මගෙන් අහන්න එපා…, රනිල්ගෙන් අහන්න…..!

0

තමා මහබැංකු අධිපතිධූරය දරන අවස්ථාවේදි සියළු තීරණ ගනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝග හා නිර්දේශ මත බව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් පවසා සිටියා.

ඊයේ (10) බැදුම්කර කොමිසම හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් අසන ලද හරස් ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මහබැංකුව භාර ගනු ලැබුවේ, බැඳුම්කර වෙන්දේසි ආරම්භ කරන ලද්දේ, අර්ථසාධක අරමුදල හා අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විවිධ තීරණ ගනු ලැබුවේත් අගමැතිවරයාගේ මග පෙන්වීම යටතේ බවත් එවකට  මහබැංකුව පැවතියේ අගමැතිවරයාගේ භාරයේ බවත් එබැවින් වැඩිදුර කරුණු අවශ්‍ය නම් අගමැතිවරයා කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීම සිදු කරන ලෙසත් අර්ජුන් මහේන්ද්‍රන් මෙහිදි පවසා තිබෙනවා.

තමා අධිපති පදවියට පත්වීමට පෙර මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇති සෘජු ස්ථානගත ක්‍රමය වහාම අත්හිටුවා බැඳුම්කර වෙන්දේසි ක්‍රමය තමා විසින් ආරම්භ කරන ලද්දේ තම බෑනා වන අර්ජුන ඇලෝසියස්ගෙ සමාගමට අසීමිත ලාබ ලබාගැනීම සඳහා යැයි යෝජනා කරන්නේ යැයි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා සාක්ෂිකාර මහේන්ද්‍රන්ට පවසා සිටි අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ එය අගමැතිවරයාගේ නියමය අනුව සිදුකරන ලද බවය.

එසේම ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ ජාතික සේවක සංගම් වෘත්තීය සමිති ක්‍රියාකාරියකු වන සමන් කුමාරට සේවක අර්ථ සාධක අරමුදලේ භාණ්ඩාගාර කටයුතු භාර ප්‍රධානියා ලෙස පත් කිරීමට සිදු වූයේ ඔහුට  අගමැතිතුමාත්, මුදල් ඇමැතිතුමාත්, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුනුත් සමඟ තිබූ කිට්ටු සම්බන්ධතාව නිසා බවයි මහේන්ද්‍රන් තම සාක්ෂිය අතරතුර පවසා සිටියේ.