Home / ව්‍යාපාරික / නියගයක් තිබියදීත් භාන්ඩාගාරයට ලාභ උපයා දෙන කුරුණෑගල වැවිලි සමාගම

නියගයක් තිබියදීත් භාන්ඩාගාරයට ලාභ උපයා දෙන කුරුණෑගල වැවිලි සමාගම

මීට පෙර පැවති ආණ්ඩු වල දේශපාලනඥයන් රාජ්‍ය ව්‍යවසායන් වලට විවිධ අත පෙවීම් කර එම ආයතන බංකොලොත් කල පසු ජනතාවගේ සුභ සාධනය සදහා යෙදවීමට තිබු ධනය එම ආයතන නඩත්තු කිරීමට යෙදවීමට සිදු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නව ආර්ථික වැඩපිළිවෙල යටතේ රාජ්‍ය ව්‍යවසායන් කළමණාකරණ සදහා දක්ෂ නිළධාරීන් පත් කර ඔවුන්ට නිසි වගකීම් පැවරීම තුලින් මෙවැනි සාර්ථකත්වයක් ලබා ගත හැකි වු බව කුරුණෑගල වැවිලි සමාගම තම ලාභයෙන් මිලියන 35ක් මහාභාන්ඩාගාරයට ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතය කබීර් හෂිම් සදහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය කබීර් හෂිම් කුරුණෑගල වැවිලි සමාගම මෙන්ම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතයාංශය යටතේ ඇති අනෙකුත් වැවිලි සමාගම වන හලාවත වැවිලි සමාගම, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රි ලංකා රාජ්‍ය වැවිලි සමාගම, ඇල්කඩුව වැවිලි සමාගම යන සියළු ආයතන පෙර වසර වලට වඩා විශාල ප්‍රගතියක් පෙන්නුම් කරන බවද පෙන්වා දුන්නේය.

යටත් විජිත සමයේ මෙරට පාලනය කල සුදු පාලකයන් අපට ඉතිරි කර ගිය, විදේශ විනිමය උපයන, අපේ ආර්ථිකයට ශක්තියක් වූ රජයේ වතු කලක් තිස්සේ රටට බරක්‌ වෙමින් තිබෙන බව රහසක් නොවේ. පසුගිය වසර කීපය තුල රාජ්‍ය අංශයේ වතු ලැබු පාඩුව සහ එය මගහරවා ගැනීමට මහා භාන්ඩාගාරයෙන් ලබා දී ඇති මුදල් කන්දරාව දෙස බැලීමේදී මේ බව හොදින් තේරුම්ගත හැක.

වර්තමානයේ රාජ්‍ය වැවිලි අංශය ලෙස අපට හැඳින්වීමට හැකි වන්නේ 2004 වසරට පෙර රාජ්‍ය වතු පෞද්ගලීකරණය කිරීමෙන් පසු ඉතිරිව ඇති ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය (ජනවසම), ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව, ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණැගල සහ පුත්තලම යන වැවිලි සමාගම්ය. 2015 සැප්තැම්බර් 21 දින සිට මෙකී ආයතන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතයාංශය යටතට පත්වීමත් සමග අමාත්‍ය කබීර් හසිම් මහතාගේ මගපෙන්වීම මත මෙම ආයතන තුල කලක් තිස්සේ පැවති වංචා, දුෂණ වලට වැට බැදී දක්ෂ නිළධාරී පිරිසක් යටතේ පාලනය වෙමින් තිබේ.

ඒ අනුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අයත් කුරුණගල වැවිලි සමාගම 2015 වසරේ ලාභය වශයෙන් රැපියල් මිලියන 35 ක් මහාභාන්ඩාගාරයට ලබා දී ඇති බව පසුගියදා සමාගමේ වත්මන් සභාපති උපාලි පියසෝම මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් පැවසීය. ප්‍රධාන වශයෙන් පොල්, රබර් සහ විවිධ අතුරු භෝග නිෂ්පාදනය සහ සැකසීමෙහි යෙදී සිටින සමාගමක් වන මෙම සමාගමට කුරුණැගල, ගම්පහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක පුරා විහිදුන විවිධ කෘෂි දේශගුණික කලාපයන්හි පිහිටි පළාත් වතු යායන් 08ක් සතුව හෙක්ටයාර 4971 ක් පමන ඇත.

1992 වසරේ පිහිටුවන ලද පුර්ණ රජය සතු සමාගමක් වන කුරුණැගල වැවිලි සමාගම 2015 වසරේ සැප්තැම්බර් මස සිට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ මගපෙන්වීම යටතේ යහපාලන ක්‍රියාදාමයන් තුල ක්‍රියාත්මක වෙමින් මෙවැනි ලාභයක් ලැබීමට හැකි වු බවත් පසුගිය වසරේ එනම් 2016 වසරේ ලාභය මේ වන විට ගනනය කරමින් පවතින බවත් එය සමාගම් ඉතිහාසයේ ඉහලම කාර්යක්ෂමතාවය ලබාගත් වසර බවට පත්වනු ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.

ඒ අනුව සමාගමේ ප්‍රධාන නිෂ්පාදනය වන පොල් 2015 වසරේදී ගෙඩි මිලියන 14.06 ක් ව තිබු අතර එය 2016 වසරේදී ගෙඩි මිලියන 16.65 ක් දක්වා සියයට 18 ක වර්ධනයක් ලබා ගැනීමට හැකි වී ඇත. එසේම මෙම වසරේ කජු වලින් ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම වන රු. ලක්ෂ 61 ක් ලබාගත් අතර මෙම ආදායම 2015 වසරට සාපේක්ෂව සියයට 201 ක වර්ධනයකි. ගම්මිරිස් වගාවෙන් සමාගම මෙම වසරේදී රුපියල් ලක්ෂ 54 ක් ලබා ගෙන ඇති අතර එය පෙර වසරට සාපේකෂව සියයට 272 ක් වර්ධනයකි. රඹුටන් වගාවෙන් මෙම වසරේදී සමාගම රු. ලක්ෂ 61 ක් ලබා ගෙන ඇත. ඊට අමතරව සමාගමේ අනෙකුත් ආදායම් උත්පාදන මාර්ග වන රබර් ෂිට් නිෂ්පාදනය දැව විකිණිම පලතුරු භෝග වගාව ආදියෙන්ද සැලකිය යුතු වර්ධනයක් ලබා තිබෙනවා.

බොහෝ ආයතන සාර්ථකත්වයට පත්වීම සදහා එහි සේවක මඩුල්ල තීරනාත්මක සාධකයක් වනවා. එමෙන්ම කුරුණැගල වැවිලි සමාගමත් ලාභ ලබමින් දිනෙන් දින ඉදිරියට යාමට එහි පාලක මණ්ඩලය මෙන්ම 1235 වන සේවකයන්ද විශාල කැපවීමක් කරන බව සමාගමට අළුතින් එක්වු අති‍රේක සමාන්‍යාධීකාරී සුමිත් අත්තනායක මහතා පවසනවා.

පොල් වගාව ප්‍රධාන කොටගත් සමාගමක් උවත් ඔවුන් ඉන් නොනැවතී තවත් අතිරේක ආදායම් ලබා ගැනීම සදහා කුරුඳු, කොකෝවා, කෝපි, ගම්මිරිස්, අඹ, රඹුටන්, කොස්, පේර, ඩ්‍රැගන්පෘට්, ගස්ලබු ඇතුළු වගාවන් ගනනාවක් පවත්වාගෙන යනවා. තම භූමිය කළමානාකරණය කරමින් ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සදහා ඔවුන් අනුගමනය කරන සමහර ක්‍රමවේද ප්‍රශංසනීය බව පසුගියදා අප කල සංචාරයකදී දොඩම්ගස්ලන්ද වතු යායේදී අපට දැක ගන්නට ලැබුනා. එනම් සමහර වතු මැදින් අධි බලැති විදුලි රැහැන් ඇද තිබුනත් එම ඉඩම් අපතේ නොයවා ඒ යට අතුරු ඵලදාවක් ලබාගැනීම සදහා කුරුදු වගා කර ඉන් විශාල ආදායමක් ලබාගෙන තිබෙනු අපට දැකගන්නට ලැබුනා.

සමාගම වත්මන් සභාපතිතුමාගේ මග පෙන්වීමෙන් එහි සේවකයින්ගේ සුබසාධනයට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කර ඇති බව එහි ප්‍රධාන විධායක නිළධාරී සමරකෝන් මහතා පවසනවා. ඒ අනුව ආයතනයේ ලාභයට සමගාමීව සේවකයන්ගේ දිරි දීමනා වැඩි කරලීමටත් සේවක වැටුප රුපියල් හත්දාස් අටසියයකින් වැඩි කිරීමටත් කටයුතු කර ඇති බව ඒ මහතා පවසනවා. එපමනක්ද නොව රජයේ වෙනත් ආයතන මෙන් මෙම ආයතනය පවත්වාගෙන යාමටත් පඩි නඩි ගෙවීමටත් භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන නොමැති බවද ඒ මහතා පවසනවා.

කුරුණෑගල වැවිලි සමාගම මෙරට ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන ආදී පොදු පහසුකම් නැංවිම සදහා මහා භාන්ඩාගාරයට මුදල් ලබා දෙනවා සේම තම කාර්ය මණ්ඩලයේ සුභ සාධනය සදහාද අවශ්‍ය යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් සිටී. ඒ අනුව වතු සේවක නිවාස අලුතින් ඉදි කිරීමටත් තිබෙන නිවාස අලුතෙන් අලුත් වැඩියාවටත් රුපියල් බිලියන 4 ක් වෙන්කිරීමට කටයුතු කර ඇති බව වත්මන් සභාපති උපාලි පීරිස් මහතා පවසා සිටියා. එපමණක් ද නොව සමාගමේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් ඉදිරි වසර 5 ක් සඳහා නව සැලසුම් සකස් කිරීමට තමා අදහස් කරන බවත් ඒ සඳහා වැවිලි ක්ෂේත්‍රයට හා කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ අයගෙන් විශේෂඥ උපදෙස් ලබා ගැනීම සදහා දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

විශේෂයෙන් තම ආයතනය ලාභ ලැබීමට ප්‍රධාන වශයෙන් 2015 න් පසු වත්මන් පාලනය විසින් ආයතනය තුලින් දූෂණය වංචාව තුරන් කිරීම හේතුවක් බව පැවසු සභාපතිවරයා 2015 – 2016 වසරවල කිසිදු වංචාවක් වාර්ථා නොවීම සතුටට කරුණක් බවද පැවසීය. විශේෂයෙන් මීට පෙර කුරුණෑගල වැවිලි සමාගමේ ගිණුම් කටයුතු සහ විගණන කටයුතු විශාල වියදමක් දරා පෞද්ගලික ආයතන මගින් සිදු කරනු ලැබුවත් වත්මන් පරිපාලනය ගත් තීන්දුවක් අනුව 2015 වසරෙන් පසු රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ආයතනයේ විගණන කටයුතු විධිමත්ව කරගෙන යන අතර ඒ වෙනුවෙන් නිවැරදි මග පෙන්වීම ඔවුන් විසින් ආයතනයට ලබා දෙනු ලැබේ . 2015 පෙර පැවති අවිධිමත් පරිපාලනය, දූෂණය සහ නාස්තිය නිසා වැවිලි සමාගමේ ලාභ ඉතා අඩු තත්වයක තිබුනත් වර්තමාන සභාපතිවරයා ආදර්ශමත් ලෙස නිල නිවසක් පවා නොලබා තමාගේ පෞද්ගලික නිවාසයක පදිංචිව සිටිමින් අනවශය දීමනා ලබා නොගෙන ආයතනයේ දියුණුවට එම මුදල් යොදවා යහපාලන සංකල්පය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව සේවකයෝ පෙන්වා දෙති.

 

Check Also

සංචාරක පාරාදීසය අන්තෙටම වැටේ … 2017 මාර්තුවේ විදෙස් සංචාරක පැමිණීම අඩු මට්ටමේ

2017 මාර්තු මාසයේ ශ්‍රි ලාංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාවේ පහළ යෑමක් දක්නට ලැබෙනවා.2017 මාර්තු මාසයේ ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *