Home / විශේෂාංග / පිංඩපාත සල්ලි ද අභියාචනාවද?: දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය

පිංඩපාත සල්ලි ද අභියාචනාවද?: දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය

රටේ ඉමහත් කතාබහට ලක්ව ඇති නඩු තීන්දුවක් මගින් වරදකරුවන් කරන ලද හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රටේ පවත්නා නීතියට අනුව අධිකරණයකින් ලබාදෙන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ඕනෑම චූදිතයෙකුට අයිතියක් තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ද අනුගමනය කර ඇත්තේ එම පිළිවෙතය.

එහෙත් මේ රටේ තවත් පිරිසක් එකී නඩු තීන්දුව හේතුවක් කරගනිමින් ජනතාව අතර වැරදි චිත්‍රයක් සටහන් කිරීමට ගනු ලබන උත්සාහයක් ද පවතී. ඔවුන්ට අනුව අදාළ නඩු තීන්දුව මගින් මේ රටේ බෞද්ධාගමට අපහාසයක් කර ඇති බව ද කියයි. ඒ තුළ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගසා ඇති බවක් ද ප්‍රකාශ කරයි. ප්‍රථමයෙන්ම සලකා බැලිය යුත්තේ මේ කියන කාරණයේ ඇත්තක් තිබේ ද යන්නය, එසේ කියන්නේ කවුරුන් ද යන්නයි. දෙවනුව සලකා බැලියයුත්තේ ඔවුන්ගේ අරමුණ කුමක් ද යන්නයි.
ඒ සඳහා පෙරමුණ ගෙන ඇති පිරිස අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ අනුගාමිකයින් ලෙස ක්‍රියාකරන විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා බන්දුල ගුණවර්ධන වැනි

×දේශපාලන චරිත එක් පාර්ශවයක් නියෝජනය කරද්දි මැදගොඩ අභයතිස්ස හිමියන් ද ඇතුළු මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක් ද ඊට එක්වී ඇති ආකාරයක් ද පෙනී යයි. අද ඔවුන් සූදානම් වන්නේ ලලිත් වීරතුංග මහතාට හා අනූෂ පැල්පිට මහතාට පනවා ඇති දඩ මුදල් ගෙවා දැමීමට යැයි කියමින් මහජනතාවගෙන් මුදල් එක්රැස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නටය. ඒ සඳහා එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාතයේ යාමට ද සූදානමක් ඇති බව ප්‍රකාශ වේ.

එකී කරුණු සළකා බැලීමේදී අප අමතක නොකළයුතු කරුණු දෙකක් ද පවතී. ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් ට දඩ මුදලක් ද ගෙවීමට නියම කරමින් සිරදඬුවම් පනවා ඇත්තේ මේ රටේ ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ වරදට ය. ඒ අනුව ඔවුන්, කාගේ නියමයකට අනුව වේවා සිදුකර ඇත්තේ බරපතළ වැරැද්දකි. එය පළමු කරුණය. ඊට අමතරව එම වැරදි ද සිදුකර ඇත්තේ පටු දේශපාලන අරමුණක් වෙනුවෙනි. ඇතැමුන් කියන ආකාරයට බෞද්ධාගමේ හෝ සිංහල බෞද්ධයාගේ යහපත, අරමුණු කරගනිමින් නොවේ. අද ඇතැම් භික්ෂූන් වහන්සේලා කියන ආකාරයට පිං කිරීමේ චේතනාවක් ඒ තුළ කිසිසේත්ම නොතිබුණ අතර ඔවුන්ගේ පරම චේතනාව වී තිබුණේ මේ රටේ අහිංසක ජනතාවට අල්ලසක් ලබාදී ඒ හරහා මහින්ද රාජපක්ෂට ඡන්දයක් ඩැහැගැනීම ය. පසුගිය ජනාධිපතිවරණයට දින හතරක් තිබියදී එකී ජනාධිපතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ද යොදන ලද සුදු රෙදි පාර්සල් ඡන්ද දායකයින් අතට පත්කිරීම ඉතා පැහැදිළි ලෙසම දේශපාලන අල්ලස් ලබාදීමක් ලෙස සැලකිය හැක්කේ ඒ නිසාය. එය දෙවන කාරණයයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කර ඇති ඉතා වැදගත් ප්‍රකාශයක් පිළිබඳව ද එහිදී අවධානය යොමුකළ යුතුය. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට මෙම සමස්ත ක්‍රියාවලිය සඳහා උපදෙස් හා නියෝග නිකුත් කර ඇත්තේ ඔහු විසින් ය. එය අප සැලකිය යුත්තේ ඉතාමත් වගකීමකින් යුතුව සිදුකර ඇති ප්‍රකාශයක් ලෙසටය. එකී ප්‍රකාශය අනුව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ද චෝදනා ගොනුකළ යුතුය. යම් වැරදි ක්‍රියාවක් සඳහා නීතිය ඉදිරියේ දඬුවම් පැමිණවිය යුත්තේ එය ක්‍රියාවට නැංවූ පුද්ගලයන් පමණක්ම නොවේ. ඊට නියෝග දුන් පුද්ගලයන් ද සෘජුවම ඊට වගකිව යුතුව තිබේ.

ඒ සමගම මේ රටේ පුරවැසියන් ලෙස අප තේරුම්ගත යුතු වැදගත්ම කාරණාවක් ද ඇත. එනම් රටේ පවත්නා නීතිය අනුව කිසියම් අධිකරණයක් මගින් දඬුවම් පමුණුවන ලද පුද්ගලයෙකු එකී තීන්දුවට එරෙහිව අභියාචනයක් සිදුකර ඇති අවස්ථාවක දී යම් ප්‍රමාණයකට එකී දඬුවම ද අත්හිටවෙන බව ය. ඒ අභියාචනාධිකරණය එකී කරුණ විමසා තීන්දුවක් ලබාදෙන තෙක් ය. ඒ අනුව ලලිත් වීරතුංග මහතාට හෝ අනූෂ පැල්පිට මහතාට පනවා ඇති දඩ මුදල මේ මොහොතේ ගෙවා දැමීමට කිසිදු අවශ්‍යතාවයක් ද නැත. යමෙකු එසේ දඩ මුදල් ගෙවා දැමීමට කටයුතු කරන්නේ නම් එහි අර්ථය එකී නඩු තීන්දුව පිළිගන්නා බවය. නඩු තීන්දුව පිළිගන්නේ නම් අභියාචනා කිරීමේ තේරුමක් නැත. ඒ සමගම යම්කිසි තීන්දුවකට අදාළව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් එකී තීන්දුව ප්‍රකාශ වනතුරු දඩ මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් ද පැන නොනගී.

ඒ අනුව දැන් මතුවන සාධාරණ ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට මුදල් එකතු කිරීමේ අරමුණ කුමක්ද යන්නය. පැහැලිදි ලෙසම එහිදී ඔවුන්ගේ අරමුණ එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මානා ගැනීමය. ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන අයට එරෙහිව මහාධිකරණය මගින් ලබාදී ඇති නඩු තීන්දුව ඉහළ අධිකරණයක් වෙතට යොමුකර එය ආපසු හැරවීමට උත්සාහ කිරීම එහිදී එක් උපාය මාර්ගයක් වේ. ඒ සඳහා නීතිඥ ගාස්තු ද ඇතු`එ අති විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. මේ රටේ අහිංසක ජනතාව මුලා කර ඒ සඳහා මුදල් උපයාගැනීම එහි එක් අරමුණක් වනවා ද වියහැකිය.

ඒ සමගම මෙකී තත්වය විකෘති කරමින් සමාජය තුළ වෙනස් ආකාරයේ මතයක් ගොඩනැගීමට උපරිම උත්සාහයක් ගැනීම එහි දෙවන පියවර ය. බුද්ධ ශාසනයේ ආරක්ෂාව බෞද්ධාගමට එරෙහි කුමන්ත්‍රණ වැනි ඕනෑම මොහොතක පහසුවෙන් අලෙවි කළහැකි සටන් පාඨයක පිහිට පැතීම එහිදී වඩාත් පහසු වන බව ඔවුන් හොඳින් දනී. ලලිත් වීරතුංගට හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව පවරා තිබූ නඩුව සිල් රෙදි නඩුව ලෙස සමාජගත කර තිබීම ද ඔවුන්ට එරෙහි මනා පහසුවක් විය. සත්‍යවශයෙන්ම එය හැඳින්විය යුත්තේ සිල් රෙදි නඩුව ලෙස නොව සුදු රෙදි නඩුව ලෙසට ය. මක්නිසාද යත් විදුලි සංදේශ කොමිසමේ මුදල් යොදවා ඔවුන් මිලදී ගෙන ඇත්තේ ත් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී මේ රටේ විහාරස්ථාන ගණනාවක් හරහා මහජනතාව අතර බෙදා දී ඇත්තේ ත් සිල් රෙදි නොව සුදුරෙදි වන නිසාය. එය සිල් රෙදි බවට පත්වීමට නම් මේ රටේ උපාසක, උපාසිකාවන් එම රෙදි පොරවා ගනිමින් අඩුම වශයෙන් අටසිල් හෝ සමාදන් වියයුතුය. එහෙත් අප දන්නා පරිදි රුපියල් දසලක්ෂ හයසියයක් වියදම් කර සුදු රෙදි මිලට ගෙන ඒවා මේ රටේ උපාසක උපාසිකාවන් වෙත පරිත්‍යාග කළේ නම් ඒවා හැද පැළැද මේ රටේ සෑම පුරවැසියෙක්ම පාහේ සිල් සමාදන් වියයුතුව තිබුණි.

මෙහිදී සිහිපත් වන්නේ පසුගිය දා මහින්ද රාජපක්ෂ මහතා ජනමාධ්‍ය හමුවේ සිදුකර ඇති ප්‍රකාශයකි. එහිදි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මහනුවර දළදා මාලිගාවට ගිය අවස්ථාවක දී එක්තරා මාතාවක් ඔහු සමග කියන කතාවකි. මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර ඇති ආකාරයට එම මාතාවට ලැබී ඇති සිල් රෙද්ද ඇගේ නිවසේ තවමත් සුරක්ෂිතව පවතී. එය ආපසු බාරදෙන්නට ද ඇය සූදානම් ය. ඒ අනුව පෙනීයන්නේ මේ කියන සිදුරෙදි කඩ තවමත් සිල් රෙද්දක් වී නැති වගය. පුර පොහොය තිහකටත් වැඩි කාලයක් තිස්සේ එය තිබී ඇත්තේ ගෙදරක අල්මාරියක ය.

එය වෙනම අවධානයක් යොමුකළයුතු කරුණකි. ඒ කෙසේ වෙතත් මෙකී සමස්ත ක්‍රියාවලිය පොදු සමාජය තුළ කාවැදී තිබුණේ සිල් රෙදි බෙදා දීම, සිල් රෙදි නඩුව වැනි විශේෂණ තුළය. ඒ අනුව රාජපක්ෂවාදී භික්ෂු කණ්ඩායමකට වැළදීම සඳහා අලුත් අතුරුපසක් ද නිර්මාණය වී තිබේ. මේ වනවිට සිල් රෙදි ආපසු බාරදීමේ හා දඩ මුදල් සම්මාදන් ව්‍යාපාර බිහිවන ආකාරයත් පෙනී යන්නේ ඒ අනුවය. ඇතැම්විට එය මේ මොහොතේ හදිසියේම පාදූර්භූත වූ ඉල්ලමක් ලෙසට ද ඔවුන් සලකනවා වියහැකිය. මක්නිසාද යත් මේ මොහොතේ තමන්ට ලැබී ඇති අධිකරණ තීන්දුවට එරෙහිව ලලිත් වීරතුංග මහතා මෙන්ම අනූෂ පැල්පිට මහතා ද අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීන්දු කිරීම තුළ මේ මොහොතේ දඩ මුදල් ගෙවා දැමීමේ අවශ්‍යතාවයක් පැන නොනගින නිසාය. ඒ අනුව ඒ සඳහා යැයි කියන එකතු කළහැකි යම් මුදලක් වී ද එය ද වැටෙන්නේ තමන්ගේම පාත්තරයට බව උන්වහන්සේලා කල්පනා කරනවා වියහැකිය.

එහෙත් මේ රටේ දැනුවත් ජනතාව ඒ තුළ මුලා කළහැකි යැයි යමෙකු කල්පනා කරන්නේ නම් එය ද බලවත් මුලාවක් වනු ඇත. ඒ අනුව මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මෙකී විරෝධතාවයන් සංවිධානය කරන භික්ෂූන් වහන්සේලාට එක් තෝරා ගැනීමක් කළයුතුව තිබේ. එනම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන්ට අදාළව මහාධිකරණය ලබාදුන් නඩු තීන්දුව පිළිගෙන අදාළ දඩ මුදල් ගෙවමින් නියමිත සිර දඩුවම් විදින ලෙසට ඔවුන්ට දැනුම් දීමය.

ඒ අනුව අභියාචනා කිරීමේ අවශ්‍යතාවයක් පැනනොනගී. එහෙත් එකී තීන්දුවට අදාළ චූදිතයන් තමන්ට ලැබී ඇති දඩුවම් වලට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් මේ මොහොතේ මුල් තීන්දුවෙන් ලබාදී ඇති දඩ මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් ද පැන නොනගී. ඒ අනුව සල්ලි පිණ්ඩපාතයේ යාමට හේතුවක් නැත. මේ රටේ ඒකාබද්ධ විපක්ෂය ද එයට සරණක් වන හෝ එහි සරණ යන මේ රටේ භික්ෂූන් වහන්සේලා ද එම දෙමගින් එක් මගකට පිවිසිය යුතුය. “දොං නම් දොං ය, සිමං නම් සිමං ය”. දොං සිමං දෙකක් එකවර බැරිය යන්න ගැමි පිරුළ සිහිවන්නේ එවිට ය.

සුනිල් ජයසේකර

Check Also

නීතිඥ වෘත්තියේ හා අධිකරණ පද්ධතියේ වැරදි වසන් කිරීම නොව ඒවා නිවරදිකරවා ගැනීම කාටත් ප‍්‍රයෝජනවත් වනු ඇත

ලංකාවේ සමස්ථ අධිකරණ පද්ධතියේ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් මතුවී තිබෙන විවාදය මේ පිළිබඳව පැවතී ඇති සාකච්චා වල ...