Home / Featured / ඉමක් නැති වල්පාළුවේ නිමක් නැති දැව ජාවාරම

ඉමක් නැති වල්පාළුවේ නිමක් නැති දැව ජාවාරම

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මනාව විදහාපාන අපූර්වතම නිර්මාණය ස්භාව ධර්මයයි. එහි නිපැයුම්කරු විශ්මකර්ම දැයි වරෙක සිතෙනු ඇත. දය ඇලි, ගංගා, ඇළ දොළ, කදුවැටි මේ ස්භාව ධර්මයා අලංකෘත කරන සැරසිලිය. ඒ අතර ගස්වැල් සතා සිව්පාවුන් ස්භාව ධර්මයාගේ මැවීමක් කිව හොත් එය නිවැරදිය. රටේ දේශගුණික විපර්යාසයන්ට අනුව විවිධාකාර ගස්වැල් හටගනිති. සමහර ස්ථාන ගස්වැල් වලින් පිරී ඉතිරි ගොස්ය වෑදිය නිල්ල තුරුවැල් අතරින් මනාව පිළිඹිඹුවේ. එවන් ස්ථාන වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව රක්ෂිත, එසේත් නොමැතිනම් අභය භූමි ලෙස මේවා නම් කිරීම රටේ යහපතට පමණක් නොව සතා සිව්පාවුන්ගේද ආරක්ෂාවට මෙයින් සැලසෙන බව සිහිපත් කල යුතුය.

එසේ නම් කර තිබූ විල්පත්තුවටද පසු ගිය රජය සමයේ නොයෙකුත් කෙනෙහෙලිකම් සිදුවන්නට විය. එහිද ඉවක් බවක් නොතකා දැවැන්ත වන සංහාරයක් දිගින් දිගිටම සිදුවන්නට විය.

නමුත් අද අප කතා බහට ලක්කරන්නේ එවැනි සංහාරයක් පිළිබද නොව ඊට එහා ගිය රජ සමයටත් හිමිකම් කියන ප්‍රෞරාණික මෙන්ම ‍ඵෛතිහාසික වැදගත්කමක් කැටිවූ පෙත්තගම රක්ෂිතයට අත්ව ඇති ඉරණම පිළිබදවය.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 658/ඒ. වල්පාළුව ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති ඵෛතිහාසික මෙන්ම ප්‍රෞරාණික වැදගත්කමකින් සමන්විත පෙත්තගම පුරාණ රජමහා විහාරය පිහිටා ඇති පෙත්තගම රජය සතු රක්ෂිතයේ ඉවක් බවක් නොතකා දිගින් දිගටම සිදුකරගෙන යන මහා පරිමාණ දැවජාවාරමක් සම්බන්ධයෙන් අපගේ උකුසු ඇස ගැටිනි.

1929 වර්ෂයේදී රජය විසින් ගැසට් නිවේදනයක් මගින් නම් කරන ලද පෙත්තගම සහ වල්පාළුව රජයේ රක්ෂිත බල ප්‍රදේශ තුල මේ

වන විට මහා පරිමාණ දැව ජාවාරමක් නිරන්තරයෙන්ම සිදුවන බව එහි ගිය අපට ආණවරණය වන්නට විය.

ඒ අනුව අක්කර 719ක්. රූඩ් 03ක් පර්චස් 32න් සමන්විත වූ මෙම පෙත්තගම රක්ෂිතය තුල පිහිටා ඇති ඵෛතිහාසික වැදගත්කමක් කැටුව ඇති පුරාණ රජමහා විහාරයක් වන පෙත්තගම රජ මහා විහාරයට අයත් විහාර රක්ෂිතය තුලද සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් විසින් ඉතාමත් සූක්ෂම ලෙස කාර්යක්ෂම දම්වැල් කියත් ආධාරයෙන් සහ, පොරවා උපයෝගි කරගනිමින් සිදුකරනු ලබන මහා පරිමාණ වන සංහාරය හේතුවෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ගණයේ දැවැන්ත වනස්පතීන් වන තම්මැන්නා, වෙළන්, ඇටරිටි, කැටකලා, අන්දර සහ තවත් වටිනා දැව වර්ග රැසක් ඔවුන් විසින් කපා රැගෙන යන බව අපගේ උකුසු ඇස ගැටින.

මෙම සංවිධානාත්මක හොර දැව ජාවාරම්කරුවන් නීති විරෝධිව බල පත්‍ර රහිතව මෙසේ විහාර රක්ෂිතයට අතුළු වීමෙන් අනතුරුව රජ සමයට අයත් යැයි පැවසෙන පිංවැව, නගුල්වැව, සහ පුරාණ පොකුණ තුල පිහිටා ඇති දැවැන්ත වනස්පතීන් කපා බිම හෙළන බව කියයි.

පසුව මොවුන් පාපැදි, යතුරුපැදි, අත්ට්‍රැක්ටර්,ලොරි රථ ආධාරයෙන් මෙම දැව රහසිගතව පුත්තලම, කල්පිටිය වැනි නාගාරික ප්‍රදේශවෙත රැගෙන ගොස් ඉහළ මිළකට අලෙවි කරන බව අනාවරණය විය.

අළුයම කාලයේ වනයට ඇතුළු වන මොවුන් සවස් කාලය දක්වා ඔවුන්ට අවශ්‍ය දැව රිසිසේ කපා වාහන මගින් රක්ෂිතයේ සිට ප්‍රවාහනය කරද්දි නීතිය හොබවන බලධාරින් මුණිවත රැකීම ගැටළු සහගත තත්ත්වයක්ව තිබේ.

පසුව සමහරු පාපැදි ආධාරයෙන් මෙම දැව අලෙවිය සදහා රැගෙන යන අතර මහා පරිමාණ ජාවාරම්කරුවන් විශාල ලොරි රථ ආධාරයෙන් දැව ප්‍රවාහනය කරන බව කියයි.

දිනෙන් දින සිදුවන මෙම වන සංහාරය දැක කිසිවක් නොවුනා සේ සිටින සමහර නිලධාරින් නිසාවෙන් නුදුරේදීම මෙවන් රක්ෂිතයකට අත්වන ඉරණම කෙබදුද විමතියට කරුණක්ව තිබේ.

එපමණක් නොව කාර්යක්ෂම දම්වැල් කියත් අනුශාරයෙන් සිදුකරන මේ මහා පරිමාණ දැව විනාශයට සමගාමිව ඒවා මගින් නිකුත් කරන අධික ශබ්දය හේතුවෙන් රක්ෂිතයේ සිටින වල් අලි රංචු දහවල් කාලයේදීම ගම්මානය වෙත ඇදීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ.මේ හේතුව නිසාවෙන් නුදුරේදීම අලි මිනිස් ගැටුමක් මෙම රක්ෂිත බල ප්‍රදේශය තුල සිදුවීමේ බොහෝ ඉඩකඩ වැඩි බවක් දක්නට ලැබෙන බවටයි ගම්මුන් මැසිවිලි නගන්නේ.

මේ සම්බන්ධයෙන් අපත් සමග හඩ අවදිකල ප්‍රදේශවාසියෙකු පවසා සිටියේ මෙවැන්නකි.

මේ ගස් කැපිල්ල අදක ඊයෙක ඉදලා මෙහෙ සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේක මේ අවුරුදු ගාණක ඉදලා මේ කැලේ මේ ගස්පාළුවො බදු අරගෙන එක දිගටම කපනවා. හැබැයි මෙව්වා කපන්නෙ ගමේ අය නෙමෙයි ඔය සියඹලා ගස්වැව කියන ගමේ ඉදලා එන පිරිසක් ඉන්නවා. එයාලා තමයි මේ වැඩේ කරගෙන යන්නෙ පෝය දාටත් කපනවා. පොලීසියෙන් එන්නෙත් නැහැ ඒ මිනිස්සුන්ව අල්ලන්නෙත් නැහැ. අනෙක මේ ජාවාරම කරන්නෙ අසරණ මිනිස්සු නෙමේ හොදට සල්ලි පනම් තියෙන වාහන යාන තියෙන පිරිස තමා. සමහරු බයිසිකල් වල ඇවිත් මේ ලී කපාගෙන යනවා තවත් සමහරු ලොරි වල ඇවිත් කපාගෙන යනවා. අපේ ගමේ මේ හාමුදුරුවො නැත්නම් අද පන්සල අවට තියෙන ගස් ටිකත් මෙවුන් කපනවා අයේ ඒකෙ දෙකක් නැහැ. වෙලන් කියන්නෙ කපන්න තහනම්ම දැවයක් ඒකනෙ මෙවුන් ඉස්සෙල්ලාම කපන්නෙ. අනේ මන්දා වන සංරක්ෂණය සතු දේපල කිව්වාට මේවවා හොරුන්ගෙ අම්මාගේ අප්පාගේ බූදලෙ වගේ උන් ඇවිල්ලා උන්ගෙ පාඩුවෙ කපාගෙන යනවා.

 මේ සම්බන්ධයෙන් අපත් සමග හඩ අවදිකල විහාරාධිපති හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.

මේ පන්සල් භූමිය අනුරාධපුර යුගයට හිමිකම් කියනවා මොකද ඒ කාලේ ඉදලා තමයි මේ විහාරය ඒ වගේම මේ රක්ෂිතය පැවතෙන බවට සාක්ෂි සාධක තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේක වල්පාළුව කියන වසමේ පෙත්තිගම ගමේ මේක රක්ෂිතයක් විදියට නම් කරලා තියෙනවා. මේ වෙද්දිත් මේ රක්ෂිතයෙ මහා පරිමාණයෙන් දැව ජාවාරමක් සිද්ධ වෙනවා. මේ ගැන මම රජයෙ වගකිව යුතු බළධාරින්ට දණුවත් කරලා තියෙනවා විශේෂයෙන්ම අපේ බලධාරියා වශයෙන් ප්‍රාදේශීය ලේකම් වරයාට මම ලිඛිතවත් වාචිකවත් දැණුවත් කරලා තියෙනවා. එයාලත් මේ වෙනකම් කිසිම ක්‍රියා මර්ගයක් තව වෙනතුරු අරන් නැහැ ඒ නිසා දවස ගානේ සිද්ධ වෙන්නෙ කැලේ තියෙන ගස් ටික නිකන් නිකරුනේ කාගෙත් පොරවට යට වෙන එකයි. මේ ගැන මීට වඩා සැලකිලිමත් වෙලා හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කලේ නැත්නම් ළගදීම තවත් මහා විනාශයක් අපි නොදැනුවම සිද්ධ වෙනවා කියන එක මම දන්නවා.

 නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී 658/ඒ වල්පාළුව වසම භාර ග්‍රාම නිළධාරි ඒ.එච්.එම්. විජිත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙවැන්නකි

 මම ඔය සම්බන්ධව ප්‍රාදේශීය ලේකම් තුමාව දැණුවත් කලා ඊට අමතරව මම යෝජනාවක් ගෙනාව ඔය කියන පන්සල අයත් රක්ෂිත ප්‍රදේශය තුල ජනතාව පදිංචි කලානම් ඔය හානිය අවම කර ගන්න පුළුවන් කියලා. මොකද ජනාවාස ඉදිවුණාම වල් අලි හානිය අවම වෙනවා මොකද පෙත්තිගම පුරාණ විහාරය දක්වා තියෙන්නෙ විශාල කැලෑවක් එ නිසා හොදම දේ ජනතාව පදිංචි කිරීම කියලා මම හිතනවා. තව දෙයක් තමා කොහොඹ අන්දර ඔය කියන කැලේ කොහෙත්ම නැහැ මම හිතන්නෙ නැහැ එව්වා කපනවා කියලා.  මේ ඔක්කොම රජය සතු ඉඩම් ඉතිං මෙව්වා කපද්දි කපන අය කව්රුන්ද කියලා හදුනා ගන්න අපිට අවශ්‍ය වෙනවා මම පොලීසියටත් කිහිප වතාවක්ම දැණුම් දුන්නා. තව දෙයක් දැව ජාවාරමක් සිද්ධ වෙනවා නම් පොලීසිය මැදිහත් වෙලා ඒවා අත් අඩංගුවට ගන්න එපායැයි .

 නැගෙන චෝදනාව සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතාගෙන් අප කල විමසුමකදී ඔහු පවසා සිටියේ

 ඔව් එහෙම වසමක් තියෙනවා ඕක අයිති වනසංරක්ෂණයට මම එයාලව දැණුවත් කලා මෙහෙම වන විනාශයක් සිද්ධ වෙනවා කියලා එයාලා මට නැවත ලිඛිතව දැණුම් දීලා තියෙනවා ඒහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ කියලා. ඊට අමතරව රජය සතු ඉඩම් තියෙනවා ඒවාගේ සිද්ධ වෙනවාද කියලා බලන්න මම ග්‍රාම නිළධාරිවරයාව දැණුවත් කලා එයා මට වාර්තා කලා එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ කියලා. ඔය කියන රක්ෂිතයට අයත් වෙන්නෙ පන්සල පැත්දෙද? හ්ම් එහෙනම් පන්සලේ හාමුදුරුවොවත් නිකම්වත් මාව දැණුවත් කරලා නැහැනෙ මේක පුදුම වැඩක් උන්වහන්සේගෙත් වගකීමක් මාව දැණුවත් කරන එක එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ.

සටහන සේයා රූ

(පුත්තලම කේ.ප්‍රියංකර)

 

 

Check Also

පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බයක් දාලා ඉවර කරන්න ඕන…….!

සංහිදියාවක් ඇති කරනවා යැයි බණ කියමින් ඉතිරි වී තිබෙන සංහිඳියාවද විනාශ කරන ව්‍යවස්ථා කෙටුම්පතක් අද ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *