Home / දවසේ පුවත / ගොම්මුන්නා කන්ද උලාකමින්….විලියම් වුඩ්ලි සමාගම අක්කර 300ක ගොවි බිම් හා ගම්මාන 12ක ජන දිවිය වනසයි…

ගොම්මුන්නා කන්ද උලාකමින්….විලියම් වුඩ්ලි සමාගම අක්කර 300ක ගොවි බිම් හා ගම්මාන 12ක ජන දිවිය වනසයි…

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම හා මාවතගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට අයත් ගොම්මුන්නා කන්දේ විලියම් වුඩ්ලි සමාගමෙන් පවත්වාගෙන යන මහ පරිමාණ දැව ඉරුම්හල් හා කළු ගල් ඇඹරුම් කර්මාන්ත වල කි‍්‍රයාකාරීත්වයෙන් මෙන් ම මහ පරිමාණ කළු ගල් හා පස් කැණීම් හේතුවෙන් ගම්මාන 12 ක ජනතාව දැඩි ජල අර්බුදයකට හා කඳුවැටිය නාය යාමේ අවධානමකට ලක් ව සිටී.

මෙම මහා ව්‍යසනය සිදු කරන දර්ශන ප්‍රේමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුවිලියම් වුඩ්ලි පුද්ගලික සමාගම මහනුවර, පේරාදෙනිය පාරේ, අංක 941 දරන ස්ථානයේ පිහිටා ඇති අතර මෙම සමාගම ගොම්මුන්නා කන්දේ පවත්වාගෙන යන මහ පරිමාණ කර්මාන්තය කනදෙනියාව, පාරාගොඩ, ගොම්මුන්නා වත්ත, වුඩ්ලි එස්ටේට් හි ස්ථාපිත කර තිබේ.

විලියම් වුඩ්ලි සමාගමෙන් විනාශ කරන ගොම්මුන්නා කන්ද අතරමැදි කලාපයේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. ලංකාවට ආවේණික ජීවී විශේෂ බොහොමයකට වාසස්ථාන සපයන දැදුරු ඔයේ ජල පෝෂක වනාන්තරයකි. මොරන්කන්දෙන් දැදුරු ඔයේ ආරම්භය සිදු වුවද එහි ප‍්‍රධාන ජල පෝෂක ප‍්‍රදේශය වන්නේ අක්කර 2500කට වඩා වැඩි වපසරියකින් යුතු ගොම්මුන්නා කන්ද යි. මෙම කන්දේ ඉඩම් අක්කර 255ක් විලියම් වුඩ්ලි සමාගම විසින් හිමි කර ගෙන පසුගිය වසරේ සිට වනාන්තර එළිපෙහෙළි කරමින්පිවිසුම් මාර්ග පද්ධති සකස් කිරීම, මහ පරිමාණයෙන් කළු ගල් කැණීම හා පස් කැණීම සිදු කරන අතර කළු ගල් ඇඹරීම සඳහා විශාල යන්ත‍්‍ර පද්ධතියක් සහ විශාල දැව ඉරුම්හලක් ස්ථාපිත කර තිබේ. මේ හේතුවෙන් පහළ ප‍්‍රදේශයේ ගම්මාන 12 ක ජනතාව දැඩි පීඩාවට පත් ව සිටී. මහ පරිමාණ පස් කැණීම, කළු ගල් කැණීම හා දැවමය ශාක ඉවත් කිරීම හේතුවෙන් කදුවැටියේ පාංශු ස්ථර අස්ථාවර වී පාංශු ඛාදන තත්ත්වයන් උග‍්‍ර මට්ටමකට පරිවර්තනය වී තිබේ. මේ නිසා දිය දහරාවන් ඔස්සේ වර්ෂා කාලයේ දී රොන්මඩ පිරි ජලය ගලා ඒම සිදු වේ. එපමණක් නොව මෙම කඳුවැටියෙන් ආරම්භ වී පහළට ගලා එන ජල මූලාශ‍්‍ර 10ක් පමණ සිදී ගොස් තිබේ. මේ නිසා පවුල් 550ක් පමණ හා කුඹුරු අක්කර 280 ක් පමණ උග‍්‍ර ජල හිඟයකට මුහුණ පා ඇත. එපමණක් නොව කළු ගල් හා පස් කැණීම් මෙන් ම ගස් කැපීම හේතුවෙන් කඳුවැටි අස්ථාවර වී නාය යෑමේ අවධානමක් මතුව තිබේ.

ගොම්මුන්නාකන්දේ සිදු කෙරෙන මෙම විනාශකාරී කර්මාන්ත හේතුවෙන් රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉකිරිවත්ත හා පාරාගොඩ යන ග‍්‍රාම නිලධාරී වසම් දෙකේ ගම්මාන 12 ක ජනතාව බලපෑමට ලක් ව සිටී. පොල්ගොල්ල, රණමුකයාතැන්න, කෝන්ගහහේන, අලවත්තාහේන, දොඩන්තලාව, පාරාගොඩ, දොඹගොල්ල, ඉකිරිවත්ත, වේල්ලගොඩැල්ල, බොකනියාව, වැල්හීරිය හා මිහිලියද්ද යන ගම්මානවල ජනතාව මේ වන විට පීඩාවට පත්ව සිටී. ඉකිරිවත්ත ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 298ක් හා පාරාගොඩ ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 246ක් මේ වනවිට බලපෑමට ලක් ව ඇත.

ගොම්මුන්නාකන්දෙන් ආරම්භ වී පහළට ගලා එන රන් ආදා ඇළ, ගල්වල ඇළ හා රිලා ඇල්ල ඇතුළු දියදහරාවන් 10ක් මෙම ගම්මාන හරහා ගලා බසින අතර එම දියදහරාවන්ගෙන් ජලය ලබා ගෙන කුඹුරු අක්කර 278ක් වගා කෙරේ. ඉකිරිවත්තේ අක්කර 110ක්, ගනේගොඩ අක්කර 113ක් හා පාරාගොඩ අක්කර 55ක් වශයෙන් මෙම ප‍්‍රදේශයේ වී ගොවිතැන යල හා මහ කන්න දෙක තුළ දී සිදු කෙරේ. නමුත් මෙම හානිකර පස් කැණීම්, කළු ගල් කැණීම් හා ගස් කැපීම් හේතුවෙන් ඇළ මාර්ගවල ජලය සිදී යාමෙන්වගා බිම් සියල්ල අතහැර දැමීමට සිදු ව තිබේ. ඒ හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන යැපුම් මාර්ගය අහිමි වී ඇත. මීට අමතරව මෙම ප‍්‍රදේශයේ සුළු අපනයන භෝග වශයෙන් කුරුදු, කරාබුනැටි, ගම්මිරිස්, සාදික්කා, කෝපි හා කොකෝවා වගා කෙරේ. ජලය අහිමි වීමෙන් මේ සියල්ලම ගොවි ජනතාවට අහිමි වෙමින් තිබේ.

මෙම ගම්මාන වල ජීවත් වන ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාවන් සපුරා ගන්නේ ගොම්මුන්නාකන්දෙන් පහළට ගලා එන ඇළ මාර්ගවල ජලයෙනි. මීට අමතරව උල්පත් ජලයද භාවිතා කරයි. අද වනවිට ඒ සියල්ල සිදී යමින් තිබේ. එපමණක් නොව වැසි කාලවල දී අධික රොන්මඩ සහිතව ජලය ගලා යාම හේතුවෙන් වැසි කාලවල දී ද කන්දෙන් ගලා එන ජලය භාවිතයට ගත නොහැකි වී ඇත.

