සයිටම් ගැන තීරණය පමා වීම රටට හොද නෑ….! ත්‍රෛනිකායක මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

0

සයිටම් ගැටළුවට කඩිනම් පිළිතුරක් ලබා දීමට රජය අපොහොසත් වීම රටට එතරම් සුභදායක නොවන බව ත්‍රෛනිකායක මහනාහිමිවරුන් පවසා සිටිනවා.

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිට හා අගමැතිට ලිපියක් යොමු කරමින් ත්‍රෛනිකායක මහනාහිමිවරුන් මේ බව සඳහන් කරනවා.

සයිටම් අර්බුදයට කඩිනම් විසදුමක් ලබා දෙන ලෙසට රජයට බල කිරීමට මැදිහත් වන ලෙසට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය, සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංසදය විසින් මහනායක හිමිවරුන් වෙත ඉදිරිපත් කරනු ලැබු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම ලිපිය මහනායක හිමිවරුන් විසින් යොමු කර තිබෙනවා.

සියළු පාර්ශවයන්ට එකඟ විය හැකි විසදුමකට එලබෙන ලෙසටයි මහනායක හිමිවරුන් මෙහිදී රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේවන විට රජයේ පීඨාධිපතිවරුන් 08 දෙනා ඉදිරිපත් කර ඇති යෝජනා සැලකිල්ලට ගෙන සැමට පිළිගත ඒකීය විසදුමකට යාම මෙම ප්‍රශ්නය සඳහා ඇති හොදම ප්‍රායෝගික විසදුම බවයි මහනායකවරුන් රජයට යෝජනා කර සිටින්නේ.

මෙම අර්බුදය දැනට වෛද්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සඳහා පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයට පවා දැඩිව බලපෑම් ඇති කර ඇති බැවින් ඉතා ඉක්මන් විසදුමකට යොමු වීම සුදුසු බවයි මහනායකහිමිවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සිද්ධාර්ථ, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥාණරතන, අමරපුර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනාහිමියන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.