පළාත් සභා මැතිවරණය 4 ඉ ව්‍යවස්ථාව තුළට ගැනීමෙන් බෙදුම්වාදයට සුජාතබව ලැබෙයිද?

1

(20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අදාල 2017.09.19 දින හැන්සාර්ඩ් වාර්තාව ඇසුරෙන් නීතිය ගලපා ඇත)

සෝල්බරි සාමිවරයාගේ මූලිකත්වයෙන් සහ පේරාදෙනිය සරසවියේ නිර්මාතෘ ජෙනිංග්ස් පෙරදැරිව 1947 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත්කර දී බ්‍රිතාන්‍යය කිරීටයට වගකියන ලංකාවේ පුරවැසියෙකුට රටේ අගමැතිධුරය ලබාදී 1948 පෙබරවාරි 04 වැනි දින ඩොමීනියන් නිදහස ලබා දෙන ලදී.

1815 දී උඩරට ගිවිසුමෙන් දෙපාර්ශවයේ එකගත්වයෙන් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බ්‍රිතාන්‍යයන් ලබා ගත් අතර එදින සිට මුළු රටටම බලපාන පරිදි විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය එංගලන්තයේ මහරජුන් සහ මහ රැජිණියන් විසින් ලංකාවේ එවකට “සිලෝන්” පාලනය කිරීම සදහා යොදා ගනු ලැබී ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යය කිරීටයේ බලය සීඝ්‍රයෙන් පිරිහී ගිය අතර හිරු නොබසින අධිරාජ්‍යයේ බලය කෙමෙන් දියවන තත්ත්වයක් ඇති වෙමින් තිබූ අතර සිය යටත් විජිත වූ රටවල නිදහස් අරගල ආරම්භවී තිබීමත් මත ප්‍රජාතන්ත්‍රවාදය නම් භූමිකාව නිරූපණය කරන ආයතන පිහිටුවා එම රටවල් දිගටම සිය නොනිල පාලනයේ තබා ගැනීමට බ්‍රිතාන්‍යය බුද්ධිමත්හු ක්‍රියාකාරී විය.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී පියවර අනුව ජනතාවගේ නියෝජිකයින් පත්කර රට පාලනය කරන බව 1947 ආණ්ඩුක්‍රමයෙන් පෙන්වා දුන්නද විධායකයත්, අධිකරණයත්, ව්‍යවස්ථාදායකයත් පාලනනය කරන තීරක බලය බ්‍රිතාන්‍යය කිරීටයටත්, රාජාධිකරණයටත් විය.

ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය ඉතා සියුම්ව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරනා බව දුටු 1970 බලයට පැමිණි “සමගි පෙරමුණු ආණ්ඩුව එවකට පැවති 1947 සෝල්බරි ව්‍යවස්ථාවට පටහැනිව යමින් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජකීය විදුහලේ නවරගහලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ඉදිරියේ දී කෙටුම්පත් කර 1972 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවට හදුන්වා දෙන ලදී.

1972 දී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි පරිච්ඡේදය ජනතාව, රජය සහ පරමාධිපත්‍යය ලෙස දක්වන ලද අතර එය මෙසේ ය…,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් විසින් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරමින් යන අවස්ථාවේ සී සුන්දරලිංගම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එකී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ක්‍රියාවන් නතර කර ගැනීමට උත්සාහ ගත් බව සී. සුන්දරලංගම් එ. නීතිපති සහ තවත් දෙදෙනකු75 න.නී. වා. 126 පිටුවේ දැක්වේ.එය සාර්ථක වූයේ නැත. එකී නඩුව සම්බන්ධව අදාල නීති වාර්තාවේ එකී නඩුවේ තීන්දුව කෙටියෙන් මෙසේ දක්වා ඇත.

එනම් 1947 සෝලිබරි ව්‍යවස්ථාව මගින් බ්‍රිතාන්‍යය කිරීටයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය මගින් ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය බැද දමා තිබීම නිදහස් කර ගැනීමට 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයින් ක්‍රියා කරගෙන යද්දී එය නතර කරමින් එංගලන්ත කිරීටය ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යටත් කිරීම ආරක්ෂා කිරීමට සහ සෝල්බරි ව්‍යවස්ථාව් විධිවිධාන ආරක්ෂා කිරීම වෙනුවෙන්එම නඩුව පවරා තිබුණි.

කෙසේ වෙතත් එංගලන්ත කිරීටයට ලංකාවේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යටත් කිරීම පවත්වාගෙන යාම පූර්ණ ලෙසම කරගෙන යාමට නොහැකි වූ අතර 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ඒ තත්ත්වය සෑහෙන ප්‍රමණයකින් මුදා ගන්නා ලදී.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද 1වැනි පරිච්ඡේදය ජනතාව, රජය සහ පරමාධිපත්‍යය ලෙස දක්වා ඇත.එය මෙසේ ය…,


 

 

ඒ අනුව වර්තමානයේ වලංගු 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවත්, එකී පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවත් දක්වා ඇති අතර පරමාධිපත්‍ය යන්නට සහ පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම දැක්වෙනජනතාවගේ පරමාධිපත්‍ය බල වර්ග 05ක් සම්බන්ධ විධිවිධාන දැක්වෙන අතර එය4වන ව්‍යවස්ථාවේ දක්වා ඇත.

එනම් එකී පරමාධිපත්‍ය බල වර්ග 05 වන්නේ..,

  1. ජනතාවගේ විධායක බලය.
  2. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය.
  3. ජනතාවගේ අධිකරණ බලය.
  4. ජනතාවගේ මූලික අයිතිවාසිකම්.
  5. ජනතාවගේ ඡන්ද බලය.

මෙම ලිපිය පළාතකට පමණක් අදාල පළාත් සභා මැතිවරණය 4 ඉ ව්‍යවස්ථාව තුළට ගැනීමෙන් බෙදුම්වාදයට සුජාතබව ලැබෙන අයුරු පිළිබද සාකච්ඡා කරන හෙයින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම දැක්වෙන 4 ඉ ව්‍යවස්ථාවට පිළිබද අධ්‍යයනය කිරීමට මූලිකත්වය දී ඇත.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව මෙසේ දැක් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4ඉ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යයබලයේ කුළුණක් වන ජනතාවගේ ඡන්ද බලයේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන මැතිවරණ 03ක් පමණක් දක්වා ඇත.

එනම්…,

  1. ජනරජයේ ජනාධිපතිවරයා තෝරාපත් කිරීමේ ඡන්ද විමසීම
  2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණය
  3. සෑම ජනමතවිචාරණයක්

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව පිළිගන්නා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන සහ භුක්තිවිදින ජන්ද විමසීම් පවත්වන මැතිවරණ 03ක් පමණක් පිළිගෙන ඇත.

ජනතාව විසින් ඡන්දය දෙන සෑම අවස්ථාවකදීම ජනතාවගේ පරමාධිපත්‍යය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන නැති අතර ඒ අනුව ප්‍රාදේශිය සභා මැතිවරණ, නගර සභා මැතිවරණ, මහනගර සභා මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණ නොව අදාල මැතිවරණ නීතිය අනුව පවත්වන මැතිවරණ පමණක් වේ.

ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක අනන්‍ය ප්‍රධාන ලක්ෂණ 07ක් අධ්‍යයනය කළ හැකිය.

  1. ලංකාව පුරා එක් අවස්ථාවකදී ඡන්දය පවත්වනු ලැබේ.
  2. ලංකාවේ සියලුම ඡන්ද දායකයින්ගේ ඡන්ද එක් ස්ථානයකට නියෝජිතයින් තේරීම සදහා යෙද වේ. (තේරීපත්වන අය එක් ස්ථානයකට එනම් පාර්ලිමේන්තුවට සාමාජිකයින් තේරීම හෝ ජනාධිපතිවරා පත් කිරීමට හෝ ජනමතවිචාරණය තීරණය)
  3. මුළු රටටම බලපාන පරිදි තීරණ / නීති පැනවීම සදහා තීරණ ගැනීමට ඡන්දය පවත්වනු ලැබේ.
  4. ලංකාවේ කොටසකට පමණක් බලපාන තීරණ / නීති පැනවීමට නියෝජිතයින් පත් කිරීමට නො පවත්වයි.
  5. ලංකාවේ සියලුම ජනතාවගේ අදහස්/කැමැත්ත තීරණය කරමින් සියලුම ජනතාව එක් කුලකයක් ලෙස සළකා ඡන්දය පවත්වයි.
  6. තේරීපත්වන අය සම්මත කරන්නට යන නීති අභියෝග කිරීමට රටේ සියලුම දෙනාටම සමාන අවස්ථාව ලැබේ.
  7. ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ ඡන්දය ආයතන කිහිපයක් පිහිටුවීම සදහා යොදා නොගනී.

(ඒ අනුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ පළාත් සභා 09ක් පිහිටුවීමට හෙයින් පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා ජනරජයේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක අනන්‍ය ප්‍රධාන  ලක්ෂණ නොමැතිව පවත්වන මැතිවරණයක් බවට පත් වී ඇත.)

ඒ අනුව ප්‍රාදේශිය සභා මැතිවරණ, නගර සභා මැතිවරණ, මහනගර සභා මැතිවරණ සහ පළාත් සභා මැතිවරණ ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණ වන්නේද යන්න ජනතාවගේ අවධානයට යොමු විය යුතුය. එම මැතිවරණවල දී ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය නොවන්නේද යන්න සහ අදාල ප්‍රදේශයේ හෝ කොට්ඨාශයේ හෝ පළාත සදහා පමණක් අදාල වන මැතිවරණයක් පමණක් වන්නේද යන්න විමසා බැලිය යුතුය.

දැනට පළාත් සභා 09ක් ඇති අතර එමෙන්ම ප්‍රාදේශිය සභා, නගර සභා, මහනගර සභා විශාල සංඛ්‍යාවක් ඇති අතර ඒ ඒ පළාත්වල/ ප්‍රදේශවල ජනතාව එවැනි ඡන්ද විමසීම් වලදී නිදහස්, සමාන, රහස් ඡන්දයක් ප්‍රකාශ කළද ජනතාවගේ පරමාධිපත්‍යය  ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක අනන්‍ය ප්‍රධාන ලක්ෂණ නොමැතිව සීමිත විධායක, ව්‍යවස්ථායක සහ අධිකරණ බලයක් ක්‍රියාත්මක කිරීමට පනවා ඇති ව්‍යවස්ථා විධිවිධාන අරමුණු කර පවත්වන මැතිවරණ වන අතර එවැනි මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවටද ඇතුළත් කර නැත.

ඒ අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක ලක්ෂණ ප්‍රාදේශිය සභා, නගර සභා, මහනගර සභා, පළාත් සභා සදහා පවත්වන මැතිවරණයක තිබෙන්නේද යන්න පිළිබද ප්‍රභල සැකයක් ඇති වේ. ජනතාවගේ පරමාධිපත්‍යය විස්තර කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට වෙනත් මැතිවරණයක් ඇතුළත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව විසින් ගෙන එනු නොලැබූ අතර ඒ මන්ද යන්නත් විමසා බැලිය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ කාර්යයක් පමණක බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය මුවාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොටස් එකතු කිරීම නිසි ක්‍රමවේදය නො වේ.

පළාත් සභා 09 සදහා වෙන්වෙන්ව පවත්වන පළාත් සභා මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක්ද?

(පළාත් සභා සදහා නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට ඇතුළත් නොවන බවට මැදිහත් පෙත්සම්කරුවන් කරුණු ඉදිරිපත් කර ඇති බව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අදාල 2017.09.19 දින හැන්සාර්ඩ් වාර්තාවේ දැක්වේ.)

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ ජනමත විචාරණයකින් නො වේ. පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන 2/3 බහුතර ඡන්දයෙනි. එනම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනමතවිචාරණයකින් සංශෝධනය කළ යුතුබවට එතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන කිසිවක් සංශෝධනය කිරීමට අපේක්ෂාවක් තිබී නැත. ජනතාවගේ පරමාධිපත්‍යය බලයට හදුන්වා දී ඇති 3 වැනි ව්‍යවස්ථාවේ කිසිම විධිවිධානයක් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සංශෝධනය වී නැත. මන්ද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 3 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වූයේ නම් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමත විචාරණයකින් තොරව සම්මත කරගත නොහැකි වේ.

එනම් පළාත් සභා මගින් ඇති කරන ඕනෑම ව්‍යුහයක්, අධිකාරියක්, ක්‍රම පිළිවෙලක් (154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා) සදහා අවශ්‍ය වන්නේ උපරිම ලෙස පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 බහුතර ඡන්දයකි. මන්ද එකී ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 බහුතර ඡන්දයකින් වීමයි. එනයින්ම පළාත් සභා මගින් ඇති කරන ඕනෑම ව්‍යුහයක්, අධිකාරියක්, ක්‍රම පිළිවෙලක් (154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා) ඉවත් කිරීම සදහා අවශ්‍ය වූයේත් පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 බහුතර ඡන්දයක් පමණි. මන්ද  13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා කිසිවක් සංශෝධනය කිරීමක් සිදු නොවීමයි.

ඒ බව තවදුරටත් පැහැදිලි වන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථාව ජනමතවිචාරණයකින් තොරව සංශෝධනය කළ හැකි වුවත්, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ සිට පසුගිය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ 2017.09.19 දින තෙක් පාර්ලිමේන්තුව විසින් 4ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුළත් කර නො තිබීමෙනි. එනම් 3 වැනි ව්‍යවස්ථාවට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා මගින් කිසිම බැලපෑමක් එල්ල කර නොතිබිණ. අඩුම තරමේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට බලපෑමක් එල්ල කළේ නම් එනම් ජනතාවගේ පරමාධිපත්‍යයට බලපෑමක් එල්ල කළේනම් අනිවාර්්‍යයෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත විය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 බහුතර ඡන්දයකින් සහ ජනමතවිචාරණයකින් පමණි. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමතවිචාරණයක් නොපවත්වන ලද හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සංශෝධනයක් හෝ පළාත් සභා මගින් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක වීම හෝ බුක්තිවිදීම සිදුවී නැත.

මේ නීතිමය තත්ත්වය 4ඉ ව්‍යවස්ථාවේ දැක්වෙන මැතිවරණ 3 පමණක් ජනතාවගේ පරමාධිපත්‍යය බලයට අයත් බවට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන තිබීමෙන්ම පැහැදිලි වේ. එසේ වුවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතය 2017.09.19 දින පාර්ලිමේන්තුවට යොමු කිරීමත් සමග ඒ තත්ත්වය වෙනස් වී ඇති අතර 4ඉ ව්‍යවස්ථාවේ දැක්වෙන මැතිවරණ 3,තවත් මැතිවරණයක්ද සමග කියවිය යුතු තත්ත්වයක් මේ වන විට එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හරහා නිර්මාණය වී ඇත.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතය 2017.09.19 දින යොමු කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා සදහා සාමාජිකයින් තෝරණ  මැතිවරණද ඇතුළත් බව තීරණය කර ඇත.

(පළාත් සභා සදහා නියෝජිතයින් තෝරා ගන්නා මැතිවරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට ඇතුළත් වන බවට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අදාල 2017.09.19 දින හැන්සාර්ඩ් වාර්තාවේ දැක්වේ.)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හෝ එකී සංශෝධනයෙන් පසු මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කර ඇති කිසිම සංශෝධනයකින් 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයක් ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහිතව පවත්වන මැතිවරණයක් ලෙස ඇතුළත් කර නොතිබුණ තත්ත්වයකදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයද ඇතුළත් කර කිබීම නීතිමය ලෙස අධ්‍යයනය කිරීමට සෑම පුරවැසියෙක්ම අවධානය යොමු කළ යුත්තේ එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාවට සිදුකරන බලපෑම සහ 3 වැනි ව්‍යවස්ථාවට සිදුකරන බලපෑම 83 ව්‍යවස්ථාව අනුව ජනමතවිචාරණයක් දක්වා දුරදිග යාමට හැකි තත්ත්වයේ නීතිමය අර්බුදයක් දක්වා මතු විය හැකි හෙයිනි.

පළාත් සභා මැතිවරණය මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය නිරූපණය කරන්නේ නම් පළාත් සභා පිහිටවූ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල 154 අ සිට 154ඩ දක්වා ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු වූයේ 83 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2/3 බහුතර ඡන්දයකින් සහ ජනමතවිචාරණයකින් සම්මත වීමෙන් පසු ය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සදහා ජනමතවිචාරණයක් නොපැවැත් වූ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 අ සිට 154ඩ ව්‍යවස්ථා වලින් ජනමතවිචාරණයකට බලපාන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් එනම් 1, 2, 3, 6,7, 8, 9, 10 සහ 11 සහ 30.2 සහ 62.2 ව්‍යවස්ථාවලට බලපාන්නේ යැයි තීනිමය ලෙස අවධානය යොමු කළ නොහැකිය. ඒ අනුව  වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා 09 සදහා වෙන්වෙන්ව පවත්වන පළාත් සභා මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මකවීම සහ භුක්තිවිදීම සදහා පවත්වන මැතිවරණයක් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැහැදිලිය. තත්ත්වය එසේ වුවත්, 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද 2: 1 බෙදුනු තීන්දුව අනුව පළාත් සභා මැතිවරණයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති හෙයින් ඉදිරියේදී පවත්වන පළාත් සභා මැතිවරණ පෙර පැවති පළාත් සභා මැතිවරණ මෙන් නොව ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහිතව පවත්වන ජනාධිපතිවරණ, ජනමතවිචාරණ සහ ජනමතවිචාරණ මෙන් පරමාධිපත්‍ය බලයක් සහිතව  පවත්වන මැතිවරණයක් ලෙස උසස් වී පවත්වන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාවට බරපතල අනතුරක් වන්නේද යන්න ඉදිරියේදී සමාජය විසින් සාකච්ඡා කළ යුතු තත්ත්වයකි.

(20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල) පනත් කෙටුම්පතේ 2, 3, 4 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 12.1 ව්‍යවස්ථාවලට නොගැලපෙන බවත් ඒ අනුව පක්ෂව ඡන්දය දෙනලද ඡන්ද සංඛ්‍යාව (නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව) මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට අඩු නොවේ නම්ද, ජනමතවිචාරණයකදී ජනතාව විසින් ජනමතවිචාරණයකදී අනුමත කර ඇත්නම් සහ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව යටතේ ජනමතවිචාරණයකදී ජනතාව විසින් අනුමත කළ බවට ජනාධිපතිවරයා සහතික විසින් එහි සහතිකයක් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් නීතිය බවට පත්වන බව බහුතර තීරණය බව  ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අදාල 2017.09.19 දින හැන්සාර්ඩ් වාර්තාවේ දැක්වේ.)

මෙහිදී මතුවන අනෙක් නීතිමය තත්ත්වය වන්නේ ජනාධිපතිවරණ, ජනමතවිචාරණ සහ ජනමතවිචාරණ සදහා සිය පරමාධිපත්‍ය ඡන්ද බලය භාවිතා කරන පුරවැසියන් ඒ හා සමාන පරමාධිපත්‍ය බලයක් සහිතව පළාත් සභා ඡන්ද විමසීම සදහා සිය ඡන්දය ලබා දීමට කැමති වේද? යන්නයි. මන්ද පරමාධිපත්‍ය බලය සහිතව එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයද ඇතුළත් කර ඇති අවස්ථාවකදී ඉදිරියේදී පවත්වන පළාත් සභා මැතිවරණයකදී බලය ලබා ගන්නා යම් පළාත් සභාවක් ජනතාවගේ පරමාධිපත්‍යය බලය නිරූපණය කරන බවට හිතුවක්කාරී ලෙස තීරණය කර ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් වෙන්වී යාමට ක්‍රියා කළහොත් ඇති වන තත්ත්වය නීතිමය වලංගුතාවයක්ද ලබා ගනී. මන්ද ඉදිරියේ පළාත් සභා මැතිවරණ පවත්වනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයද ඇතුළත් කරගෙන ඇති වටපිටාවකදී වීමයි.

එකම දිනක පළාත් සභා මැතිවරණ පැවැත්වීම සදහා අරමුණු කර ගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවසානයේ දිශානති වී තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණයද ඇතුළත් කරගෙන පළාත් සභාවලටද පාර්ලිමේන්තුවට මෙන් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ලබා දීමෙන් බව පෙනී යයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය පළාත් සභාවලට හිමිවීමත් සමගම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාව උල්ලංඝණය වන තත්ත්වයක් සහ පාර්ලිමේන්තුව මෙන් සමාගාමීව නීති පැනවීමේ අධිකාරියද පළාත් සභාවට හිමිවන නීතිමය තත්ත්වය ආරම්භ වේ. එනම් පාර්ලිමේන්තුව මෙන් ජනතා පරමාධිපත්‍ය පළාත් සභාද නියෝජනය කිරීමෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XI පරිච්ඡේදයේ ඇති 76 ව්‍යවස්ථාවට පටහැනි තත්ත්වයක්ද ඇති වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6, 7 සහ 8 වැනි ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අනන්‍යතාවයට අදාල ලක්ෂණ, ජනතාවගේ පරමාධිපත්‍යබලය හිමි කරදී ඇති පළාත් සභා මගින් අත්කර ගැනීමටද නීතිමය අවස්ථාව වීවෘත කර දී ඇත.

මෙහිදී විසදා ගත යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවේ දැක්වෙන ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනමතවිචාරණය මෙන් ජනතාවගේ පරමාධිපත්‍යදැක්වෙන අවස්ථාවක් පළාත් සභා මැතිවරණවලින් පෙන්නුම් කරනවාද? යන්නයි. ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනමතවිචාරණය යන මැතිවරණ කුලකය සහ පළාත් සභා 09 සදහා පවත්වන පළාත් සභා මැතිවරණය ප්‍රාදේශිය සභා මැතිවරණය, නගර සභා මැතිවරණය සහ මහනගර සභා මැතිවරණය යන මැතිවරණ කුලක සෑම අතින්ම සමාන ලෙස සැළකිය හැකිය යන ගැටළුව නීතිමය ලෙස නිරාකරණය කර ගත යුතුය. එනම් එම කුලක දෙක මගින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වන ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වනවාද? යන්නයි. මේ කුලක දෙකටම අදාල මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවේ දක්වෙන්නේ නම් මේ දක්වා 4 ඉ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව චේතනා නොකළේ මන්ද යන්නයි.මෙම කුලක දෙක සමාන විය නොහැකි ය.

ඒ සමගම පැන නගින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව දක්වන ජනතාවගේ පරමාධිපත්‍ය බලය අත් නොහළ යුතු බවට වන විධානය සහ ඉහත නීතිමය කරුණු මත ලංකාවේ සෑම පුරවැසියෙකුටම මෙය අදාල බවත් එනම් ජනතාව සම්බන්ධයෙන් වැදගත්වන සහ පොදු වැදගත්කමක් ඇති බැවින් ඒ අනුව මේ තත්ත්වය නීතිමය ලෙස නිරාකරණය කර ගැනීමට එනම් ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය මණ්ඩලයක් යටතේ මේ තත්ත්වය එනම්20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයේ බෙදුනු තීරණය අභියෝග කරආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණය ඇතුළත් කිරීමේ නීතිමය හැකියාව නිරාකරණය කර ගැනීමයි.

ඒ සමගම විසදා ගත යුත්තේ ඉදිරියේ පවත්වන පළාත් සභා මැතිවරණයක් පැවැත්විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාවට ඇතුළත් ජනතාවගේ පරමාධිපත්‍ය බලයද ඇතුළත් පළාත් සභා මැතිවරණයක්ද නොඑසේ නම් 4 ඉ ව්‍යවස්ථාවට ඇතුළත් නැති ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් නැති  පළාත් සභා මැතිවරණයක්ද  යන්නයි. ඉදිරි පළාත් සභා මැතිවරණ හෝ මැතිවරණයක් පැවැත්වීමට පෙර මේ ගැටළුව නීතිමය ලෙස නිරාකරණය කර නොගත හොත් සංකීර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටළුවලට ලාංකීය පුරවැසියන්ට මුහුණ දීමට සිදුවනු ඇත. (උතුරු නැගෙනහිර පළාත් සභා මේ සදහා එකග නොවනු ඇත.)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා තිබෙන අතර ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන සහ භුක්තිවිදින ආකාරය 4 ව්‍යවස්ථාවේ නියම කර ඇත. එකී ව්‍යවස්ථාවලින් නියම කර ඇති ආකාරයෙන් පිට පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සහ භුක්තිවිදිම සිදුවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත කරන්නේද යන්න නීතිමය ලෙස විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති නමුත් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය පළාත් සභාවක වෙසෙන ජනතාව කෙරෙහි පිහිටුවා නැත. මන්ද ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය පළාත් සභාවක වෙසෙන ජනතාවට පිහිටුවා තිබුණහොත් ඒ පළාත් සභාවේ ජනතාවට ශ්‍රී ලංකා ජනරජයන් වෙන්වී යාමේ පරමාධිපත්‍යය බලයත් නිතැතින්ම හිමකර ගන්නා හෙයිනි. රටේම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන සහ භුක්තිවිදින අංගයක් වන ජනතාවගේ ඡන්ද බලය සමග ජනතාව සීරුවෙන් ක්‍රියා කළ යුත්තේ එහෙයිනි.එසේ කටයුතු කිරීමේදී ඡන්ද පිපාසයෙන් ඉන්නා ජනතාවට ඡන්දය දෙන මුවාවෙන් මෙතෙක් පැවති බලයට වැඩි පරමාධිපත්‍ය බලයක් සහිත පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සදහා නීතිමය අධිකාරිය ලබා ගැනීම ජනතාවගේ බුද්ධිමය අවධානයට යොමු විය යුතුය.

මුද්‍රණය කර කියවිම සදහා PDF පිටුව භාගත කරගන්න …මෙතනින් – පළාත් සභා මැතිවරණය 4 ඉ ව්‍යවස්ථාව තුළට ගැනීමෙන් බෙදුම්වාදයට සුජාතබව ලැබෙයිද?

Lanka News Alert

1 COMMENT

Comments are closed.