මේ හදන්නේ ‘යුනයිටඩ් ශ්‍රී ලංකාවක්’ බිහිකරන්න…

0

‘යුනයිටඩ් ශ්‍රී ලංකාවක්’ බිහිකිරීමේ භයානක කුමන්ත්‍රණයක් පවතින බව ඉතා පැහැදිලි යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පවසයි.මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කලෙ ජාත්‍යන්තරය පිනවමින් එම රටවල ප්‍රසාදය දිනා ගැනීමේ අභිප්‍රායෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව මත බලහත්කාරයෙන් පැටවිමට යහපාලන රජය කටයුතු කරමින් සිටින බවයි.

“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පැහැදිලි ජනවරමක් වත්මන් රජය ලබා නොමැති බැවින්, ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා උනන්දු වන විට ජනාධිපතිවරයා පැහැදිලිවම කියා තිබුණේ, ජනමත විචාරණයකට යොමු කරන කවර යෝජනාවක් වුව තමාගේ මනාපයක් නොමැති බවයි. එසේ නම් ජනාධිපතිවරයා පවා අකැමැත්ත පළකර තිබෙන කවර හෝ යෝජනාවක් වුව අප විසින් පරාජය කළ යුතුයි.”

” 1972 නව ව්‍යවස්ථාව සකස් කරන මොහොතේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් එදා ව්‍යවස්ථාව භාර අමාත්‍යවරයා වූ ලංකා සමසමාජ පක්‍ෂයේ නියෝජ්‍ය නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා හමුවුණා. ද්‍රවිඩ ජනතාවගේ පාලනය යටතේ වෙනමම ප්‍රදේශයක් තැබීමට එදා ඔවුන් යෝජනා කළා. ‘සියලුම ජාතීන්ට ඇති සම අයිතිය පිළිගත යුතුය’ යන්න තදින්ම විශ්වාස කරන, සමසමාජ දේශපාලන දර්ශනය ගැඹුරින් ඇදහූ කොල්වින් ආර්. ද සිල්වා මහතා තමන් හමුවූ ද්‍රවිඩ පක්‍ෂ නියෝජිතයන්ට කරුණු පැහැදිලි කළේ, මධ්‍ය ආයතනයකින් නිකුත් කෙරෙන නීති පද්ධතියකින් තොරව, රට පාලනය කළහොත් ගැටලු රාශියක් රටේ නිර්මාණය වන බවයි. එමෙන්ම සුළුජාතීන්ට හිමිවිය යුතු සියලුම වරප්‍රසාද සහිතව, එක රටක ජීවත්වීමේ තිබෙන පහසුව එදා ඔවුන්ට එතුමා පෙන්වා දුන්නා. ඒ වගේම එතුමා ඒකීය රටක ජීවත්වීමේ ඇති අගයත් පැහැදිලි කර දුන්නා. ඒකීය රටක ජීවත්වීම මිස, පළාත් කිහිපයකින් සෑදුණු එක්සත් රටක් බිහිවීමෙන් ජාතික සමඟියට පිළියමක් නොවන බව, සම අයිතිය පිළිගත් උග්‍ර සමසමාජ පාක්‍ෂිකයකු වන එතුමා තම පක්‍ෂයේ මතය ඉවතලා රට ගැන සිතා එදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වුණේ නැහැ. වර්තමානයේ ඩොලර්වලින් යැපෙන ඇතැම් දේශපාලන නායකයන්ට ඒ බව නොවැටහීම ඉතාමත් කනගාටුවට කාරණාවක්.”