කැරැල්ල ඉවර වෙලා දැන් අවුරුදු 8ක්….සියලු එල්ටීටීඊ රැදවියන් නිදහස් කළ යුතුයි…

0

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්තඩංගුවට ගෙන නිදහස් කරනු ලැබූ එල්ටීටීඊ සාමාජිකයන් කිසිවෙක්ගෙන් මෙතෙක් හානියක් සිදු වී නොමැති බවත් එම නිසා නීතිමය ප්‍රශ්න නොමැති සියලු එල්ටීටීඊ රැදවියන් නිදහස් කළ යුතු බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය  හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන සාකච්ඡා පැවැත්වුණා මීට කලින්. එතනදි මමත් දරපු ස්ථාවරය වෙන්නේ නීති ප්‍රශ්න තියන අය හැර අනික් අය නිදහස් කළ යුතුයි කියන එක. බොරුවට තියා ගෙන ඉදලා වැඩක් නෑ. මොකද අතීතයේ ඉදලා බැලුවොත් එහෙම නිදහස් කරපු කට්ටියගෙන් එහෙම හානියක් වුණේ නෑ ලේසියෙන්. නමුත් නඩු වලින් නිදහස් වෙච්චි කට්ටියගෙන් හානිවෙලා තියනවා. ජනතා විමුක්ති දෙවෙනි කැරැල්ලේදි පළමුවෙනි කැරැල්ලෙන් නිදහස් වෙච්ච කට්ටිය තමයි ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව මතවාද ගොඩනැගුවේ. එල්ටීටීඊ එකෙත් එහෙමනේ. බලන්නකෝ අර කාන්තා නායිකාව කියපු කතා. ඒනිසා මම කියන්නේ නිදහස්කළ යුතුයි අනිත් කට්ටියගෙත් නීතිමය ප්‍රශ්න තියනවා නම් ඒවා අරගෙන ඉදිරියේදි අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතුයි. නීතිමය කටයුතු නැත්තම් නිදහස් කරන්න ඕනනේ. කොහොමද අපී තියාගෙන ඉන්නේ ත්‍රස්තවාදීන් කියලා. කොච්චර කල් තියා ගන්නද? දැන් කැරැල්ල ඉවරයිනේ. කැරැල්ල ඉවර වෙලා දැන් අවුරුදු 8ක්.” අමාත්‍යවරයා සඳහන් කර සිටියා.