Home / Featured / බුද්ධ පුත්‍ර හා වජ්ජි පුත්‍රක පිණ්ඩපාතය

බුද්ධ පුත්‍ර හා වජ්ජි පුත්‍රක පිණ්ඩපාතය

‘පිණ්ඩියාලොප භොජනං නිස්සාය පබ්බජ්ජා’ යනුවෙන් බුදුරදුන් වදාළ නියමය වන්නේ ඔබගේ පැවිද්ද පිඩුසිඟිමෙන් පවත්වා ගතයුතු බවයි. අතිරේකව ආරාධනා, සලාක ආදී වූ පිඬු පිළිගැනීමේ ද වරදක් නැතිබව අනුප‍්‍රඥප්ති වලින් දක්වා ඇත.

පිඩුසිඟිම යනු භික්‍ෂු ජීවිතයේ ඇති උදාරම කාර්යයකි. භික්ඛු යන පාලි වචනයෙන් ගම්‍යවන්නේද භික්‍ෂාව නම් වූ ආහාරයයි. බුදුරදුන් පිණ්ඩපාතයේ වැඩි අවස්ථාවක සුදොවුන් මහරජු මුණගැසුනු අවස්ථාවේ ඇති වූ දෙබස තුළින් ගම්‍ය වන්නේ බුදුවරුන්ගේ ගමන් මගෙහි පිණ්ඩපාතය සිරිතක් බවයි.

සියල්ල අතහැර පැවිදිවන උතුමන් ලාභ ප‍්‍රයෝජනවලින් තොරව නිවනම ඉලක්ක කර කටයුතු කරති. එහි මුඛ්‍යාර්ථය වනුයේ නිවන ලබා ගැනීමයි. වෙනත් කිසිදු පරමාර්ථයක් භික්‍ෂුවට නැත. ආගම ජාතිය ආදී වශයෙන් බුදුදහම පටුසීමාවන් තුළ හිරවී නැත. සියලූ සත්වයන්ට ම බුදුදහමේ පහස ලදහැක්කෝය. නිවන ජාතියකට රටකට පමණක් හිමි වූවක් හෝ සීමා වූවක් නොවේ. දහමට උරුමකරුවෝ නැත. බුදරදුන්ට දේසසීමා තිබුණේ නැත. ‘සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ‍්‍රහ්මකෙ සස්සමණබ‍්‍රාහ්මණියාපජාය’ ආදී වශයෙන් දෙවියන් බඹුන්මරුන් සහිත ලෝකයාම බුදුදහමේ සැනසුම ලබන්නෝය. එම ජීවී ලෝකය බුදුරදුන් කොතෙක් දුරට විග‍්‍රහ කරන්නේද යන්න දුටු නොදුටු දුර ලඟ උපන් උපතට තැන් සොයන ආදී සියලූම සත්වයෝ පමණක්නොව ස්ථාවර ජීවී නම් වූ ගස්වැල් පවා සජීවී ලෙසට පිළිගෙන ඒ හැමට කාරුණික වියයුතු බව වදාළහ. ඒ තුළ අපා දෙපා සිවුපා බහුපා ආදී සෑම කොටසක්ම අයත්ය. කෙටියෙන් කියන්නේ නම් මුලූමහත් ලෝකයමය. එම ලෝකයට දක්වන කරුණාවේ පක්‍ෂ පාට ජාති කුල ආදි කිසිත් නැත. කරුණාව මෛත‍්‍රිය සැමටමය. නූතනයේ එක් වටිනා ක‍්‍රියාවක් මෙහිලා සිහිකරවමි. රටේ ජාතික ගීයට සැවොම ගරු කරන්නේ හුනස්නෙන් පවා නැගී සිටිමිනි. එහෙත් භික්‍ෂූන් වහන්සේ එසේ නැගිටින්නේ නැත. ඒ ඇයි? උන්වහන්සේලා එක් ජාතියකට පමණක් අයත් නොවනා යන උදාර අදහසිනි. එය සැබෑ බුදුදහමයි. සැබෑ භික්‍ෂුත්වයයි.

පිඩුසිඟිම යනු උතුම් කාර්යයකි. සිවුපසයෙන් අත්‍යවශ්‍යම වූවකි. සත්වයාට ඇති පළමු ප‍්‍රශ්නය යි. (එකනාම කිං? සබ්බේසත්තා ආහාරට්ඨිතිකා) පිණ්ඩපාතය බුදුමුවින් අනුමත කිරීමේ දී මහඟු පිළිවෙත් රාශියක් දක්වා ඇත. විනය පැනවීම් ද රැසකි. පාත‍්‍රය හා සිවුර යනු භික්‍ෂු ජීවිතයේ කැඩපතයි. පත්තචීවරමාදාය ලෙස පෙලෙහි නිතරම හමුවන්නේ එයයි. එනම් භික්‍ෂුවගේ අනන්‍යතාවයයි. එනිසා පාසිවුරු පිළිබඳ බුදුසමයේ විශේෂ අවධානයන් යොමු කර ඇත. ඒ සඳහා වූ විනය ප‍්‍රඥප්ති බොහෝ ඇත. පාත‍්‍රයට ලැබෙන දෑ තමන්ට අමතරව දිය හැක්කේ තම දෙමාපියන් අසරණව සිටිනවානම් සැළකීමට වෙනත් අයෙකු නැතිනම් පමනි. වෙනත් කිසිවෙකුට නොදිය යුතුය. මේ පිළිබඳ කොතරම් සියුම්ව බුදුරදුන් අවධානය යොමු කරන්නේද යත් සතෙකුටවත් පාත‍්‍රයට ලැබෙන දේ එකදිගටම දීම නොකළ යුතුබව දක්වා ඇත්තේ එම සතා එසේ ආහාර දෙන්නා පිළිබඳව ඇති කරගන්නා සෙනෙහස දෙදෙනාටම යම්දිනයක බාධාවක්, වේදනාවක් ඇතිකරවන්නක් බැවිනි.

එසේ තිබියදී ව්‍යවහාරයේ උගත්යැයි සම්මත භික්‍ෂු පිරිසක් මහජන මුදල් අවභාවිතයේ යෙදවීමට දායකත්වය ලබාදීමේ වරදකට දඩුවම් ලැබූ සිරකරුවන් නිදහස්කර ගැනීම සඳහා මුදල් පිණ්ඩපාතයේ යාම ධර්ම හා විනය විරෝධී ක‍්‍රියාවකි. මෙසේ මෙවැන්නක් ලියන්නේ හදවතේ සාසනය පිළිබඳව ඇති පූජනීය අදහසිනි.

සිල්වත් විනයගරුක ධර්මධර යතිවරයන් වහන්සේලාගේ පහසුව සඳහත්මය. එදා ‘යස’ තෙරුන් වහන්සේ වජ්ජිපුත‍්‍රකයන් විසින් තම පාත‍්‍රයට මුදල් රැස්කරන අවස්ථාවේ දී ඊට දැඩිව විරුද්ධ වූහ.

විශාලාමහනුවරවාසී උපාසකයන්ට උන්වහන්ටසේ වදාළේ භික්‍ෂූන්ට එසේ රන් රිදී ආදිය නොදිය යුතු බවයි. එය දැඩිවම කියාසිටි යස හිමියන්ට වජ්ජි භික්‍ෂූන් වහන්සේලා පටිසාරාණිය කර්මය කරන ලදහ. එසේ පටිසාරාණිය කර්මය කරන භික්‍ෂුවකට අනුදූත භික්‍ෂුවක් දියයුතු නිසා මට එසේ දෙන්නැයි යස තෙරුන් කළ ඉල්ලීමට වජ්ජීහු එක් භික්‍ෂුවක් නම් කළහ. එවිට උන්වහන්සේලා දෙනම විසාලාවට ගොස් එහි සිටි සාසනභාරධාරී රේවතාදී මහරහතන් වහන්සේලාට සියලූ පුවත් සැලකළහ.

එහිදී යස තෙරුන් වහන්සේ පූර්වයෙහි බුදුරදුන් මෙසේ භික්‍ෂුව මුදල් පරිහරණය කිරීමට යොමු වූ අවස්ථා තුනකදීම එය නැවතු ආකාරය විස්තරාත්මකව කියා සිටියහ. චුල්ලවග්ග පාලියේ සත්තසතිකඛන්ධකයේ දීර්ඝව එම විස්තරය සඳහන් කර ඇත. අධර්මය ධර්මය ලෙසත් අවිනය විනය ලෙසත් ගන්නා භික්‍ෂූන් හමුවෙහි එය අනුමත කර නිහඬ වීම තමන් වහන්සේට නොරිසි බවත් එසේ සිටින්නේනම් අධර්මයට අවිනයට අනුබලයක් බවත් වැඩි දුරටත් උන්වහන්සේ පැහැදිලි කර ඇත්තාහ. (චුල්ලවග්ග පාලි 2 565-599 පිටු බලන්න) මීට අමතරව ප‍්‍රාතිමෝක්‍ෂයේ ද විසුද්ධි මාර්ගයේ ද පිඩුසිඟිමේ ඇති විනයමය හා ධර්මමය තත්වය පැහැදිලි කර ඇත. විනය නීතිරීති අනුව බෞද්ධ භික්‍ෂුවකට ඉඩකඩම් හෝ මිළමුදල් හිමිකර ගැනීම තහනම්ය. අභිනිෂ්ක‍්‍රමණයෙන් කෙරෙන්නේ ගිහිගෙහි සිටියදී අයිතිව තිබුණු සියලූ කම්සැප අත්හැරීමය. පැවිදි වූ පසු නැවත එවැනි දේ අයිති කරගන්නේ කෙසේද? වස්තු පිදිය යුත්තේ සගුන්ටය. එය නියම ශාසනික ක‍්‍රමයයි. වළගම්බාරජු පුද්ගලිකව ඉඩමක් පූජා කළ නිසා ලංකා ශාසන ඉතිහාසයේ භයානකම අකුසලය කළ රජු ඔහු විය. මහාවිහාරය සහ අභයගිරිය ලෙස සසුන දෙකඩ වූයේ මෙම අවිනය කි‍්‍රයාව මහාතිස්ස හිමියන් අනුමත කළ නිසාය. වර්තමානයේ යමෙක් වලගම්බා හෝ මහාතිස්ස නොවිය යුතුබව තරයේ අධිෂ්ඨාන කරගතයුතුව ඇත. හුදෙක් ඒ ශාසනයේ අඛණ්ඩ පැවැත්ම සඳහාමය.

