කන්තලේ සීනි කර්මාන්තශාලාව ගිලගන්න යකඩ හොරෙක්!

0

වසර 24ක් වසා දමා තිබූ කන්තලේ සීනි කර්මාන්තශාලාවේ අබලි යකඩ සහිත යන්ත්‍ර අඩුමිලට ලබා ගැනීමේ ජාවාරමකට ආයෝජන මණ්ඩලයේ හිටපු සහ දැනට සිටින ඉහළ නිලධාරීන් පිරිසක් උත්සාහ දරමින් සිටින බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ අනාවරණය කරනවා.පසුගිය (27) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ඩොලර් මිලියන 100ක් හරහා නැවත ආරම්භ කිරීම සඳහා රජය එකඟවූ ගිවිසුමකට පයින් ගසා මෙය සිදු කිරීමට යන බවයි.

එම ඩොලර් මිලියන 100 රජයට 51%ක් හා ආයෝජකයාට 49%ක් වන පරිදි 2015.07.21 දින ගිවිසුම් ගත වී ඇති අතර ඊට අදාළ කැබිනට් අනුකමිටුවේ ඇතුළු සියලු ලේඛන තමා සතුව පවතින බවද ඔහු අනාවරණය කළා.

2017.03.15 අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව කැඳවූ රැස්වීමේදී තීරණය වී ඇත්තේ එම ඉඩම ඇතුළු සියලු අබලි යකඩ සමඟ යන්ත්‍ර සූත්‍ර ටෙන්ඩර් කැඳවීමක් හරහා විකුණා එම මුදල් භාණ්ඩාගාරයට යවා ඉඩම ආයෝජකයාට නිදහස් කිරීමට බවත් ඊට අදාළ නීතිපති ලියවිල්ල 2017.03.20 නිකුත් වී ඇති බවත්ය.

ටෙන්ඩර්කරුවන් 14ක් ඉදිරිපත් වී ඇති අතර පළමු ටෙන්ඩර්කරු රුපියල් මිලියන 540කට ද, ඒ ආකාරයෙන් අනෙක් ටෙන්ඩර්කරුවන් පහළ මට්ටමට තම ලංසු ඉදිරිපත් කර ඇති බව පවසන ඒ මහතා, 2017.07.06 ආයෝජන මණ්ඩලයේ සභාපති මැදිහත්ව එම ටෙන්ඩරය අවලංගු කරන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි.

මෙම ක්‍රියාවලිය කල්දැමීම හා එහි පදනම කුමක්දැයි සොයා බැලීමට අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ යුතු බවත්, එහි අබලි යන්ත්‍ර ඉවත් කර කර්මාන්තශාලාව ආණ්ඩුව විසින් හෝ වෙනත් ආයෝජකයකු හරහා හෝ නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසයි.

මේ පිටුපස සිටින දේශපාලනඥයන් කවුද යන්න ඉදිරියේදී තමා හෙළි කරන බවද ඔහු සදහන් කළා.

Kanthale Sugar Factory