විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න එපා …මැතිවරණ කොමසාරිස් තනතුරට සුදුසු නෑ

0

විධායක ජනාධිපති ක්‍රමය කිසිවිටෙක ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් තමන් ඉල්ලා සිටින බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසයි.පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉල්ලා සිටියේ හැංගි හැංගි බැඳපු වෙස් මුහුණ ගැලවීමට පටන්ගෙන ඇති නිසා වැරැදි කළ පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කර තරාතිරම නොබලා දඬුවම් ලබාදී එදා මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ රටේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වංචා දූෂණ දෙස බලද්දී රටට විධායක බලය සහිත ජනාධිපතිවරයකු අවශ්‍ය බව තමන්ට වැටහෙන බවත් මීට පෙර තමන් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතු යැයි විශ්වාස කල බවද අවධාරණය කර සිටියා.

“රටට ආදරය කරන පුරවැසියකු ලෙස මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ මහජන මුදල් මහදවල් මංකොල්ල කෑ පිරිස් වහාම අත්අඩංගුවට ගන්න කියායි. මේ රටේ ජනතාව පොල්ගෙඩිය රුපියල් 100ට, හාල් කිලෝව 100 ගනිද්දී මැති ඇමැතිවරුන්ට සැප වාහන ගන්න නොවේ පැවතුණු ආණ්ඩුව එපා කියලා රටේ ජනතාව යහපාලනයට ඡන්දෙ දුන්නේ. මේ වෙනකොට ජනතාව ඉන්නේ කලකිරීමෙන්. මේ ගැටලුව විසඳන්න ජනාධිපතිට පුළුවන්.”

“මැතිවරණ කොමසාරිස්වරයාට ඔහුගේ තනතුර අමතක වෙලා. ඇයි ඔහුට බැරි දෙපැත්තට වැනෙන ප්‍රතිපත්තිය විසිකර බලය පාවිච්චි කර මැතිවරණ තියන්න.මෙවැනි පුද්ගලයන් මෙවැනි තනතුරුවලට සුදුසු නැහැ. රටේ ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ සෑම දෙයටම උද්ඝෝෂණ තියෙන ඔබට දැන් සිදුව තිබෙන්නේ සර්වජන ඡන්ද අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කිරීමට වීදි බහිමු කියලා.”