එදා යස තෙරුන් වහන්සේගේ ක‍්‍රියාවලිය නූතනයේ වැඩසිටින බහුතරයක් වූ ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේලාට පූර්වාදර්ශයකි. එහෙත් අද එම උතුම් බුද්ධපුත‍්‍රයන් වහන්සේලා නිහඬ වී සිටීම සාසනයට බලවත් හානියකි යන්න මගේ අදහසයි. හීන වූ දේශපාලනයට යටවීමට ඇති අකැමැත්ත නිසාම උන්වහන්සේලා නිහඩව සිටිනවාට සැකයක් නැත. එහෙත් ඒ තුළින් සිදුවන්නේ අවිනයම, අධර්මයම ඉස්මතුවීමයි.

මුදල් සිගමනේ ගිය හාමුදුරුවනේ් සිරගත වූවන් මුදා ගැනීමට අවශ්‍යනම් වෙනත් මගක් සොයා ගන්නා සේක්වා. පාත‍්‍රය, සිවුර මෙසේ අව භාවිතයට නොයොදන්න. වරද, වරද ලෙස දකින්න පුළුවන් විවෘත මනසකිින් ලොව බලන්න. පාත‍්‍රය දුන්නේ අපට දේශපාලකයන්ට ආවඩන්න හෝ පළිගන්න නොවේ. මහනකම රැක ගැනීමටයි. මෙහිදී තම ක‍්‍රියාව සාධාරණීකරනයට අවිනමය වූ අධර්ම ප‍්‍රකාශ නොකරන්න. බියකරු සසර ගැන සිතන්න. කිසිවෙක් ලාබ සත්කාර සඳහා අයුතු දෑ කරන්නේ නම් ඔහු භික්‍ෂුවක් නොවන බව ඔබවහන්සේලා නොදන්නවා නොවේ. දැන දැන වැරදි කිරීම මහා අකුසල කර්මයකි.

රට හෝ ජාතිය ගැන මොරදී කෑ ගැසීමෙන් වන්නේ ශාසනයේ පරිහානියයි. අපේ වගකීම වන්නේ ප්‍රයාපති, ප‍්‍රතිපත්තිි ප‍්‍රතිවේද ශාසනය රැකගකිමින් ඊටඅනුකූලව කටයුතු කිරීමයි.  රජය, රජුන්, දේශපාලනය පිළිබඳව භික්‍ෂූන් විසින් කථාවත් නොකළ යුතු මාතෘකාවන්ය.

අපේ යක්කඩුවේ නාහිමියෝ එදා සිටි ප‍්‍රබල දේශපාලකයෙකුට කීවේ ‘ආණ්ඩුව ඔබලා කරගෙන යන්න. අපි සාසනේ ගැන බලාගන්නම්’ කියාය. මෙය බුද්ධ ප‍්‍රඥප්තියයි. සැබෑ භික්‍ෂුත්වයි. රාජ්‍ය නීතියට අවනතවන්නැයි බුදුරදුන් ඉතා පැහැදිලිව වදාරා ඇත්තේ ‘රාජානං අනුවත්තිනො’ යනුවෙනි.

භික්‍ෂුවට පමණක් නොව හුදෙක් දහම් මගට අවතීර්ණ වූ ප‍්‍රතිපත්ති ගරුක ගිහිියෙකු විසින්වත් නොකළ යුතු කථාලෙසට තහනම් කළ තිස්දෙකක් කථාවලින් රාජකථා ලෙස දක්වා ඇත්තේ අධ්‍යාත්මික සංවර්ධනයට, එය බාධාවක් වන නිසාමය.

