ලේකම් වරයා අනුමතකල ඒවට පසුව අනුමැතිය ගැනීම සිදු කෙරෙනවා.

 මා හිතන් නෑ ජනාධිපති අරමුදලේ නිලධාරීන් මීට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව එක සතයක් වියදම් කරයි කියලා. ඒ නිසා අසරණ හෘද රෝගීන්ගේ හෘදයන් නතර වන තුරු ජනාධිපති අරමුදලේ මුදල් නිදහස් නොකිරීමේ අවදානමක් මේ නඩු තීන්දුව හරහා මතුකරලා තියෙනවා. අතිගරු ජනපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

 ප්‍රශ්නය

 මේ සිල් රෙදි ඡන්දේ කාලේ බෙදුවා කියලා නේද මූලිකවම චෝදනා කෙරෙන්නේ?

 පිළිතුර

 එහෙම චෝදනාවක් චෝදනා පත්‍රයේනම් නෑ. නීතිපති වරයා විසින් ගොනු නොකල වරදකට විනිසුරුවෙකුට දඩුවම් දෙන්න හැකියාවක් නෑ. ඒ වගේම ඡන්ද කාලේ ඉලක්ක කර බෙදුවා කියන්නෙත් පට්ටපල් බොරුවක්. මේ යෝජනාව එන්නේ සම්බුද්ධත්ව ජයන්ති කම්ටුවේ එක් නිර්දේශයක් විදිහට. මේ නිර්දේශය දිගින් දිගටම ක්‍රියාත්මක වීම ප්‍රමාදවීම ගැන ශාසනාරක්ෂක බලමණ්ඩල ආදියෙන් පැමිණිලි එද්දි මාර්තු මාසයේ 20 වෙනිදා ජනාධිපති සංවර්ධන අරමුදලෙන් මේ මුදල නිකුත් කිරීමට නියම කරනවා. ඉන් අනතුරුව සමීක්ෂණ හරහා සිල්ගන්නා පුද්ගලයින් කීදෙනෙක් ඉන්නවාදැයි හදුනාගෙන ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරලා සිල්ලෙදි ලබාගැනීම තීරණය වෙන්නේ ඔක්තෝම්බර්මාසයේ. එවිට ජනාධිපති වරණයක් නෑ.

 ජනාධිපතිවරණය තීරණය කරන්නේ නොවැම්බර් මාසය වෙන කොට මේවා අත්සන් තබලාත් ඉවරයි. එහෙමනම් මේක එක් ජනාධිපති අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කළානම් ජනාවාරි 8ට කලින්මේවා බෙදන්න කියලා පන්සල්වලට නියෝගයක් දෙන්න තිබ්බා. එහෙම නැත්නම් එජාපයට හා ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන පන්සල් මග හැරලා සන්ධානයට සහය දක්වන පන්සල්වලට පමණක් මේ සිල්රෙදි දෙන්න තිබුනා. එහෙම දෙයක් සිදුවෙලාත් නැ.

 සෘජුවම සිල්ගත් අයට නෙමෙයි මේ සිල් රෙදි දීලා තියෙන්නේ. පන්සල් වලටයි සිල් රෙදි බාරදීලා තියෙන්නේ. ඉතින් ඒ පන්සල්වලට ජනාධිපතිවරණය ඉවර වෙලා උනත් ඒවා බෙදන්න තිබුනා. ඒ නිසා මේකේ ජනපති අපේක්ෂකයෙක් ප්‍රවර්ධණය කිරීමේ චේතනාවක් කිසිම තැනක ඔප්පු වෙලා නෑ.

ප්‍රශ්නය

නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ දිනයේ යලිත් භික්ෂුන් වහන්සේලාට අපහාස කලා. ඒ ගැන ඔබතුමන් මොකද හිතන්නේ

 පිලිතුර

අවාසනාවකට මේ ආණ්ඩුව බෞද්ධ විරෝධි ප්‍රතිපත්තියකයි ඉන්නේ . ඒ නිසා ඉතාම නරක ආකාරයට භික්ෂුන් වහන්සේලාට කතා කරනවා. උන්වහන්සේලාගේ  ක්‍රියාමාර්ග ආණ්ඩුවට රිදෙන ආකාරයට සිදුකරන නිසා.

ලෝරන්ස් රන්ජන් රාමනායක නොදැන සිටියාට ඉතිහාසය පුරා භික්ෂුන් වහන්සේලා තමයි රජයේ වැරදි පෙන්නුවේ. රජවරු දොහොත් මුදුන් තබා නමස්කාර කොට ඒ අවවාද අනුශාසනා පිළිගත්තා මිසක් චීවරධාරියා සංඝ මුදලාලියා කියමින් භික්ෂුන් වහන්සේට අපහාස කලේ නෑ.

අපිට මතකයි අපේ ආණ්ඩුව පෙරලීම සදහා සාධාරණ සමාජයක් සදහා ජනතා ව්‍යාපාරය පටන්ගත්තේ මාදුළුවාවේ සෝභිත හමියන්.  උන්වහන්සේ ආණ්ඩුව පෙරලිමේ වැඩපිළිවෙලක 2010ත් හිටියා. මොකද සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහු පිටුපස සිටි ප්‍රධානතම භික්ෂු චරිතයත් උන්වහන්සේ. නමුත් අපේ ආණ්ඩුවේ කිසිම අමාත්‍යවරයෙක් උන්වහන්සේට චීවරධාරියා කියලා අපහාස කලේ නෑ. සංඝමුදලාලි කිව්වෙත් නෑ. මේ තමයි මේ ආණ්ඩුව රටට ලබාදුන් වෙනස.

Check Also

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමයි…

පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය වැඩිවීම, මනාප ක‍්‍රමය අහෝසි වීම, එක දිනයකදී මැතිවරණය පැවැත්වීම රටට ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *