ගවර්ස් කෝපරේෂන් මිලියන 30ක මුදලක් විශුද්ධීකරනයේ රට පැන්න ඔරනෙලා අත්අඩංගුවට

0

Govers Corporation – ගවර්ස් කෝපරේෂන් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී රුපියල් මිලියන 30ක මුදලක් විශුද්ධීකරනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 05දෙනෙකුට එරෙහි නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය මග හරිමින් සිටි ඉරේෂා සිල්වා යන අය අබුඩාබි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා (Ornella Iresha Silva)නැමත්තිය අත්අඩංගුවට ගැනීම සඳහා රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබුන අතර අදාළ නඩුව හෙට (10) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර අබුඩාබිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව පවසන ඔරනෙලා ඉරේෂා සිල්වා රජයේ සාක්ෂිකාරියක් ලෙස ආදාළ නඩුවට ඉදිරිපත්විමට ඉඩ ඇති බවටද තොරතුරු වාර්තාවේ.

නාමල් රාජපක්ෂ සහ ඔහුගේ ලේකම් ඉරේෂා සිල්වාට අමතරව ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාම හා නිත්‍යා සේනානි සමරණායක සෙසු විත්ති කරුවෝ වන අතර ඉන්දික ප්‍රභාත් කරුණාජීව නැමති විත්තිකරුවාද අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහාද රතු වරෙන්තුවක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් මුදල් වලින් ගවර්ස් කෝපරේෂන් නැමති සමාගමක රුපියල් මිලියන 30ක් වටිනා කොටස් මිලදී ගැනීම මගින් මුදල් විශුද්ධීකරනය සිදු කර ඇති බවට නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබේ.