Home / Featured / මැතිවරණ පවත්වන්න දේශපාලන සැලසුමක් ආණ්ඩුවට නෑ……..මෙගා ටෙලිනාට්‍ය පළාත් සභා නම් එපා

මැතිවරණ පවත්වන්න දේශපාලන සැලසුමක් ආණ්ඩුවට නෑ……..මෙගා ටෙලිනාට්‍ය පළාත් සභා නම් එපා

පළාත් සභා මැතිවරණය වරින් වර පැවැත්වීමේ තක්කඩි දේශපාලනය, ඒකාධිපති වියරුව පසුගිය රාජපක්‍ෂ පාලන කාලයේ වසර 8ක් පුරා අත් විඳ ඇති බැවින් සියළුම පළාත් සභා එකම දිනයකදි පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද (21) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මෙගා නාට්‍ය කොටස් මෙන් රට පුරා අවුරුදු දෙකක් තුළ මැතිවරණ පැවැත්වීමෙදි ආණ්ඩුව රාජ්‍ය  බලය උපයෝගි කරගෙන ඡන්ද කරන බවත් විපක්ෂයයට නම් එය එතරම් පහසු කාර්යයක් නොවන බවත් ය.

“ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණු පළාත් සභා මැතිවරණ සංශෝධන පනත 2/3න් සම්මත වුණා. ඒ අනුව පළාත් සභා මැතිවරණ ක‍්‍රමයේ බරපතළ වෙනසක් සිදුවෙනවා. මැතිවරණය පැවැත්වීමේ දිනයේ වෙනසක් සිදුවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මෙම පළාත් සභා මැතිවරණ පැවැත්වීම පිළිබඳව මුල සිටම යම් ස්ථාවරයක හිටියා. එය අපි රටට කිව්වා. පළාත් සභා මැතිවරණයද කොට්ඨාස හා සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමයට පැවැත්වීම පිළිබඳව ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී දේශපාලන පක්‍ෂ 95%ක එකඟතාවයෙන් සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම පළාත් සභා මැතිවරණය එක් දිනයක පැවැත්විය යුතු බවට අපි ස්ථාවරයක ඉන්නවා,” මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

“ඒ වගේම පළාත් පාලන මැතිවරණය එක ඡන්ද ක‍්‍රමයකටත් පළාත් සභා මැතිවරණය තවත් ක‍්‍රමයකටත් පැවැත්විය යුතු නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණය මෙගා ටෙලි නාට්‍යයක් ආකාරයට කෑලි කෑලි පැවැත්විය යුතු නැහැ. පසුගිය රාපක්‍ෂ පාලන කාලය තුළ පළාත් සභා 09 අවස්ථා දෙක තුනකදී කොටස් වශයෙන් පැවැත්වුණා. ඒ වගේම ඒ මැතිවරණය රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් භාවිතා කොට බඩු බෙදමින් සම්පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වුවා. 2007 අගොස්තු 23 නැගෙනහිර, උතුරු මැද, සබරගමුව ඡුන්දය පැවැත්වුවා. 2009 පෙබරවාරි 14වැනිදා වයඹ සහ මධ්‍යම ඡන්දය පැවැත්වුවා. 2009 අපේ‍්‍රල් 25වැනිදා බස්නාහිර ඡුන්දය පැවැත්වූවා. යුද්ධය අවසන් වුණේ 2009 මැයි මස 19වැනිදායි. තීරණාත්මක යුද්ධයක් පැවති ඒ මොහොතේ ජාතික ආරක්‍ෂාව ගැන පවා නොසිතා රාජපක්‍ෂ තමන්ගේ බල වුවමනාව වෙනුවෙන් කඩින් කඩ ඡන්ද පැවැත්වූවා.”

“තොප්පිගල මෙහෙයුම අවසන් වෙලා ඡන්දයක්. වෙඩිතලතිව් මෙහෙයුමෙන් පස්සේ ඡන්දයක්. කිලිනොච්චි මෙහෙයුමෙන් පස්සේ තව ඡන්දයක්. මේ විදිහට රටේ ජාතික ආරක්‍ෂාව පවා බිල්ලට දෙමින් එක මෙහෙයුමකින් පස්සේ එක ඡන්දයක් පැවැත්වූවා. මල්ටි බැරල් එකක් වැදුණා වගේ පළාත් සභා සීසීීකඩ වුණා. 2008 මැයි මාසයේ ආරම්භ වුණු පළාත් සභා මැතිවරණය මාස 15ක් ඇතුළත පළාත් සභා ඡන්ද 06ක් ලෙස පැවැත්වුණා. යුද්ධයෙන් පසුවද 2012 සැප්තැම්බර් 08වැනිදා නැගෙනහිර, උතුරු මැද, සබරගමුව මැතිවරණයත් 2013 සැප්තැම්බර් 21 මධ්‍යම උතුර, වයඹ මැතිවරණයත් 2014 මාර්තු 29 බස්නාහිර, දකුණ ඡන්දයත්, 2014 සැප්තැම්බර් 20 ඌව මැතිවරණයත් පැවැත්වුවා. වසර 2ක් අතුළත පළාත් සභා මැතිවරණ ඡන්ද වට 05ක් පැවැත්වූවා. මෙම ඡන්ද පැවැත්වීම ගැන තර්ක කරන්න පුළුවන් නියමිත කාලය අවසන් වීමෙන් පසුව පැවැත්වූවා නම්. නමුත් ඇතැම් පළාත් සභා අවුරුදු 03 මාස 2න් විසිරෙව්වා. බොහෝ පළාත් සභා මැතිවරණ පැවැත්වූවේ වසර 04ක් අවසන් වූ පසුවයි. රාජපක්‍ෂ තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපෘතිය සඳහා පළාත් සභා කඩින් කඩ පැවැත්වූවා. විශාල ලෙස රාජ්‍ය මුදල් භාවිත කොට බඩු බෙදුවා. ඌව පළාත් සභාවේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මැතිවරණ කාලයේ ගමන් ගත්තේ සුදුපාට ඩිෆෙන්ඩර් 20ක් පමණ යොදාගෙන. ඉතාම නරක ආකාරයෙන් රාජ්‍ය දේපොළ භාවිතා කළා.”

“මේ වෙනකොට බරපතළ ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමයි. එනිසා ආණ්ඩුව කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ වගේම පළාත් සභා මැතිවරණය එක් දිනයකදී පැවැත්විය යුතුයි. ඒ වගේම ආණ්ඩුව එම මැතිවරණය පවත්වන දිනය නිශ්චිතව ප‍්‍රකාශ කළ යුතුයි. අපි යෝජනා කළේ පනත සම්මත වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. 20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වූ අධිකරණ නියෝගය නිසා එය සම්මත කර ගැනීමට ප‍්‍රායෝගික දුෂ්කරතා තිබුණා. මෙම පළාත් සභා සංශෝධන පනත ජූලි 26වැනිදා න්‍යාය පුස්තකයට ඇතුළත් වී තිබුණු අතර සැප්තැම්බර් මාසයේ එය සම්මත කර ගැනීමට පක්‍ෂ නායකයින්ගේ එකඟතාවයක් තිබුණා. ඒ සඳහා ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළද ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයක් තිබුණා. එම පනත මගින් කොට්ඨාස හා සමානුපාතික මිශ‍්‍ර ක‍්‍රමය පළාත් සභා මැතිවරණයටද යොදා ගැනෙනවා. ඒ වගේම මනාප ක‍්‍රමය අහෝසි වෙනවා. කාන්තා නියෝජනය වැඩි වෙනවා. මෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ කිහිපයක් තිබෙනවා. නමුත් එම පනත පාර්ලිමේන්තුවට ගෙන ආ ආකාරය පිළිබඳව ගැටලූ තිබෙනවා.”

“මෙම පළාත් සභා සංශෝධන පනත ඉදිරිපත් කිරීමේ ආණ්ඩුවේ අභිලාෂය වුණේ පළාත් සභා සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීම යන සාධකය වුණාට, ආණ්ඩුවේ ඇත්ත වුවමනාව වූයේ පළාත් සභා මැතිවරණය කල් දමා ගැනීමේ අරමුණයි. නමුත් අපි මෙම පනතේ සාධනීය කරුණු ගැන සලකා බලා ඡන්දය දෙනවා වෙනුවට පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමටද කාලසටහනක් සහිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට බාර දුන්නා. ඒ වගේම සම්මත වූ පළාත් සභා පනතට අනුව මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සිදුවන නිසා ඒ සඳහා සීමා නිර්ණයක් කළ යුතුව තිබෙනවා. සීමා නිර්ණය අපේ‍්‍රල් මාසය වනවිට අවසන් කළ යුතුව තිබෙනවා. එවිට පළාත් සභා මැතිවරණය ජූලි මාසයේදී පවත්වන්න පුළුවන්. පනතේ අඩංගුව ගැන බරපතළ ගැටලූ නැතත් පනත පාර්ලිමේන්තුවට ගෙනආ ආකාරය සම්ප‍්‍රදායට පටහැණියි. ආණ්ඩුවට අවශ්‍ය නම් මෙය පක්‍ෂ සමඟ සාකච්ඡා කරලා ගේන්න පුළුවන්කම තිබුණා. නමුත් මේ ආණ්ඩුවට වරාය විකුණන්න, සයිටම් ආරක්‍ෂා කරන්න, හොරකම් කරන්න සැලසුමක් තිබුණට මැතිවරණ පැවැත්වීම සඳහා දේශපාලන සැලසුමක් නැහැ. මැතිවරණය කල්දා ගන්න 20 අරගෙන දිව්වට ආණ්ඩුවට ඒක කරගන්න බැරිවුණා. පළාත් සභා පනත සංශෝධනය කරගන්න වුවමනාව ආණ්ඩුවට තිබුණා නම් ඒ සඳහා පක්‍ෂ සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ඕනෑ තරම් ආණ්ඩුවට තිබුණා.” මන්ත්‍රිවරයා වැඩිදුරටත් පවසා සිටියා. 

 

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...