පක්ෂය කැඩුවේ බැසිල් රාජපක්ෂ….චමල්ට පංච නින්දාවෙන් බැන්නා…මහින්ද වෙනුවෙන් ගුවන් විදුලි නාලිකා 3ක්!

0

පක්ෂය කැඩුවේ බැසිල් රාජපක්ෂ, අනුපාන වශයෙන් රාජපක්ෂවරු බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කි‍්‍රයාකාරී හමුවේදීයි. ඉදිරි මැතිවරණවලදී අනුරාධපුරයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කරන්නෙ එස්.බී. දිසානායක අමාත්‍යවරයායි.

පහත සටහන් වන්නේ අමාත්‍යවරයා දැක් වූ අදහස්ය

මේක අපේ පක්ෂයට හොද වෙලාවක් නොවෙයි. ඇයි? ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට මේක අමුතු දෙයකුත් නෙවෙයි. අපේ පක්ෂය හදපු දවසේ ඉදළා බොහෝ පිරිස් ගියා.ගිය පිරිස් ආපහු ආවා. ආව නැති පිරිස් විනාශ වුණා. මේ අත්දැකීම පක්ෂ ඉතිහාසය පුරාම තියෙනවා.

මම මෑත ඉතිහාසයේ බෙදීම් කැඩීම් ගැන කතා කරන්නෙ නැහැ.නමුත් තමුන්නාන්සේලාට ඉතාම වැදගත් , පහු ගිය අවුරුදු 30 තුළ වෙච්ච ඇතැම් දෙදරීම් පක්ෂයට හා පාක්ෂිකයාට බලපාපු ආකාරය සහ අවසානයේ වෙච්ච දෙයක් පිළිබදව කියන්නම්. මම හිතන්නෙ එක පාක්ෂිකයාට ඉතාමත් වැදගත් වෙනවා.

ඉතිහාසයේ කඩාගෙන ගිය සියල්ලම ගැන කියන්න පුළුවන්. හැබැයි උත්තරේ එකයි

මම කැමැතියි පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට, අනුරාධපුරේ නායකයා හැටියට, නොකඩවාම පාර්ලිමේන්තුවේ හිටපු අනුරාධපුරේ හිටපු මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමා ප‍්‍රමුඛ කණ්ඩායම එළියට යෑම ගැන කතා කරන්න. ඒ කාලේ මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරලා. මෛතී‍්‍රපාල සේනානායක නියෝජ්‍ය නායකයා වෙනකොට පක්ෂයේ උප නායකයා ස්ටැන්ලි තිලකරත්න. අපේ හිටපු කතානායක තුමා. පක්ෂයේ හිටපු මහ ලේකම්වරයා එස්. ඒ. සූරියආරච්චි මැතිතුමා. පක්ෂයේ හිටපු තරුණ නායකයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ මැතිතුමා. පක්ෂයේ හිටපු මුස්ලිම් මන්තී‍්‍රවරයා හැටියට හලීම් ඉෂාක් මන්තී‍්‍රතුමා ඇතුළු පක්ෂයේ බහුතරය ඒ වෙලාවේ පක්ෂයෙන් එළියට ගියා.

හරිනම් පක්ෂ ව්‍යවස්ථානුකූලව ඒ වෙලාවේ පක්ෂය මෛතී‍්‍රපාලට යන්න ඕන.හැබැයි මැතිණිය ව්‍යවස්ථාවේ නැති දෙයක් ඒ වෙලාවේ කළා.

ඒ තමයි මැතිණි අත්තනගල්ලට ලංකාවේ සියළුම ශාඛාවල සභාපතිවරුන්ට, ලේකම්වරුන්ට එන්න කිව්වා. හැබැයි එහෙම එකක් ව්‍යවස්ථාවේ තිබ්බේ නැහැ. පක්ෂය ආරක්ෂා කරගන්න ඕනි කියලා කිව්වා. මධ්‍යමකාරක සභාවේ බහුතරයක් මෛතී‍්‍රපාල සේනානායකට ගිහිල්ලා. මැතිණියගේ පුතා අනුර බණ්ඩාරනායකත් ගියා. ඒ වගේම සමස්ත ලංකා කාරක සභාවේ බහුතරයක් මෛතී‍්‍ර අනුර කණ්ඩායම එක්ක ගිහිල්ලා. පක්ෂය ඒ අයට යන්න ඕන.

අධිකරණය පළවෙනි වටයේ තීන්දු කළා පක්ෂ කාර්යාලය මෛතී‍්‍රපාල සේනානායක මැතිතුමාට භාර දෙන්න. ඒ කණ්ඩායමේ ලේකම් හැටියට එදා පත් වුණේ බැසිල් රාජපක්ෂ. උසාවියෙන් පක්ෂ කාර්යාල යතුර භාර අරගෙන බැසිල් පක්ෂ කාර්යාලය භාර ගත්තා.

මැතිණියට යන්න තැනක් තිබ්බේ නැහැ. මැතිණිය බොරුල්ලේ හලීල් ඉෂාක් මැතිතුමාගේ ගැරේජ් එක ඉල්ලා ගත්තා. ඒකේ පක්ෂ කාර්යාලය දා ගත්තා. අවුරුද්දක් මාස අටක් යනකොට අනුර, මහින්ද රාජපක්ෂ, හලීම් ඉෂාක් ඇතුළු කණ්ඩායම ආපහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ආවා.ආවෙ නැති කණ්ඩායම දිය වෙන්න පටන් ගත්තා. අවසානේ මැතිණිය, තනිවෙලා, හුදකලාවෙලා හිටපු මෛති‍්‍රපාල සේනානායක මැතිතුමාට කතා කරලා අන්තිම කාලේ ආපහු පක්ෂයට ගත්තා.මේ පක්ෂයෙන් අති බහුතරයක් කඩාගෙන ගිය කණ්ඩායමට වෙච්ච දේ.

ඊට අවුරුදු 6ට පස්සේ පක්ෂයේ නියෝජ්‍ය නායක පී.බී. ඉලංගරත්න මැතිතුමා මැතිණියගේ දියණිය චන්ද‍්‍රිකා කුමාරණතුංග මැතිණිය එවකට පක්ෂයේ ජනපි‍්‍රයම තරුණ දේශපාලඥයා විජය කුමාරණතුංග ඒ වෙලාවේ පක්ෂෙ මහලේකම් හැටියට හිටපු හිටපු අගමැති රත්නසිරි වික‍්‍රමනායක මේ සියල්ල පක්ෂෙන් ගියා. ඒ වෙලාවෙත් පක්ෂ බහුතරය එළියට ගියා.

පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ මධ්‍යමකාරක සභාවෙන් බහුතරයක් එළියට ගියොත්, සමස්ථ සංකා කාරක සභාවෙන් බහුතරයක් එළියට ගියොත් පක්ෂය ඒ අයට අයිති වෙනවා.

හැබැයි එදා ඉලංගරත්න මැතිතුමා, විජයකුමාරණතුංග මැතිතුමා එළියට ගිහිල්ලා මහජන පක්ෂය හදා ගත්තා.අවුරුද්දක් යනකොට මහජන පක්ෂය දෙකට කැඩුණා. චන්ද‍්‍රිකා මැතිණිය, රාජිත, සරත් කෝනගහගේ රෙජිනෝල්ඩ්කුරේ වගේ අය බහුජන නිදහස් පෙරමුණ හදා ගත්තා.

හැබැයි කණ්ඩායම් දෙකම දියවෙලා ගියා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ආපහු ශක්තිමත්ව නැගුණා.2000 මම (එස්.බී. දිසානායක) ඇතුළු කණ්ඩායම චන්ද‍්‍රිකා එක්ක ඉන්න බෑ කියලා එළියට බැස්සා. අපේ ගිය කණ්ඩායම බොහොම ඉක්මණින් එක එක්කෙනා පක්ෂයට ආවා. 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමා ආපහු මාවත් අරගෙන ඒ බෙදීම ඉවර කරා.

ඉතිහාසයේ කඩාගෙන ගිය සියල්ලම ගැන කියන්න පුළුවන්. හැබැයි උත්තරේ එකයි

පක්ෂය කැඩුවේ බැසිල් රාජපක්ෂ, අනුපාන වශයෙන් රාජපක්ෂවරු

දැන් මේ සැරේ දුමින්ද දිසානායක මැතිතුමා, මෛතී‍්‍රපාල සිරිසේන අපේ පක්ෂයේ මහ ලේකම් හැටියට රාජිත ඇමැතිතුමා ,හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මැතිණිය, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මේ අය පක්ෂයෙන් එළියට බැහැලා ගිහිල්ලා ජනාධිපතිවරණයට තරග කරන තැනට තල්ලු කළේ, බැසිල් රාජපක්ෂ, අනුපාන වශයෙන් රාජපක්ෂවරු.

මට මතකයි අන්තිම මොහොතේ මට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිවිවා ”එස් බී. උඹට තමයි මේක කරන්න පුළුවන්, කොහොමහරි, බැසිලුයි, මෛතී‍්‍රයි එකතු කරලා කතා කරපන්” කියලා.
මෛතී‍්‍රපාල සිරිසේන, ඒ වෙලාවේ සේඛ්‍ය ඇමැති මම ඒ වෙලාවේ ඇහුවා ” මෛතී‍්‍ර උඹ කැමැතිද බැසිල් එක්ක කතා කරන්න” ‘‘ මම කැමැතියි‘‘ කියලා ඔහු කිව්වා. මේක ඇහුවේ පාර්ලිමේන්තුවේදී.

මම හැරිලා බලපුවම පිටි පස්සෙ බැසිල් හිටියා. මම බැසිල් ඇමැතිතුමා ලගට ගිහින් කිව්වා ”පොඩ්ඩක් එළියට යං” කියලා. එළියට ගියාම කිව්වා නෑ ජනාධිපති කාමරයට යං කියා කිව්වා.

ගියාම මම කිව්වා මේ ප‍්‍රශ්නෙ සරලව ගන්න එපා. මේ ප‍්‍රශ්නෙ නිසා රට ගිනි අරන් තියෙන්නෙ. මේක පුපුරනවා. මේක දැනුත් බේරාගන්න පුළුවන්. මෛතී‍්‍ර සූදානම් ඔයත් එක්ක කතා කරන්න. අපි කතා කරමු. ”මට බෑ ” කිව්වා.

එතන ඉමර්ජන්සි කියලා ෆෝන් එකක් තියෙනවා. මම ඕකට ගැහැවා. ගැහැවම ජනාධිපතිතුමා ඉන්න හැම තැනකටම වදිනවා. ජනාධිපතිතුමා ගත්තා ටෙලිෆෝන් එක.

මම කිව්වා, බැසිල් මෙතන ඉන්නවා, බෑ කියනවා කියලා. හැබැයි මොකක් හරි හේතුවකට එතුමා දෙන්න බැසිල්ට කියා එතුමා කිව්වේ නැහැ. මට කිව්වෙ කොහොම හරි ඔය යකාව කැමැති කරගන්න කියලා.

ගුවන් විදුලි නාලිකා 3ක් මහින්ද වෙනුවෙන් අලුතෙන් ලියාපදිංචි කළා

මේ මැතිවරණයේ මෛතී‍්‍රපාල සිරිසේන කණ්ඩායම , පොදු අපේක්ෂකයාගේ කණ්ඩායමේ මැතිවරණ ප‍්‍රචාරණයයි. අපේ ප‍්‍රචාරණයයි ගත්තම අහසයි පොලොවයි වගේ.

ඉතිහාසයේ කවදාවත් නැතුව අපට පෝස්ටර්ස් එනවා. පෝස්ටර් එකත් එක්ක පාං පිටි ගෝනිය එනවා. පාං පිටි දිය කරගන්න බාල්දිය එනවා, බාල්දියෙන් පාං පිටි ගාන්න බ‍්‍රෂ් එක එනවා, , බ‍්‍රෂ් එකත් එක්ක කොට ඉණිමගක් එනවා. එහෙම තමයි මේ මැතිවරණය අපි කළේ.

ඡන්ද පෝලිම් බූත් එකක දහ දෙනෙකුට රුපියල් 1000 ගානේ දෙන්න රුපියල් 10000කුත් එක්ක තවත් වෙනම 10000ත් එක්ක අපිට සල්ලි එව්වා.

සියළුම රූපවාහිනී, සමහර ඒවා සල්ලි දීලා අරගෙන සමහර ඒවාවල පාලනය වෙනස් කරලා, සියල්ල මහින්ද රාජපක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් පෙළ ගස්වලා තිබුණේ.

ගුවන් විදුලි නාලිකා 3ක් ඒ වෙනුවෙන්ම අලුතෙන් ලියා පදිංචි කළා. අනිත් ගුවන් විදුලි නාලිකා පෙළ ගස්වලා තිබ්බා මහින්ද රජපක්ෂ අපේක්ෂකයා වෙනුවෙන්.

සමහර පත්තර අපට නිර්ලෝභීව ලියනවා. සමහර පත්තර සල්ලි දීලා ගත්තා. සන්ඩේ ලීඩර් වගේ ඒවා. පත්තර ටිකත් පෝලිම් ගැස්සුවා

මේ සේරම කරලා අවසානයේ පොදු අපේක්ෂකයා දිනුවා. හංසයා දිනුවා. මහින්ද රාජපක්ෂ බුලත් කොලය පරදිනවා.

අපි කළේ මෛතී‍්‍රපාල සිරිසේනවයි, දුමින්ද දිසානායකයි, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධනයි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රයි, රාජිත සේනාරත්නයි, මධ්‍යමකාරක සභාවෙන් අස්කරලා දැම්මා. ආපහු මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගෙනෙල්ලා පක්ෂයේ සභාපති කළා.

මහින්ද පක්ෂයේ සභාපතිකම මෛතී‍්‍රට දුන්නා

එහෙම කරලා දවස් දෙකකට පස්සෙ මහින්දගේ පවුලේ උවමනාවක් නිසා හිටපු ජනාධිපතිතුමාට ඕන වෙනවා අලුත් ජනාධිපතිවරයා මුණ ගැහෙන්න. එතුමා ඩිලාන් පෙරේරා, මහින්ද අමරවීර, වගේ අය අතේ පණිවිඩය ඇරියා. මෛති‍්‍රපාල ජනාධිපතිතුමා කැමැති වෙනවා හමු වෙන්න. කතානායකතුමාගේ ගෙදර ලෑස්ති කරනවා මුණ ගැසීම.

අපි සේරමත් මේ මුණ ගැසීම බලන්න 40ක් 50ක් එළියේ හිටගෙන ඉන්නවා. විනාඩි 45ක් විතර දෙන්නා සාකච්ඡා කළා. ඊට පස්සෙ අපිත් එක්ක හිටපු චමල් රාජපක්ෂට ඇතුළට එන්න කියලා පණිවිඩයක් එනවා. තව විනාඩි 15ක් විතර ඉන්නවා.

තුන්දෙනා එළියට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියනවා මම පක්ෂ මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට දෙන්න තීන්දු කළා කියලා.ඒ නිසා අපි සියළු දෙනා මෛතී‍්‍රට උදව් කරපු. පක්ෂය රැක ගනිමු. මෙහෙම තමයි එතුමා කිව්වෙ. මේක කියන්නේ මීට දවස් 4ට කලින් මෛති‍්‍රව අයින් කරලා සභාපති කරගත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා.

ඊට පස්සේ පක්ෂයේ සියළු මන්තී‍්‍ර කණ්ඩායම තීන්දු කළා ආණ්ඩුවත් එක්ක එකතු වෙන්න. ඒ දවස් දෙකක සාකච්ඡාවකින් පස්සේ. මධ්‍යම කාරක සභාවට මේක ආවම වේලගම මෛති‍්‍රවරයා විතරක් කිව්වා මම නම් යූ. ඇන්.පි.යත් එක්ක එකතු වෙන්න කැමැති නැහැ කියා.

ඊට පස්සෙ ආණ්ඩුවක් හැදුවා. මුලදි කිව්වා අපේ ඇමැතිකම් ටික බෙදාගෙන කියන්න කියලා. අපි කිව්වා නෑ නෑ එක් ජනාධිපතිතුමාම තීන්දු කරන්න කිව්වා.

චමල්ට පංච නින්දාවෙන් බැන්නා

අපි එකට එකතුවෙලා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙනාවා.ජනාධිපති ධූර කාලය අවස්ථා දෙකකට සීමා කරන, දෙවරක් තරග කරන බෑ කියන නීතිය, ජනාධිපති කාල සීමාව අවුරුදු 6යි නෙවෙයි 5යි කියන නීතිය, ජනාධිපතිතුමාට තිබුණ සමහර ආඥාදායක, අන්තනෝමතික බලතල පාර්ලිමේන්තුවට සහ කොමිෂන් සභාවලට දෙන නීතිය මේ සියල්ල අපි සියළු දෙනා එකතුවෙලා ගෙනාවා.

ඒ 19 වැනි ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහායි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නැවැත තරග කරන්න බැරි වෙන්නේ. ඒකට චමලුත් ඡන්දෙ දුන්නා. නාමලුත් ඡන්දෙ දුන්නා.
ඒ වගේම බැසිල් ගොඨාභය වගේ ද්විත්ත පුරවැසියන්ට තරග කරන්න බෑ නීතිය ගෙනාවෙත් ඒගොල්ලෝ. ඒකටත් ඒ සේරම ඡන්දෙ දුන්නා.

ටික දවසකින් මේ අය කිව්වා අපිට විපක්ෂෙ ඉදගෙන ඔබතුමාවත් රකින ගමන් ආණ්ඩුව විවේචනය කරන්න ඉඩ දෙන්න කියලා. අපි කතා කරන්න ඉස්සෙල්ලා මෛති‍්‍රපාල ජනාධිපතිතුමා බොහොම කැමැත්තෙන් කිව්වා ”යන්න විපක්ෂෙ ඉදගෙන ආණ්ඩුවේ වැරදි කියන්න. ආණ්ඩු පක්ෂෙ ඉදළත් කියන්න” කියලා.

එහෙම ගිහිල්ලා පහුගිය මහ මැතිවරණය එනකොට එස් බී දිසානායක, නිමල් සිරපාලද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර පි‍්‍රයදර්ශන අපි එකතුවෙලා ගිහිල්ලා මෛතී‍්‍රපාල ජනාධිපතිතුමාට කියනවා අපේ පක්ෂයේ අගමැති අපේක්ෂකයා චමල් කරමු. එතුමා කැමැති වුණා. ජනාධිපතිතුමා චමල්ට කතා කරනවා . චමලුත් කැමැති වෙනවා.

අපි යනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හමු වෙන්න. එයා මුලදී කැමැති වෙලා මං උත්තරයක් දෙන්නම් පස්සෙ කියලා කිව්වා. පස්සෙ එතුමා විරුද්ධ වෙනවා. එතුමටම එන්න ඕන කිව්වා. චමල්ගෙ ගෙදරට ගිහිල්ලා චමල්ට පංච නින්දාවෙන් බනිනවා.

ඇයි මෙහෙම කරන්නෙ? ගෝඨාභයට, චමල්ට එන්න දෙන්න නැත්තෙ ඇයි?

සාකච්ඡා කළේ – පි‍්‍රයන්ත කරුණාරත්න

කතෘ අවසරය මත ONLINE PUWATH වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී

ඡායාරූප -තිසර සමල්