ගොම්මුන්නාකන්දේ මහ පරිමාණ පස් හා කළු ගල් කැණීම සහ ගස් කැපීම හේතුවෙන් ඇති වන බලපෑම මෙම ගම්මාන 12ට පමණක් සීමා වී නොමැත. බතලේගොඩ වැව හා දැදුරු ඔයේ ජලය ලබා ගෙන සිදු කෙරෙන කෘෂිකර්මාන්තයට හා පානීය ජල ව්‍යාපෘතිවලට මේ තත්ත්වය සෘජුව ම බලපා තිබේ. කවිසිගමුවෙන් දැදුරු ඔය හරස් කර ජලය ලබා ගෙන ඉදි කර ඇති බතලේගොඩ වැවේ ධාරිතාවය අක්කර අඩි 4840කි. මේ යටතේ විශාල ගොවි බිම් ප‍්‍රමාණයක් වගා කෙරේ. දැදුරු ඔය ඕගොඩපොල දී හරස් කර ජලය ලබා ගෙන රිදීගම, ඕගොඩපොල ඇතුළු විශාල ප‍්‍රදේශයකට පානීය ජලය ලබා දෙන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මේ සියල්ලටම ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහ පරිමාණ වනාන්තර විනාශය ඉතාම හානිකර ලෙස බලපානු ඇත. දැදුරු ඔයේ ජල සුරක්ෂිතතාවයට පමණක් නොව අධික ලෙස එක් වන රොන්මඩ හේතුවෙන් බතලේගොඩ වැව රොන්මඩින් පිරීයාමට පවා මේ හානිකර පස් කැණීම්, කළු ගල් කැණීම් හා මහ පරිමාණ දැව හෙළීම් බලපානු ඇත.

මෙලෙස මහ පරිමාණ විනාශයක් ඇති වීමට ප‍්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් නිසි ඇගයීමට ලක් නොකර කළුගල් හා පස් කැණීමට මෙන් ම දැව ඉවත් කිරීම සඳහා අනුමැතිය ලබා දීමය. මෙම ස්ථානයේ සිදු කෙරෙන කළු ගල් හා පස් කැණීම, කළු ගල් ඇඹරීමේ යන්ත‍්‍ර සහ දැව ඉරුම් පට්ටලය ඇතුළු කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා වෙන වෙන ම පරිසර ආරක්ෂණ බලපත‍්‍ර තුනක් හා කැණීම් කටයුතු සඳහා වෙන වෙනම කැණීම් බලපත‍්‍ර දෙකක් ලබා ගත යුතු ය. එපමණක් නොව අක්කර 80ක පමණ විශාල වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර මෙම කර්මාන්තය දැනට පවත්වාගෙන යාම හේතුවෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම කළ යුතු ය. නමුත් මේ සියලු කැණීම් හා කර්මාන්ත පවත්වාගෙන යන්නේ නියමිත පරිදි අනුමැතීන් ලබා ගැනීමෙන් තොරව නීති විරෝධී ලෙස ය.

ගොම්මුන්නා කන්දේ සිදු කෙරෙන මහා පරිමාණ කළුගල් කැණීම්, පස් කැණීම් හා දැවමය ශාක ඉවත් කිරීම් නීතිවිරෝධී ලෙස සිදුකෙරෙන බවට සාධක බොහොමයක් පවතී. නමුත් ඒ සඳහා ක‍්‍රියාමාර්ග ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය හෝ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හෝ වයඹ පළාත් පරිසර අධිකාරිය හෝ පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීම කණගාටුවට කරුණකි.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 2008 ජනවාරි 25 වන දින අංක 1533/16 දරණ ගැසට් නිවේදනයට අනුව වරකට බොරවලවල් 1කට වැඩි ප‍්‍රමාණයක් පුපුරවමින් සිදුකරන යාන්ත‍්‍රික කළුගල් කැණීම් සඳහා මෙන් ම දිනකට ඝනමීටර් 50ක් හෝ ඊට වැඩි ඉරුම් ධාරිතාවක් ඇති ලී මෝල් පවත්වාගෙන යාමට හෝ දිනකට ඝනමීටර් 25ක් හෝ ඊට වැඩි නිෂ්පාදන ධාරිතාවක් ඇති කළුගල් ඇඹරුම් කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් වෙන වෙනම පරිසර ආරක්‍ෂණ බලපත‍්‍ර ලබාගත යුතු ය. පරිසර ආරක්‍ෂණ බලපත‍්‍රවල කොන්දේසී උල්ලංඝණය කරමින් මෙම කිසිඳු කර්මාන්තයක් පවත්වාගෙන යාමේ හැකියාවක් නැත.

1992 අංක 33 දරණ සංශෝධිත පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 (1) උපවගන්තියට අනුව කළුගල් කැණීම් හා පස් කැණීම් සඳහා බලපත‍්‍ර ලබාගත යුතු ය. මෙම පනතේ 63 (3) උපවගන්තියට අනුව ලබාගත් කැණීම් බලපත‍්‍රයේ කොන්දේසී උල්ලංඝණය කරමින් කැණීම් කටයුතු සිදුකිරීම නීතිවිරෝධී ක‍්‍රියාවක් බව සඳහන් වේ. එවන් ක‍්‍රියාවක නිරත වන පුද්ගලයෙකු මහේස්ත‍්‍රාත් අධිකරණයක දී වරද කරුවෙකු කරනු ලැබූ විට රුපියල් 10,000ත් රුපියල් 50,000 අතර දඩයකට යටත් කළ හැකි ය.

මෙම පනතේ 63 (ඇ) උප වගන්තිය අනුව කැණීම් බලපත‍්‍රයක කොන්දේසි උල්ලංඝණය කරමින් කළුගල් හෝ පස් කැණීම් සිදුකරන අවස්ථාවක දී එවන් පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය සංඥය වරදක් ලෙස සඳහන් වේ.

ගොම්මුන්නා කන්දේ ස්ථාන කිහිපයක ඉතාමත් අක‍්‍රමවත් ලෙස හා හානිකර ලෙස විලියම් වුඞ්ලි පුද්ගලික සමාගම විසින් නීතිවිරෝධී කළුගල් කැණීම් කටයුතු සිදුකළද, ඊට එරෙහිව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ පොලිසිය විසින් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ නිසා මහජන පීඩාකාරී තත්වයන්ට හා ජල අර්බුදයන්ට ගම්මාන 12ක ජනතාවකට මුහුණදීමට සිදුවී ඇත.

කළුගල් වළවල් පවත්වාගෙන යාම, පස් කැණීම, කළුගල් ඇඹරුම් යන්ත‍්‍ර ස්ථාපිත කිරීම, දැව ඉරුම් පට්ටල් ස්ථාපිත කිරීම හා පිවිසුම් මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා ගොම්මුන්නා කන්දේ අක්කර 80කට වැඩි වනාන්තර ප‍්‍රදේශයක් එළිපෙහෙළි කර තිබේ. නමුත් ඒ සඳහා නිවැරදි ක‍්‍රමවේදයකට යටත්ව අනුමැතිය ලබාගෙන නොමැත.

1980 අංක 47 දරණ සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කර වනාන්තර ආශ‍්‍රිත නොවන කාර්යයක් සඳහා යොදාගැනීමට ප‍්‍රථමයෙන් හෝ හෙක්ටයාර 5කට වැඩි භූමි ප‍්‍රදේශයක ඇති දැව ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

1990 අංක 12 දරණ වයඹ පළාත් පාරිසරික ප‍්‍රඥප්තියට අනුව ප‍්‍රකාශිත 1998 මාර්තු 27 වන දින අංක 1020/21 දරණ ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 1කට වැඩි භූමි ප‍්‍රදේශයක ඇති වනාන්තර එළිපෙහෙළි කර වනාන්තර ආශ‍්‍රිත නොවන ක‍්‍රියාවලියක් සඳහා යොදාගැනීමට හෝ හෙක්ටයාර 5කට වැඩි භූමි ප‍්‍රදේශයක ඇති දැව ඉවත් කිරීමට ප‍්‍රථමයෙන් හෝ හෙක්ටයාර 20කට වැඩි භූමි ප‍්‍රදේශයක් එළිපෙහෙළි කර යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයිම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය.

1998 අංක 24 දරණ පනතින් සංශෝධිත පුරාවස්තු ආඥා පනතයටතේ ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව කර්මාන්ත සඳහා හෙක්ටයාර එකකට වැඩි සියලු භූමි ප‍්‍රදේශ එළි කිරීම හෝ කළු ගල් කැඩීමේ ක්‍රියා සිදු කිරීමට ප‍්‍රථම පුරා විද්‍යා හානි ඇගයීම් වාර්තාවක් සකස් කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය.

නමුත් ගොම්මුන්නා කන්දේ මහපරිමාණයෙන් වනාන්තර එළිපෙහෙළි කර සිදුකර ඇති කළුගල් හා පස් කැණීම් මෙන් ම දැව ඉරුම් පට්ටල් හා කළුගල් ඇඹරීමේ කර්මාන්ත පවත්වාගෙන යාමට ප‍්‍රථමෙයන් කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයිම් ක‍්‍රියාවලියක් සිදුකර නොමැත. විලියම් වුඩ්ලි සමාගම ගොම්මුන්නා කන්දේ සිදුකරන සියලුම කර්මාන්ත ස්ථාපිත කර ඇත්තේ ජාතික පාරිසරික පනත, වයඹ පළාත් පාරිසරික ප‍්‍රඥප්තිය, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත හා පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරමිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හෝ වයඹ පළාත් පරිසර අධිකාරිය හෝ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම නීතිවිරෝධී ක‍්‍රියාවන්ට එරෙහි කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. යහපාලන ස්ථාපිත කිරීමට උත්සහ දරණ රටක රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරීත්වය මේ ආකාරයෙන් සිදුවෙමින් පවතී නම් කුමන ආකාරයෙන් රට තුළ යහපාලනය ස්ථාපිත කළ හැකි ද යන්න ගැටලුවකි.

දණ්ඩ නීති සංග‍්‍රහයේ 261 වගන්තියට අනුව ජනතාව පොදුවේ භුක්ති විඳින යම් දෙයකට පාඩුවක්, බාධාවක්, අන්තරායක් හෝ අප‍්‍රසන්නතාවයක් ඇති වන ක‍්‍රියාකාරකමක නිරත වන තැනැත්තෙක් මහජන පීඩාවක් ඇති කිරීමේ වරදට වරද කරුවකු වන බව සඳහන් වේ. මීට අමතරව මෙම පනතේ 270 වන වගන්තිය අනුව යම් පොදු උල්පතක් හෝ ජල මූලාශ‍්‍රයක් අපවිත‍්‍ර කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි. ඒ අනුව ගොම්මුන්නා කන්දේ සිට ආරම්භ වී පහළට ගලා එන ගම්මාන 12ක ජනතාව පොදුවේ භාවිතා කරන ජල මූලාශ‍්‍ර සියල්ලම විලියම් වුඩ්ලි සමාගම කළුගල් කැණීම්, පස් කැණීම් හා ගස් කැපීමේ කර්මාන්ත හේතුවෙන් සම්පූර්ණයෙන් ම රොන් මඩින් දූෂණයට ලක් වී ඇති අතර එම ජලය ජනතාවට භාවිතා කළ නොහැකි තත්වයට පත් වී ඇත. මේ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයට අනුව දඩුවම් කිරීමේ හැකියාව පොලිසියට ඇත.

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග‍්‍රහය පනතේ 98 (1) (අ) උපවගන්තියට අනුව මහජනතාව විසින් නීතියානුකූලව ප‍්‍රයෝජනයට ගන්නා පොදු ජල මූලාශ‍්‍රයකට යම් බාධාවක් හෝ පීඩාවක් ඇති කළ නොහාකි අතර එය ඉවත් කිරීමට නියෝග නිකුත් කිරීමේ බලය මහේස්ත‍්‍රාත්වරුන්ට ඇත. මෙම පනතේ 104 වගන්තියට අනුව යම් මහජන පීඩාවක් ඇති කරන තැනැත්තෙකුට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ බලය මහේස්ත‍්‍රාත්වරුන්ට ඇත. එපමණක් නොව මෙම පනතේ 105 වන වගන්තියට අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ සඳහන් වන පරිදි මහජන පීඩාවක් නැවත නොකරන ලෙසට හෝ දිගටම නොකරන ලෙසට ආඥාවක් නිකුත් කිරීමේ හැකියාවක් මහේස්ත‍්‍රාත්වරයෙකුට ඇත. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මහජන පැමිණිලි පාදක කරගෙන පොලිසියට හැකියාව තිබේ. නමුත් විලියම් වුඩ්ලි සමාගම හා නිලධාරීන් අතර ඇති සබඳතා හේතුවෙන් එවන් ක‍්‍රියාවලියටකට නිවැරදි ලෙස යොමු වී නොමැත. මේ නිසා ජනතාව මෙම සමාගමේ ක‍්‍රියාකාරීත්වය හා නිලධාරීන්ගේ මඟ හැරීම් හා නොකර හැරීම් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටී.

ඒ තත්ත්වය එසේ පවතිද්දී ජනතාව විසින් මේ පීඩාකාරී තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට යාමේ දී රාජ්‍ය නිලධාරීන්එම ජනතාවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. සමාගම අතර ඇති සබඳතාවය හා මුදලට ඇති කෑදරකම හේතුවෙන් නිලධාරීන් විසින් සමාගමේ ක්‍රියාකාරීත්වය නිසා පීඩනයට පත් ව සිටින ජනතාව තවදුරටත් මේ ආකාරයට පීඩාවට පත් කිරීම නින්දිත ක්‍රියාවකි.

නිලධාරීන් විසින් සමාගම්වල උවමනාවන් මත ජනතාව පීඩාවට පත් කිරීමෙන් ජනතාවට රාජ්‍ය සේවය පිළිබඳව මෙන් ම නීතිය පිළිබඳව ද දැඩි කලකිරීමක් ඇති වේ. මේ හේතුවෙන් සිදු වන්නේ ජනතාව ප‍්‍රචණ්ඩ වීම හා විකල්ප ක‍්‍රම මඟින් ගැටලු විසදා ගැනීමට යොමු වීම ය. ඒ මඟින් හානිකර තත්ත්වයන් බොහොමයක් ඇති විය හැකි ය. මේ නිසා ගොම්මුන්නාකන්ද පාමුල ගම්මාන 12 ක ජනතාව තව දුරටත් විලියම් වුඞ්ලී සමාගමේ ලාභය වෙනුවෙන් පීඩාවට පත් කිරීමට ඉඩදිය යුතු නැත. මෙම ජනතාවගේ ජල අයිතිය හා කෘෂිකාර්මික අයිතිය තහවුරු කර ගැනීමට මෙම නීති ක්‍රියාත්මක කර සිදුවන විනාශයන් වැළැක්වීමට ඔවුන්ට සහය විය යුතු ව ඇත.

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Check Also

සත්තු වත්තේ සතුන්ගේ නිදහස වැනසූ පනික්කියා කවුද?

ජාතික සත්ව උද්‍යානයේ අදායමෙන් පාර්ළිමෙන්තුව නඩත්තු කිරීමට මුදල් සොයා ගැනීමට නමි මෙය රාති‍්‍ර කාලයේ විවාත ...