සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන

0

බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රකාශයකට එරෙහිව සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය, අපේ ජනමාධ්‍ය දැන් වැටී තිබෙන තුට්ටු දෙකේ තත්ත්වය පිළිබඳ මනාවූ සංකේතයකි. සමහරුන් එය ප‍්‍රවෘත්ති විකාශනය මැද්දට නිවේදකයකු හදිසියේ කඩා පැන කළ අහඹු ක‍්‍රියාවක් හැටියට පෙන්වන්නට උත්සාහ කළත්, එය පෙර සකස් කළ තිරපිටපතක් මත රූපගත කරන ලද්දකි. ඒ අනුව, අතිරේක නිවේදකයා මැද්දට කඩා පනින විට සිංහල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ ප‍්‍රවෘත්ති නිවේදකයා දැක්වූ විමතිය පවා තිරපිටපතේ තිබුණකි. අහඹු සිදුවීමක් නම්, සිරස නාලිකාවේ දෙමළ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙහිදීද ඒ විදියටම වෙන්නට හැකියාවක් නැත. අනෙක, කඩා පැන්න නිවේදකයා සිය පහත් පෙළේ බැන අඬගැසීම කරන විට පසුබිමෙන් බැසිල් රාජපක්‍ෂට අදාළ දර්ශන ප‍්‍රදර්ශනය වන්නටද ඉඩක් නැත.

බැසිල් රාජපක්‍ෂ යනු අන්ත දූෂිතයකු බව අලූතෙන් කිවයුතු නැත. එහෙත් එවැනි දූෂිතයකු අතින් වුණත්, සිරසට එල්ලවුණේ බලවත් චෝදනාවකි. එනම්, සිරස අයිතිකරු නීතිවිරෝධී ලෙසට අත යටින් විද්යුත් තරංග සංඛ්‍යාත හිමිකර ගැනීම ගැන චෝදනාවකි. ඒ චෝදනාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නමද ඈඳී තිබේ. මේ සිරිසේන ජනාධිපතිවරයාගේ හොඳ නමද කිලිටි වෙන බලවත් චෝදනාවකි. හරි නම්, එම චෝදනාව නැගුණු පසු, ජනාධිපතිවරයා ඒ ගැන විමර්ශනය කිරීමට බැඳුම්කර කොමිසම වැනි ජනාධිපති කොමිසමක් පත්කළ යුතුව තිබුණි. එසේ විණි නම්, ඇත්තටම සිදුවුණු දේ ජනතාවට දැනගත හැකිවන අතර, ජනාධිපතිවරයාගේ නමද පිරිසිදු කරගත හැකිය.

බැසිල්ගේ චෝදනාවට පිළිතුරු බඳින්නට අයිතියක් සිරසට තිබේ. එහි විවාදයක් නැත. සිරස කළ යුතුව තිබුණේ් ඔවුන් වෙනදා කරන හෙළිදරව් මෙන් කරුණු සහිතව ඇත්ත තත්ත්වය පැහැදිලි කොට බැසිල්ගේ චෝදනාවල බොරුවක් ඇත්නම් එය පෙන්වා දීමය. ඒ සඳහා පැය භාගයක, පැයක වැඩසටහනක් වුවත් වෙන්කරන්නට ඔවුන්ට හැකියාව තිබිණි. එහෙත්, ඒ වෙනුවට සිරස අයිතිකරු කළේ් සිය ජනමාධ්‍යවේදියකුගේ කලිසම් ගලවා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය අතරතුරදී කැමරාවක් ඉදිරියට දැමීමය. කොයිතරම් ප‍්‍රහාරාත්මක ඉරියව්වකින් කතාකළා වුණත්, ඒ මාධ්‍යකරු රට ඉදිරියේ හිටියේ නිර්වස්ත‍්‍රවය.

සිරස අපේ කාලයේ, රූපවාහිනී හා ගුවන්විදුලි මාධ්‍යයේ පෙරළියක් කළ අලූත් මාධ්‍ය ප‍්‍රවණතාවේ පුරෝගාමියාය. එතෙක් ගුවන් විදුලි සංස්ථාවේ සේවා අසමින් සිටි ශ‍්‍රාවකයන් වහා සිරස සමග එකතු වුණේ එහෙයිනි. එහෙත්, සිරස ආ ගමන් මග ගැන අතුරු කතාවක් පසුගිය දිනෙක අහන්නට ලැබුණි. ඒ කාලයේ තිබුණේ ගුවන් විදුලියත්, සිරසත් පමණකි. ගුවන් විදුලියේ ප‍්‍රචාරය කරන්නට වෙළඳ දැන්වීමක් ලැබිණි. ග්ලූකෝරස නමැති රසකැවිලි වර්ගයක් ගැන වූ ඒ දැන්වීමෙහි තැනක ‘ ඕයි’ යන වචනයද ඇතුළත්වී තිබුණි. ඒ වචනය නිසා ගුවන් විදුලිය එම දැන්වීම ප‍්‍රචාරය කිරීම ප‍්‍රතික්‍ෂෙප කළේය. ප‍්‍රචාරය සඳහා එම වචනය ඉවත්කර දැන්වීම ගෙනෙන ලෙස දැන්වීම්කරුවන්ට දන්වන ලදි. එහෙත්, සිරස වෙත ගෙන ගිය විට, නිමල් ලක්‍ෂපති ආරච්චි පැකිළීමකින් තොරවම දැන්වීම ප‍්‍රචාරය කිරීමට බාරගත්තේය. ගුවන් විදුලිය සිය ප‍්‍රමිතිය රැකගෙන පාඩුව විඳගත්තේය. සිරස ප‍්‍රමිතිය නොසලකාම ආර්ථික ලාභය ලබාගත්තේය. මේ තත්ත්වය යටතේ, එවකට ගුවන්විදුලි බලධාරීහු විජමු ලොකු බණ්ඩාර වැනි රජයේ මාධ්‍යවලට සම්බන්ධ දේශපාලකයන්ට මේ ප‍්‍රවණතාවේ ඇති අනාගත අඳුර ගැන කියා කිසියම් නියාමනයක් ඇරඹීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ. එහෙත් එදා දේශපාලකයෝත් අද අය මෙන්ම සිරසට බයෙන් හෝ හිතවත්කමෙන්, කිසිම පියවරක් නොගත්හ. ඒ නොකරහැරීමේ විපාකය අද සිය ගුණයකින් ලංකාවේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය වසාගෙන සිටින අඳුරක් බවට පත්වී තිබේ. මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යද අද පිස්සු කෙළින්නේ හරි හරියටය. ස්වයං නියාමනයකටවත්, රජයේ මැදිහත්වීමෙන් කෙරෙන නියාමනයකටවත් යනාදි කිසිම මාධ්‍ය නියාමනයකට ඔවුන්ගේ කැමැත්තක්ද නැත. පසුගිය දිනවල මාධ්‍ය නියාමනය සඳහා වූ පනත් කෙටුම්පතක් ගැන සාකච්ඡුා වන අවස්ථාවේද ඊනියා මාධ්‍ය නිදහස ඉදිරියට දමා ඊට එරෙහිව අවි අමෝරාගත් ප‍්‍රධානතම නාලිකාව සිරස වීම, එනිසා අහම්බයක් නොවේ.

මාධ්‍ය ප‍්‍රමිතිය අතින් අද සිරස වැටී තිබෙන තත්ත්වය ලජ්ජා සහගතය. ඒ සියල්ල සිදුවී තිබෙන්නේ, අයිතිකාරයාගේ මනදොළ සපුරන්නට, ඔහුට වුවමනා විදියට සිරස පාවිච්චි කරන්නට යෑම නිසාය. කිසිවකුට පහර දෙන්නට සිරස අයිතිකරුට වුවමනා වුණු විට, ඒ සඳහා මුදාහැරිය හැකි දඩබල්ලන් වැනි මාධ්‍යවේදී පිරිසක් සිරසේ සිටිති. අයිතිකරුගේ සිත පහදවා ගැනීම සඳහා තම මාධ්‍ය ප‍්‍රමිතීන් නොසලකා ඕනෑම වැඩක් කරදෙන්නට මේ පිරිස සූදානම්ය. සාමාන්‍යයෙන් ටෙලිවිෂන් නිවේදකයකු නිවේදනය කරන්නේ කැමරාව දිහා බලාගෙනය. එවිට, පේ‍්‍රක්‍ෂකයාට පෙනෙන්නේ නිවේදකයා තමා දෙස කෙලින්ම බලමින් අමතන බවකි.

එහෙත්, මෙවැනි මාධ්‍යවේදීන් ඇත්තටම නම් අමතන්නේ පේ‍්‍රක්‍ෂකයාට නොවේ. සිය හාම්පුතාටමය. ‘සර්, අද මම හොඳයි නේද? සර් මට කැමතියි නේද?’ නිවේදකයා ඒ මොහොතේ හාම්පුතාගෙන් යටි හිතෙන් අසන ප‍්‍රශ්න ඒවාය. ඔහුට හොඳ විය හැක්කේ, හාම්පුතාගේ කැමැත්ත අනුව හැසිරීමෙනි. මේ සඳහා තමන්ගේ ස්වාභාවික දෛනික ජීවිතයේදී කවදාවත් භාවිත නොකරන තරමේ විකාරරූපී, දුටුවන් හිනාගස්සන, අමුතුම හැසිරීම් හා අංගචලනයන් පවා ආරෝපණය කරගන්නට ඔවුන්ගේ කිසි පැකිළීමක් නැත. ඒ නිසා ඔවුන්ගේ වැඩසටහන්වල පෙනීඉන්නෝ ඔවුහුම නොවෙති. අයිතිකරු විසින් නූල් සූත්තරවලින් නටවනු ලබන රූකඩ සදිසි මාධ්‍යවේදී ප‍්‍රතිරූපකයන් පිරිසකි.

ජනමාධ්‍ය ආයතන හිමි අය, තමන්ගේ වුවමනා එපාකම් අනුව සිය මාධ්‍ය පාවිච්චි කරනවාය යන්න ලෝකයේ මෙන්ම ලංකාවේද අලූත් දෙයක් නොවේ. විද්‍යුත් මාධ්‍යවලදී මෙන්ම මුද්‍රිත මාධ්‍යවලදීද ඒ පාවිච්චිකිරීම හොඳින් සිදුවෙයි. අයිතිකරුගේ වුවමනාව තේරුම් ගන්නා මාධ්‍යවේදීන්, ඒ් වුවමනා එපාකම් අනුව හැසිරෙන්නට වීමද පුදුමයක් නොවේ. එසේ සිත පහදවාගත් පමණින් හාම්පුතාගෙන් පඬුරු පාක්කුඩම් හා දේශපාලන ලෝකයට ඔසවා තැබීම වැනි වෙනත් වරදාන යහමින් ලැබේ. එහෙත් එවිට, ජනමාධ්‍යවේදියෝ, මහාචාර්ය නලින් ද සිල්වාගේ වචනයකින් කිවහොත් ‘ජඩ’ මාධ්‍යවේදීන් බවට රූපාන්තරණය වෙති.

ප‍්‍රස්තූත සිද්ධියේදී සිරස හැසිරීම වූකලි අයිතිකරු විවේචනය කරන්නට එන ඕනෑම කෙනකුට සිරස දක්වන වෛරී ප‍්‍රතිචාරය ගැන ඉඟියකි. අනතුරු හැඟවීමකි. ටෙලිවිෂන් නාලිකාවක ඉතාමත් වැදගත් වැඩසටහන ලෙස සැලකෙන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය තම පොද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් අපයෝජනය කිරීමකි. පේ‍්‍රක්‍ෂකයන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතියද උල්ලංඝනය කිරීමකි.