එදා වජ්ජීන් පාත‍්‍රයකට වතුර පුරවා එයට මුදල් දමන්නයැයි මිනිසුන්ගෙන් කළ ඉල්ලීම විනය විරෝධී නිර්ලජ්ජිත ක‍්‍රියාවකැයි සම්මත වූවා පමණක් නොව දෙවැනි ධර්ම සංගායනාව කිරීමට හේතු වූ කි‍්‍රයාවක් ද වූ බව විනයේ සඳහන් වේ. වර්තමානයේ ද එසේ සංගායනාවක අවශ්‍යතාව හොඳින්ම දැනෙමින් ඇත. පසුගිය කාලයේ විවිධ දේශපාලන මුග්ධ ක‍්‍රියා නිසා සාසනයට අත්වූ ඛේදජනක ඉරණමේ උච්චතම තත්වය දැනට සිදුවන මේ පරිහානියෙන් පෙනේ. මෙසේ පාත‍්‍රය අපචාරයේ යෙදවීම තුළින් අත්වන අකුසලය අතිමහත්ය. පිඩුසිගා වැඞීම නම් වූ මෙම උදාර චාරිකාව නිර්දය ලෙස පහතට හෙලීමේ අකුසලය එයට සහාය වූ සැමට හිමිවනුඇත. හීන දේශපාලකයින් පමණක් නොව ඇතැම් මහජනයා ද සමහර මාධ්‍යවේදීන්ද පිඩුසිඟ වැඞීම නම් වූ උතුම් ක‍්‍රියාවට ‘දඩසිගා’ යන වචනය භාවිත කරනු සැමට ඇසෙන්නට ඇත. බුදුරදුන් අනුදැන වදාල ඒ උතුම් පිණ්ඩපාත චාරිකාව එසේ හෑල්ලූවට පත්කළ ඇත්තන් සාසනයට හෙන ගැස්සවීමක් සිදුකළායැයි මම කියාසිටින්නේ බලවත් කම්පා වූ හදවතිනි. අහෝ බුද්ධ ශාසනය පිරිසිදු වේවා.
මේ දුශ්චර්යාව සඳහා අනුබලය දැක් වූ ගිහි පැවිදි සියල්ලන්ටම අත්වන තත්වය ධර්මයේ දක්වා ඇත. මෙය හුදෙක් සංඝ භේදයකි. ඒ ආනන්තරිය අකුසල කර්මයකි. එහි ඇති විපාක පිළිබඳව මෙම ක‍්‍රියාවේ නිරත වූ ගිහි පැවිදි සැවොම නොදන්නවා යැයි විශ්වාස නොකරමි.

ක‍්‍රියාවක හොඳ හෝ නරක බව තීරණය කරනු ලබන්නේ සිතෙහි පවත්නා ආවේග මතයි. හුදෙක් කරන ක‍්‍රියාවේ අභිප‍්‍රාය මේ සඳහා ප‍්‍රධාන වෙයි. ඇත්තෙන්ම මුදල් වූමනාවටම ද මුදල්සිගමනේ  ගියේ? එයට පිළිතුර සැම දෙනාගේම හදවත තුළ ඇත.

මනස කිලිටිවන්නේ ආශාව තරහව මානය ඊර්ෂයාව ආදී කිළිටි ගති නිසාය. ඒ අනුව කරන සෑම කි‍්‍රයාවක්ම කිළිටිය. ඒවා අකුසල්ය. සිත කිළිටි කරන ක්ලේශ ධර්ම 16ක් මජ්ඣිම නිකායේ වත්ථූපම සූත‍්‍රයේ දක්වා ඇත. විසමලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධවෛරය, ගුණමකුබව, අනුන්ගුණ නොඉවසීම,  ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, සටකපටබව, එකටඑක කරනු කැමැත්ත, මානය, දැඩිමානය, යොවුන්මදය, ප‍්‍රමාදය යනුයි. මේවායෙන් කීයක්නම් උක්ත ක‍්‍රියාවලියේ ඇද්දැයි විමසා බැලීම බුද්ධිමත් ලෝකයාට පවරමි.

හුදෙක් පටු පරමාර්ථ නිසා සිවුර හෝ පාත‍්‍රය පමණක් නොව සාසනික චාරිත‍්‍ර විනාශ නොකිරීමට මේ මහාසංඝයා වහන්සේ වගබලා ගනිත්වා. උන්වහන්සේලා ධර්ම විනය වෙනුවෙන් කටයුතු කරත්වා යනු මාගේ එකම ප‍්‍රාර්ථනාවයි. මෙය හුදෙක් මා පෞද්ගලිකව කරන ප‍්‍රාර්ථනයක් නොව සාසනික උන්නතිය පතන බහුතරයක් වූ ගිහි පැවිද දෙපාර්ශ්වයේම ප‍්‍රාර්ථනය ද වනු ඇත.

ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි
ශී‍්‍ර වර්ධනාරාමය කිරින්ද පුහුල්වැල්ල – මාතර

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *