රුසියානු විප්ලවයට සියවසයි, සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?

1

‘රුසියානු විප්ලවයට සියවසයි, සමාජවාදයද? ම්ලේච්ඡත්වයද?‘ යන තේමාවෙන් සම්මන්ත්‍රණයක් ඔක්තෝබර් 17 වැනි දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධානය කර තිබිණි.

මෙම සම්මන්ත්‍රණයේ අදහස් දැක්වීම සදහා එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා, එක්සත් සමාජවාදී පක්ෂ නායක සිරිතුංග ජයසූරිය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ නායක එස්. කේ. සෙන්දිවේල්, සමාජවාදී පක්ෂයේ මහින්ද දේවගේ, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා උද්ඝෝෂකයෝ සංවිධානයේ දිනුක සපුතන්ත්‍රී, ප්‍රෑක්සිස් සාමූහිකයේ විදර්ශන කන්නන්ගර එක්ව සිටියහ.

එම සම්මන්ත්‍රණයේ දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් කළ අදහස් දැක්විමයි මේ.

“කාල්මාක්ස් සහ ෆෙඩ්‍රික් එංගල්ස් කොමියුනිස්ට් ප්‍රකාශනය ආරම්භක වාක්‍ය ලිව්වා, ‘අවතාරයක් යුරෝපය පුරා හොල්මන් කරයි, ඒ කොමියුනිස්ට්වාදයේ අවතාරයයි‘ කියලා.

රුසියානු විප්ලවයට අවුරුදු සීයක් පිරෙන මේ අවුරුද්දෙ ජනවාරි මාසෙ ධනවාදය වෙනුවෙන් තදින්ම පෙනී සිටින දෘෂ්ටිවාදයේ වාහකයකු ලෙස ධනවාදයේ ආරක්ෂකයකු වන ද ඉකොනොමිස්ට් සගරාවෙ ලිපියක් ලියන ඒඩ්‍රියන් වුල්ඩ්‍රිච් කියන දක්ෂිණාංශික ලේඛකයකු දෛවෝපගත ලෙස අවතාරයක් ගැන ලිව්වා, ඔහු ලියු දේ සිංහලට පරිවර්තනය කලොත් අදහස මේකයි. “අර්බුදය උග්‍ර වී ඇත. කැරලිකාරිත්වයක් යළි මෝරමින් ඇත. රුසියාවේ විප්ලවයක් ඇති කළ තත්වය සහ වත්මන් තත්වය අතර ඇති සමානකම සිත් කරදර කරවන තරම්ය. ඒ තරමට ඒ තත්වයන් දෙක සමානය.“ ඔහු ලිපිය අවසානයේ ඒඩ්‍රියන් වුල්ඩ්‍රිච් ලියනවා, ලෝකය පුරා අවතාරයක් හොල්මන් කරයි, ඒ රුසියානු විප්ලවයේ අවතාරයයි“ කියලා.

අවුරුදු 150කට පස්සෙ මාකාස් එංගල්ස් ලියපු දේ නැවත කියන්නට වෙලා තියෙනවා ධනවාදී ආර්ථිකයේ හොරනෑ වශයෙන් පාවිච්චි කරන ඉකොනොමිස්ට් සගරාවෙ ධනේශ්වර ලේඛකයන්ට. ඒත් එක්කම කොමියුනිස්ට් ප්‍රකාශනයේ මුල් වාක්‍ය ලියලා මාක්ස් සහ එංගල්ස් මෙහෙම ලියනවා.

“ පාප් වහන්සේ සහ සාර් රජුද මෙටර්නික් සහ ලීසෝද් ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරැවෝද යන මේ පැරනි යුරෝපයේ සියලු බලවේග මෙම අවතාරය පලවාහැරීම පිණිස ශුද්ධ වූ ගිවිසුමකට එළඹ සිටිති.“

අද ලංකාව දිහා බැලුවත් මේකම තමයි තියෙන්නෙ. ආගමික ප්‍රභූ තන්ත්‍රය, රනිල්, මෛත්‍රී, මහින්ද, ව්‍යාජ වාම වෙස් පැළද ගත්ත අවස්ථාවාදින්, ධනවාදයේ තෝල්කයෝ, නවලිබරල් ධනවාදය හොදයි කියමින් මුලු දවසපුරාම මූණුපොතේ කුරුටුගාන ධනේශ්වර දෘෂ්ටිවාදින්, ධනේශ්වර මාධ්‍ය යන මේ හැම දෙනාම රුසියානු විප්ලවයේ අවතාරය එළවා දැමිම සදහා ශුද්ධ වු ගිවිසුමකට එළඹ සිටිනවා. ඒ ගිවිසුම විවිධාකාරයෙන් යනවා. රුසියානු විප්ලවයට උපහාසාත්මක විකට කතා පටබැදීමේ ඉදලා අගමැති රනිල් වික්‍රමසිංහ රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සමරන තැන දක්වා විවිධ පරාසයක සිට රුසියානු විප්ලවයට පහරදෙමින් ඉන්නවා. ඒ සැමරීමත් පහරදීමක්. ඒ තමයි රුසියානු විප්ලවයේ තිබුනු ජීවයට එහි සාරයට ලංකාවෙ ධනපති පන්තිය පහර දෙන විධිය. අපි හිතනවා වාමාංශිකයන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා සහ වගකීමක් තියෙනවා කියලා රුසියානු විප්ලවය ආරක්ෂා කිරීමට. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අප හිතනවා රුසියානු විප්ලවය කියන්නෙ මේ ඉතිහාසයේ සිදුවුනු විශිෂ්ටතම සිදුවීමක් කියලා.

වෙනත් විප්ලව සිදුවුණා. 1640-49 අතර එංලන්ත විප්ලවය සිදු වුණා. 1776-83 අතර අමෙරිකානු විප්ලවය සිදුවුණා. 1789 ප්‍රංශ විප්ලවය සිදුවුණා. 1861න් පටන් අරන් 65 දක්වා දෙවන අමෙරිකානු විප්ලවය සිදුවුණා. ලෝකය විප්ලවවලින් ගහනයි. ජනතාවගෙ විප්ලවකාරී නැගිටීම්වලින් ඉතිහාසය පිරිලා තියෙනවා. ඒ සියලු නැගිටීම් අතරින් ඉතිහාසයේ අතිවිශිෂ්ටතම නැගිටීම ලෙස අපි පිළිගන්නවා. ඒක අතිවිශ්ෂට සිදුවීමක් ලෙස අපි කියන්නෙ සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙ ඒක පීඩාවට පත් ජනතාවගෙ පැත්තෙන් ගත්තත් අතිවිශිෂ්ට සිදුවීමක්, සමාජ සංවර්ධනය අතින් ගත්තත් ඒක අතිවිශිෂ්ට සිදුවීමක්. 20 වැනි සියවස මුල ධනවාදයෙන් ලෝක යුද්ධයෙන් හෙම්බත් වෙලා හිටපු ජනතාවට රුසියානු විප්ලවය විකල්පයක් වූයේ කෙසේද ඒ තරමටම එහි ආකෘතිය හෝ විප්ලවයෙන් පසුකාලීනව ගමන්ගත් මාර්ගයත් නෙවෙයි, විප්ලවයට පදනම් වූ මූලධර්ම අදටත් ජනතාව ඉදිරිපිට ආදර්ශයක් ලෙස තියෙනවා. සමාජය සංවර්ධනයක් ගැන හිතනවා නම් රුසියානු විප්ලවය තමයි විශිෂ්ටතම සොයාගැනීම. මිනිස් සමාජය නැවත තිරිසන්භාවයට ඇද වැටෙනවට වඩා මනුෂ්‍ය සමාජයක් බවට පත්කිරීමේ මාවත පෙන්වුවේ රුසියානු විප්ලවයයි.

ඒ වගේ විශිෂ්ට ආරම්භයක් ගත්ත සියවස අවසානයේ අද අපි ඉන්නෙ මිනිස් ඉතිහාසයේ සංකීර්ණතම ප්‍රශ්න සහ අභියෝග බහුල කාලයක. ඒ වගේම විනාශයක් ඉදිරිපිට අපි ඉන්නෙ. ඒ ගැන උධාහරණ ඕන තරම් තියෙනවා. ආර්ථික ක්ෂේත්‍රය ගත්තම සමාජයේ පහළ පන්තියේ කුස්තියට ගියොත් බලාගන්න පුලුවන් මොන වගේ අර්බුදයකද අපි ඉන්නෙ කියලා. ඒක රජයේ සංඛ්‍යාලේඛනවලිනුත් කියැවෙනවා. රජයේ සංඛ්‍යා ලේඛන කියනවා මේ රටේ ස්ත්‍රීන්ගෙන් තුනෙන් එකක් නීරක්තියෙන් පෙළෙනවා කියලා. ඒකට හේතුව තමයි අතට හම්බවෙන සොච්චමෙන් දරුවන්ට කන්න දීලා දංකුඩ කාලා තමයි වැඩට එන්නෙ. 2015 වසරෙ ලංකාවෙ සිදුවු මරණ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත්කර තිබෙනවා. ඒ වාර්තාවෙ කාන්තාවන් මියගිය හේතු සාධක පෙලගස්වා තිබෙනවා. එයින් පළවෙනි හේතු ගණනාවම බැදිලා තියෙනවා පෝෂණ ඌණතාවය සමග. ලංකාවෙ කවුරුත් බඩගින්නෙ මැරෙන්නෙ නෑ කියලා කිව්වට ස්ත්‍රීන් මියගිහින් තියෙන්නෙ ඒ හේතුව නිසා පෝෂණ ඌණතා නිසා කියලා සෞඛ්‍ය අමාත්‍යංශය කියනවා. හැම පැත්තක්ම දැවැන්ත අර්බුදයකට ගිහින්.

ලෝක පරිමාණ අර්බුදය තුළ ලංකාව පෙන්වන තත්වය උදාහරණ විදියට ගත්තොත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය අතින් ලෝකයේ දෙවැනි තැනට පත් වෙලා තියෙනවා. ලංකාව සියදිවි නසාගැනීම්වලින් පළවෙනි ස්ථානයට පැමිණ තියෙනවා. ගූගල් සර්ච් එකේ සේක්ස් හොයන රටවල් අතරින් පලවෙනි තැනට ලංකාව පත් වෙලා තියෙනවා. විනෝදාස්වාදය හෝ ලිංගිකත්වය පිළිබද පවතින සොබාවික පෙළඹුමෙන් එහාට ගිය විකෘතියක් ලෙස ඉදිරියට ගිහින් තිබෙන බවට සාක්ෂියක් ඒක. එහෙම තැනක සිට අපි මේ රුසියානු විප්ලවය ගැන කතා කරන්නෙ. 2015 සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ අවුරුදු 15ට අඩු ළමුන් ලක්ෂ 59ක් මියගිහින් තියෙනවා. එයින් 45%ක් මියගිහින් තියෙන්නෙ පෝෂණ ඌණතාව නිසා. බඩගින්නෙ මැරෙන විශාල පිරිසක් ජිවත්වන ලෝකයක් මේක. භාරතියාර් කියන තමිල් කවියා ලිව්වා, එක් මිනිසකු හෝ කුසගින්නේ තබයි නම් ලෝකය විනාශ කරමි මම කියලා. මේ එක් මිනිසෙක් නෙවෙයි අවුරුදු 15ට වඩා අඩු දරුවන් ලක්ෂ 59ක් අවුරුද්දකදි මරා දැමු ලෝකයක්. මේ ලෝකය සම්බන්ධයෙන් භාරතියාර්ගෙ අදහස අනුව එප එළඹීය යුතු නිගමනය මොකක්ද? රුසියානු විප්ලවය අන්න ඒ ප්‍රශ්නය තමයි මතු කරන්නෙ. දැනටමත් ජනතාව අත්පත් කරගෙන තියෙන අධ්‍යාපනය සදහා සෞඛ්‍ය සේවා සදහා ඇති අයිතිය වැඩිහිටි වයසේ විශ්‍රාම වැටුපක් සදහා ඇති අයිතිය යහපත් සේවා කොන්දේසි සදහා, ප්‍රමාණවත් වැටුපක් සදහා, ගෞරවණීය රුකියා කොන්දේසි සදහා ඇති අයිතිය මේ සියල්ල උදුරාගනිමින් ඉන්නවා. ඒ සමාජය සහ ආර්ථික පැත්ත.

පරිසරය පැත්තෙන් ගත්තොත් එක්තරා විද්‍යා අධ්‍යාපනික පුවත්පතක් ගෝලීය උණුසුම ගැන පළ කළ වාර්තාවකින් කියනවා ගෝලීය උණුසුම මේ විදියට පැවතුනොත් අවුරුදු සීයකින් පෘතුවිය මිනිස් වාසයට නුසුදුසු තැනක් වෙනවා කියලා. අවුරුදු සීයක් කියන්නෙ වැඩි කාලයක් නෙවෙයි, අපේ දරුවන්ගෙ පරම්පරාව නෙවෙයි නමුත් මුනුබුරු මිනිබිරියන්ගෙ පරම්පරාව වෙද්දි පෘතුවිය මිනිස් වාසයට නුසුදුසු තැනක් වෙන්නයි යන්නෙ. ගෝලීය උනුසුම වැඩිවෙන්නෙ මොකක් නිසාද? ඉතා පැහැදිලියි ධනවාදය විසින් වැඩි වැඩියෙන් ලාභ තරකරගැනීම සදහා සිදුකරන ආර්ථික කොල්ලය නිසා. අනාවැකි පල වෙලා තියෙනවා 2035 වෙද්දි මුහුදෙ ඉන්න මාලු සංඛ්‍යාවට වඩා වැඩිවෙනවා කියලා මුහුදෙ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය. වැඩි කාලයක් නෑ. ඒ නිසා මේ ලෝක පරිමාණයෙන් කතා කළත් ලංකාව ගැන කතා කළත් අපි දකිනවා කුණු කදුවලට යටවෙලා මිනිස්සු මැරෙනවා. දැවැන්ත සංහාරයක් සිදුවෙමින් තිබෙනවා. සාමාන්‍යෙයන් ස්වභාවික තත්වයන් යටතෙ ක්ෂිරපායින් වදවීම වසර මිලියනයකට සත්ව විශේෂ දෙකයි. නමුත් ධනවාදය ආරම්භ වෙලා ගෙවී ගිය අවුරුදු 350 ඇතුලෙ ක්ෂීරපායින් විශේෂ 80ක් සහමුලින්ම මිහිතලයෙන් වදවී ගිහින්. වසර මිලියනයකට විශේෂ දෙකක් කියන එක ධනවාදය යටතේ වසර මිලියන ගනනාවක විනාශයක් අවුරදු 350කදි කරලා. මේ විනාශයන් ආපසු හරවන්නෙ කොහොමද? මේ ප්‍රශ්නවලට උථ්තර දෙන්නෙ කොහොමද?

ධනවාදය විසින් ඖෂධ මාෆියාවෙන් හරි මන්දපෝෂණය නිසා අපේ ශරීරයට කළ විනාශයන්ට වැඩි විනාශයක් කරලා තියෙනවා අපේ ආත්මයන්ට. අපේ ආධ්‍යාත්මයට අපේ සංස්කෘතියට විනාශයක් කරලා අපිව නරුමත්වයට ඇද දමා තියෙනවා. නරුමත්වය ව්‍යුහගතකරලා ඒක සොබාවික කර තිබෙනවා. ඒ කොතරම්ද කියනවා නම් මියන්මාරයෙ ඉදලා ආව මුහුදෙ ගිලෙන්න නොදී බේරිලා ආව එක වෙනුවට මැරෙන්න දෙන්නයි තිබුනේ කියන කොට ඒ අදහස පොඩි පිරිසක් නෙවෙයි ලක්ෂ ගණනක් පිලිගනු ලබන ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් වෙලා. එහෙම දෙයක් හිතන්නවත් පුලුවන්ද කියලා කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නෙ නැති ගිලිලා මැරෙන්නයි දෙන්න තිබුණෙ ඇයි ලංකාවට ගෙනාවෙ කියලා ප්‍රශ්න කරන එක ස්වභාවික ප්‍රශ්න කිරිමක් කියලා හැගෙන තරමට අධ්‍යාත්මයන් විනාශ වෙලා. කන්න නැතිව හාරිරිකව වැනසෙනවට වඩා ආධ්‍යාත්මිකව විනාශයක් සිදුකළ නරුමත්වය පෝෂනය කර තිබෙනවා.අ පේ අධයාපත්මය, සංස්කෘතිය විනාශ කර තිබෙනවා. ම්ලේච්ඡත්වය වශුහගත කර තිබෙනවා.

ම්ලේච්ඡත්වයෙන් සියවසක් ගෙවන්න වෙලා තියෙනවා. 1890 ගණන්වලදි එංගල්ස් ප්‍රශ්නයක් ඇහුවෙ අපි ඉන්නෙ මංසන්ධියක යන්නෙ සමාජවාදයටද නැත්නම් ම්ලේච්ඡත්වයටද කියලා. සියවසකටත් කළින් ප්‍රශ්නය ඇහුවෙ. සියවසකට කළින් උත්සාහයක් දරනු ලැබුවා. රුසියානු විප්ලවය උඛ්සාහ කළා. හැබැයි අපට ගෝලීය පරිමාණයෙන් සමාජවාදය යථාර්ථයක් බවට පත් කරන්න බැරි වුණා. සියවසක් තිස්සෙ අපි ම්ලේච්ඡත්වයට ගියේ. ඒ නිසා හඒ සියවසෙන් පස්සෙ දැන් හරි එයින් මිදීම සදහා අපට මොනවද තියන විකල්ප, අපට විකල්පය ලෙස හමුවෙන්නෙ සමාජවාදය.දැන් වාමාංශිකයෝ සමාජවාදයට පක්ෂපාත වෙන්නෙ ලෙනින්ගෙ රැවුල දැකලා ඒකට ආසා හිතිලා නෙවෙයි. මාක්ස්වාදී කෘතිවල තියෙන බුද්ධිමය සම්ප්‍රදායන්ට වශී වෙලා බුද්ධිවාදයට ගිහිල්ලා නෙවෙයි. මිනිස්සු පාරවල්වල අරගල කරනවා දැකලා ඒ විප්ලවීය අරගල ගැන අනුරාගික වෙලා ඒවට චූන් වෙලා නෙවෙයි මේ සමාජවාදය ගැන කියන්නෙ. සමාජවාදය තමයි විකල්පය, විසදුම කියලා කියන්නෙ අපට දැනෙන විදියට අපට හැගෙන විදියට හදවත ගැහෙන මිනිස්සු විදියට මේ මොහොතේ අප මුහුණ දෙන අභියෝගය අනුව විකල්පය තියෙන්නෙ සමාජවාදයෙන් කියලා අපට තහවුරු වෙලා තියෙන නිසා. විවිධ වාමාංශික පක්ෂ වාමා කණ්ඩායම් අප අතර වෙනස්කම් තිබියදී අපි හැමදෙනාම සමාජවාදය තමයි විකල්පය කියලා කියන්නෙ ඇයි. ඒක තමයි අපට ඇති විකල්පය කියලා තහුවරු වෙලා තියෙන නිසා. මේ සභාවෙ වාඩිවෙලා ඉන්න ඔබත් ඒක විශ්වාස කරනවා ඇති. නමුත් අවුරුදු 100කට කළින් සිදුවුනු රුසියානු විප්ලවය කෞතුකාරයක තියලා සමරන කෞතුක වස්තුවක් හෝ පුරා වස්තුවක් නෙවෙයි. රුසියානු විප්ලවය කියන්නෙ අදටත් ජීවමාන තත්වයක්. ඒ විප්ලවය තමයි අපට ආලෝකය, ආදර්ශය සපයන්නෙ. ඒ රුසියානු විප්ලවයෙ පරමාදර්ශ තුල තමයි අපට මේ සිදුවන විනාශයට උත්තර හොයන්න වෙන්නෙ.

ඒ නිසා තමයි ඉකොනොමිස්ට් සගරාවෙ ලේඛකයට ලියන්න වෙලා තියෙන්නෙ ‘ලෝකය පුරා අවතාරයක් හොල්මන් කරයි, ඒ රුසියානු විප්ලවයේ අවතාරය කියලා.“ මම දන්නෙ නෑ ඒඩ්‍රියන් වුල්ඩ්‍රිච් කොමියුනිස්ට් ප්‍රකාශනය කියවලා තියෙනවද කියලා. කියවලා හෝ කියවා නැතිව ඔහුට ඒක ලියන්න සිදුවෙලා තියෙනවා. දැන් අපි ඉදිරිපිට අභියෝගයක් තියෙනවා. දැන් අපි මේ සම්මන්ත්‍රණය ගැන අපි අන්තර්ජාල දැන්වීමක් දැම්මම ඒකට අදහසක් පල කළ සහෝදරයෙක් ලියලා තිබුනා රුසියානු විප්ලවය ගැන කතා කරන එක හොදයි නමුත් ඒක වැටුණ එක ගැනත් කියනවද බලන්න මම එන්න ඕන කියලා. සමහර විට ඒ සහෝදරයා ඉන්නවද දන්නෙ නෑ, රුසියානු විප්ලවය මේ තරම් විශිෂ්ට ආරම්භයක් පරාජයන් සහ ඛේදවාචකවලින් අවසන් වුනේ ඇයි? ඒ ගැන විවිධාකාර අදහස් තියෙනවා. විවිධ වාමාංශික ධාරාවල අයට විවිධ විග්‍රහයන්, කතිකාවන් තියෙනවා. ඒ අතර වෙනස්කම් තියෙනවා. හැබැයි ඒ කතිකා හරහා තමයි මේ අල්ලගෙන ඉන්නෙ. දනගහන්නෙ නැතිව ඇද වැටෙන්නෙ නැතිව අල්ලාගෙන ඉන්න පුලුවන් වෙන්නෙ ඒ නිසා. ට්‍රොට්ස්කිවාදීන්ගෙ මාඕවාදින්ගෙ පශ්චාත් මාක්ස්වාදින්ගෙ බටහිර මාක්ස්වාදින්ගෙ නව මාක්ස්වාදින්ගෙ යනාදි වශයෙන් පැහැදිලි කිරීම් විවිධ කතිකාවන් තියෙනවා.

අපි හිතනවා ඒ ඔක්කොම මැද අපි මේ වත්මන් මොහොත සාර්ථක කරන්නෙ කොහොමද කියන අදහස තුල තමයි අප මේ සියලු කතිකාවන් නැවත සලකා බැලියයුතු වෙන්නෙ. එහෙම නැතිව තත්වයන් තිබූ පමණින් මිනිසාගෙ භෞතික ජීවිතයත් විනාශ වෙලා පරිසරයත් විනාශ වෙලා ආධ්‍යාත්මයත් විනාශ වෙලා තියෙද්දි බලාගෙන හිටියට විප්ලවවාදී පක්ෂය ගොඩනැගෙන්නෙ නෑ. ඒ නිසා ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරය යම් නිශ්චිත ආඛ්‍යානයකට කොටු කරනවට වඩා ඒ යම් ප්‍රශ්න කිරීමක්නෙ කලේ. ප්‍රශ්න කිරිමක් ආවෙ ඇයි කියලා හොයන බුද්ධි කලම්බනයකින් විසදුම් හොයනවා මිස ප්‍රශ්නය ඇහුව එක ප්‍රතිගාමියි කියන සම්ප්‍රදායෙන් ගියොත් අපට රුසියානු විප්ලවය අතීත සිදුවීමක් පමනක් වෙයි. ඒක අනාගතයට මග පෙන්වන්නක් බවට පත් වෙයි. රුසියානු විප්ලවය පිළිබද අපට තියෙන්නෙ දෘෂ්ටිමය පක්ෂපාතිත්වයක් විතරක් නෙවෙයි. ඒක අතිශයින් ගැඹුරින් එන පක්ෂපාතිත්වයක්. අපට රුසියානු විප්ලවය අදාල වෙන්නෙ වතාවතක් විදියට නෙවෙයි, අවුරුදු සීයක් පිරුනු නිසා මේ ගැන කතා කරන්න ඕන කියලත් නෙවෙයි. අද අපි මේ මොහොතෙ මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට අභියෝගවලට රුසියානු විප්ලවය අදාළ වෙන්නෙ කොහොමද කියන තැනින්. අපි හිතනවා ඒ සම්බන්ධව හිතන්න, සාකච්ඡාවක් ඇතිකරගන්න අවස්ථාවක් ලෙස රුසියානු විප්ලවයට සියවසක් පිරෙන එක යොදාගන්න පුලුවන්. මෙතැනදි ප්‍රවණතා කිහිපයක් තියෙනවා. එකක් තමයි වාමාංශිකයන් ලෙස අපි උත්සාහ කරනවා රුසියානු විප්ලවය අනාගතයට අදාළ කරගන්න ආකාරය ගැන හොයන්න, තවත් අය උත්සාහ කරනවා ඒක අතීත සිදුවීමක් ලෙස ඉතිහාසයට එකතු කරලා බී.එම්.අයි.සී.එච් එකේ සැමරුම් උත්සවයක් තියලා අමාත්‍යංශ මැදිහත් කරලා සංගීත සංදර්ශන පවතවන්න සහ අතීත සැමරුමක් බවට පත් කරන්න. අතීත සැමරුමක් කරනවා වෙනුවට වර්තමාන ප්‍රහ්නවලට පිළිතුරු සෙවීමක් බවට එය පත් කළ යුතුයි.

අන්න ඒ නිසා තමයි අප ඇද දමා තියෙන ප්‍රශ්නවලට, අභියෝගගවලට පිළිතුරු දෙන අවස්ථාව බවට පත් කළ යුතු. ඒ නිසා තමයි නිර්ධනයන්. වැඩකරන ජනතාව වැදගත් වෙන්නෙ. සහෝදරවරු ඒ ගැන කිව්වා. වැඩකරන ජනතාවගේ පක්ෂය වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. වැඩකරන ජනතාව, වැඩකරන ජනතාවගේ පක්ෂය වැදගත් වෙන්නෙ ඒ නිසා. රුසියානු විප්ලවය එක පැත්තකින් ඒ මහජන නැගිටිමක්. මහජන නැගිටිමකින් විතරක් වැඩක් වෙන්නෙ නෑ කියලා අරාබි වසන්තය විසින් ඔප්පු කළා. මහජන නැගිටිමක් හුදෙකලාව ගත්තම වැඩක් නෑ. මහජන නැගිටිමක් සමග සම්බන්ධ වෙනවා, සංවිධානාත්මක වැඩකරන ජනතාවගේ විප්ලවවාදි පක්ෂයක්. මහජන නැගිටිමකට සම්බන්ධ නැති පක්ෂයකිනුත් වැඩක් නෑ. රුසියානු විප්ලවය අපට වැදගත් වෙන්නෙ එක පැත්තකින් මහජන නැගිටිමකුත් ඒ නැගිටීම හා සම්බන්ධ විප්ලවවාදි පක්ෂයක් සහ ඒ පක්ෂයට මග පෙන්වන දියුනු න්‍යායක් යන සියල්ලේ එකතුවෙන් තමයි ඒ විප්ලවය සාර්ථක වුණේ. මහජන නැගිටීම කියන පැත්ත, විප්ලවවාදී පක්ෂය, විප්ලවවාදි බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම න්‍යායික මතවාදි අරගලය, වඩා නිවැරදි න්‍යායික ආස්ථානයක් කරා වමේ ව්‍යාපාරය ගෙනයාමේ අරගලය මේ සියල්ල ඒ සමග බැදිලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අප මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට නිර්ධන පන්තියට විසදුම් හොයන්න පුලුවන් කියලා.

ඒ නිර්ධන පන්තිය කියන්නෙ දැන් අප දකින නිර්ධන පන්තිය නෙවෙයි. අපි වෙනස් කරනු ලැබූ නිර්ධන පන්තියක් ගැන මේ කියන්නෙ. එහෙම නැත්නම් දැනටමත් නිර්ධන පන්තියට තමන්ගෙ ජිවන රටාවක්, තමන්ගෙම ව සංස්කෘතියක් සහ තමන්ගෙම ව පුද්ගලික අපේක්ෂා තියෙනවා. තමන්ගෙම වූ හීන තියෙනවා. හැබැයි ඒ සියල්ලම තියෙන්නෙ ධනවාදයත් සමග ගැටගැහිලා. තමන් ආශා කරන දේවල් තමන්ගෙ ජිවිත පැවැත්ම වෙනුවෙන් තෝරාගන් දේවල් මේ සියල්ල ධනවාදය සමග ගැටගැහිලා තියෙන්නෙ. එහෙම ගැටගැහෙන්නෙ නැති නිර්ධන පන්තියක් ගොඩනගන්නෙ කොහොමද කියන අභියෝගය අප ඉදිරිපිට තියෙනවා. දැන් මේ ලෝකයත් මිනිස් සංහතියත් මුහුන දී සිටින අබියෝගය ඉදිරිපිට උත්තරයක් හොයන්න ඒ සම්බන්ධව නිර්ධන පන්තියෙ සුදුසුකම පිළිබද ආසන්නම උදාහරන අපට තියෙනවා. පහුගිය දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවෙ ලොකු ප්‍රශ්නයක් ආවා. ඒ ප්‍රහ්නයේ මූලය මොකක්ද? ක්‍රීඩාව කියන එක මුලුමනින්ම වෙළද භාණ්ඩයක් බවට පත් වෙලා ඒක මුදල් හම්බ කරන සමාගම් අතර තරගයක් බවට පත් වෙලා ඒවට ඔට්ටු අල්ලලා ඔට්ටු දිනවන්න කණ්ඩායම් දුර්වල කරලා එහෙම ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඒ වගේ ප්‍රහ්නයකට උත්තර හොයන්නෙ කොහොමද? ක්‍රීඩාව, කලා, දර්ශනය, දේශපාලනය කියන ආධ්‍යාත්මික හා භෞතික සංසකෘතියෙ ඕනම දෙයක් ලාබ ලබන තැනට පටු නොකරන සමාජ පන්තියක් මේ වගේ දේවල් හැසිරවීමේ බලයට පැමිණීමයි විසදුම. ක්‍රීඩාව පත්ව ඇති ප්‍රශ්නයට විමුක්ති මාර්ගය තියෙන්නෙ නිර්ධන පන්තිය තුළයි. ඒ නිසා දැන් අපි තේරුම් අරගෙන තියෙනවා මේ ප්‍රශ්නවලට විසදුම් තියෙන්නෙ රුසියානු විප්ලවයේ පරමාදර්ශ ඇතුලෙ එහි මූලධාර්මික පදනම් තුල කියලා. එහෙමනම් පීඩාවට පත් වුණු ජනතාවට නිර්ධන පන්තියෙ අනෙකුත් කොටස්වලට සමාජයේ පහත මාලයට මේ කාරනය ඒත්තු ගන්වන්නෙ කොහොමද? එතැනදි අපට එක්සත්ව කල හැකි වැඩ කොටසක් තිබෙනවා. එක්සත්ව කළ හැකි වැඩ කොටස එකට කිරිම සදහා මේ වාම විවිධත්වයක් නියෝජනය කරන සියල්ලන්ටමත් අද මේ සංවාදයට එක්වන ඔබටත් අපි ආරාධනා කරනවා.

මේ අභියෝගයට මුහුණ දෙන්න අප සියලු දෙනා එකට එකතු වෙමු, ඒ අභියෝගයට මුහුණ දීම තුල තමයි මේ අවුරුද්ද ආරම්භයෙ ඉකොනොමිසට් සගරාවෙ ලේඛකයා කියපු විදියට, “කැරලිකාරිත්වයක් ඇති වෙමින් තිබේ දෙවැනි රුසියානු විප්ලයක් ඇති වීම සදහා වන තත්වයන් මොරා තිබේ“ කියලා ඒ ලේඛකයා කියන අදහස නිවැරදි කරලා ඔහුගෙ අනාවැකිය නිවැරදි එකක් බවට පත් කර ඔහුට ගෞරව කරමු කියන අදහස ඉදිරිපත් කරමින් මේ අදහස් දැක්වීම අවසන් කරනවා.

මාධ්‍ය ඒකකය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2017 ඔක්තෝබර් 18

1 COMMENT

  1. විප්ලවය ගැන පල් හෑලි, න්‍යාය කතා, ඥාන කතා වැඩක් නැහැ. මොකද රැසියාව ඔය කියන අාර්තික ක්‍රමය සමාජ ක්‍රමය රිජෙක්ට් කොරල ඉවරය්. අද රැසියාව අනුගමනය කොරන්නෙ රැසියන් ජාතිකත්ව යය්. ලෝකෙ කොය් රටේ ද ඔය කියන විප්ලවයෙන් පත් වෙච්ච රජයක් විප්ලවීය මූ ධර්ම අනුව සාර්කථව කොර ගන යන්නෙ? චීනයෙ කියුබාවෙ උතුරැ කොරයාවෙ අද කොර ගන යන්නෙ ධන වාදී අාර්තික රටාවන් නෙවෙය්ද?

Comments are closed.