ඒ සිද්ධියෙන් අනතුරේ වැටුණු අනෙකා ඒ නිවේදකයාය. අයිතිකාරයා වුණත්, කරන්නට අණ කරන දේ තමන් විසින් අවම තරමින්වත් පවත්වාගත යුතු ප‍්‍රමිතීන්ට අනුකූලදැයි කිරාමැන බලන්නට තරම් අවදියක් මාධ්‍යකරුවකුට තිබිය යුතුය. එයද ගිලිහී ගිය තැන ඉතිරිවන්නේ මාධ්‍ය ප‍්‍රතිරූපකයකු විනා අනෙකෙක් නොවේ. මෙහිදී අයිතිකරුගේ වුවමනා එපාකම් ඉටුකරන්නට ගොස් මුළු රටම ඉදිරියේ නිර්වස්ත‍්‍ර වුණේ ඒ නිවේදකයාය.

ජනමාධ්‍ය වටා රැඳී තිබෙන්නේ අතිවිශාල සිවිල් බලයකි. මුද්‍රිත ජනමාධ්‍යවලටත් වැඩියෙන් විදු ජනමාධ්‍යවලට ඒ සිවිල් බලය තිබේ. විද්‍යුත් මාධ්‍යවලින්, ගුවන්විදුලියට වඩා ටෙලිවිෂන් මාධ්‍යයට ඒ බලය තිබේ. මේ විශාල සිවිල් බලය නිසා, ජනමාධ්‍යවල වැරදිවලට එරෙහිව කතාකරන්නට කිසිවෙක් කැමති නොවෙති. නැතිනම් බිය වෙති. එක්කෝ ඒ මාධ්‍ය තමන්ගේ වැඩවල ප‍්‍රචාරයට අවශ්‍ය නිසා ඔවුහු නිහඬය. නැතිනම් මාධ්‍යයට ඇති බය නිසා නිහඬය. ඒ පසුබිම මත තම සිවිල් බලය ඕනෑ ඕනෑ විදියට පාවිච්චි කරන්නට පුළුවන්යැයි මාධ්‍ය ආයතනත් ඒවායේ හිමිකරුවෝත් සිතති. ඔවුන්ට ආචාර ධර්ම නැත. කිසිවකු තමන්ගේ ආචාර ධර්ම ගැන කතාකරනවාට කැමති ද නැත. භික්‍ෂු ප‍්‍රතිරූපකයන් ඉවත් කොට ශාසනය පිරිසිදු කරගැනීම බුද්ධ ශාසනයේ කාරියකි. මිනීමරුවන් ඉවත් කොට හමුදාව පිරිසිදු කරගැනීම හමුදාවේ කාරියකි. දූෂිත විනිසුරුවරුන් ඉවත්කොට අධිකරණය පිරිසිදු කරගැනීම අධිකරණයේ කාරියකි. එලෙසම, මාධ්‍ය ප‍්‍රතිරූපකයන් ඉවත්කොට මාධ්‍ය පිරිසිදු කරගැනීම මාධ්‍යවල කාරියකි. එහෙත්, මේ සියලූ දේවල් සර්වකාලීනව අසාර්ථක වී තිබේ. ස්වයං නියාමනය ගැන නැවත හිතා බැලිය යුත්තේද ඒ නිසාය.

බැසිල් රාජපක්‍ෂ වැනි අන්ත දූෂිතයකුට එල්ල කළ නිසා මේ ප‍්‍රහාරය ගැන සමහරුන් අද සතුටු වන්නට පුළුවන. එහෙත්, එවැනි දූෂිතයකු වුවද මෙවැනි පහත් පෙළේ ප‍්‍රහාරයකට ලක්කිරීම වූකලි අධම මාධ්‍ය භාවිතාවකි.

කේ ඩබ්ලිව් ජනරංජන

රාවය

රාජපක්ෂලගේ දේශපාලනය කුජීත කලේ බැසිල්….. අඩෝ….මේ මොනවාද කියන්නේ…ජනතාව එලවා දමන්නට පෙර ඇමරිකාවට යන්න….සිරස මාධ්‍ය භාවිතය???