මට දැන් හැටයි…..රට බෙදන්න හැදුවොත් සටන් කරනවා……ඉස්පිරිතාලෙක බට ගහගෙන දුක්විඳිනවට වඩා පාරේ මැරෙන එකත් මට සතුටක්…

0

“මේක ජාතියේ ඉරණම තීරණය කෙරෙන කාලයක්. මේක අවසන් වන්නේ ශ්‍රී ලංකාව කියන රටේ ඉතිහාසයත් අවසන් කරලා වෙන්න පුළුවන්. මන්ත්‍රීවරුන් 76 දෙනකුගෙන් මේක බේරගන්න පුළුවන්. ඒ හින්දා මන්ත්‍රීවරුන්ට කියන්න ඕනේ පාවා දීලා ගමට එන්න එපා කියලා. මේ අපරාධය දෙස බලා ඉන්න බැරි අය ඒ අයට දඬුවම් දෙයි. මට දැන හැටයි. එහෙම කණ්ඩායමක් හැදුණොත් මමත් ඒකට සම්බන්ධ වෙනවා. ඉස්පිරිතාලෙක බට ගහගෙන දුක්විඳිනවට වඩා ඒ වගෙ අයත් එක්ක එකතු වෙලා පාරේ මැරෙන එකත් මට සතුටක්” යැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම අදහස් පළ කළේ වියත්මඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන ලද සම්මන්ත්‍රණයට ගම්පහ, වෙට් වෝටර් හෝටලයේ දී ඊයේ (22) එක්වෙමිනි.

මම මේ දවස්වල නින්දට යන්නේ පෝරකයට දින නියම වෙච්ච හිරකරුවෙක් වගේ. ඒ තරමට අසුබවාදී කාලසීමාවක් තමයි මේ ගෙවෙමින් තියෙන්නේ. අද රට ඉදිරියේ තියෙන අනතුර ගැන සමාජයේ අවබෝධය ඉතාම අඩුයි. අද අපි හැසිරෙන්නේ එදා සිරියාවේ, ඉරාකයේ, ලිබියාව වගේ රටවල සමාජය හැසිරුණු ආකාරයටමයි. අද ඒ රටවල්වලට වෙලා තියෙන දේ තමුන්නාන්සේලා දන්නවා.

ලංකාව කියන්නේ ලෝකයේ ආර්ථික සහ භූගෝලීය වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටා තිබෙන රටක්. ඒකම තමයි අද ජාත්‍යන්තර බලවේග අප රටට අත පොවන්න හේතු වෙලා තියෙන්නේ. මේක අද ඊයේ පැන නැගුණු සැලැස්මක් නොවෙයි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බෙදුම්වාදී උපාංගයක් ලෙස ෆෙඩරල් න්‍යාය ප්‍රචලිත කරන්න අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කළේ.

ඒ සඳහා තමයි චෙල්වනායගම් මහත්තයා එක්දහස් නමසිය පණස් ගණන්වල මැලේසියාවේ සිට මේ රටට පැමිණිලා ෆෙඩරල් පක්ෂය හැදුවේ. ඵෙතිහාසිකව ගත්තොත් ලෝකයේ බෙදාවෙන් කරන රටවල ඒ භූමියේ සිටින ජන කොටස් අතර ගැටුමක් අවුලවනවා. ඒ ගැටුම තමයි උපාංගය. ගැටුම පෝෂණය කරලා ඉවරවෙලා අන්තිමට ඒ ගැටුම නිරාකරණය කරන්න මැදිහත්වෙනවා.

බෙදීමට අවශ්‍ය මැදිහත්වීම කරන්න තමයි ප්‍රචණ්ඩත්වය යොදා ගන්නේ. ලෝක ඉතිහාසයේ මේ සඳහා ක්‍රමවේද දෙකක් යොදා තිබෙනවා. එකක් තමයි ගැටුම පාවිච්චි කරලා ආණ්ඩුවට මැදිහත් වෙලා ව්‍යවස්ථානුකූලව අනාගතයේ බෙදා වෙන් කරන්න අවශ්‍ය බලවේගයක් නිරිමාණය කිරීම. 1987 ජේ. ආර් ජයවර්ධනගේ අත කරකවලා අමෙරිකාවත් ඉන්දියාවත් මේ විදියට බලය ලබා ගත්තා.

ජේ. ආර්. ජයවර්ධන කවදාවත් බලය බෙදන්න හිටපු කෙනෙක් නොවෙයි. එතුමා හිතුවෙ මධ්‍යගත බලවත් ධනපති රාජ්‍යයක් හදන්න. එතුමා ඇතුළත්මුදලිව ඇදලා යුද්ධය කරගෙන ගියේ යුදමය විසඳුමක් දෙන්න. නමුත් ඉන්දියාව මැදිහත් වුණා. ඔහු අමෙරිකාව විශ්වාසය කළත් අමෙරිකාව පාවා දුන්නා. ඉන්දියාවත් අමෙරිකාවත් අතර හොඳ සහයෝගයක් තියෙනවා. ඔවුන් අතර විරසකයක් නැහැ.

දෙවෙනි ක්‍රමය තමයි ජාත්‍යන්තර මැදිහත් වීමකින් ජාත්‍යන්තර ගිවිසුමක් හරහා අර කියන බල ඒකකය නිර්මාණය කිරීම. සුඩානයේ දී ඒක කළා. සුඩානයෙත් අපේ වගේම සටන් විරාම ගිවිසුමක් අත්සන් කළා. ලංකාවෙදි වික්‍රමසිංහ මහත්තයා හැදුවෙ සටන් විරාම ගිවිසුම හරහා තාවකාලික ආණ්ඩුව කියන යෝජනාවක් ගෙනත් තවදුරටත් තහවුරු කරන්නයි. ලංකාවෙයි සුඩානයෙයි ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාදාමය අකුරක් නෑර එක සමානයි.

චන්ද්‍රිකා මැතිණිය වික්‍රමසිංහ මහත්තයට බැරි වෙච්ච දේ සුනාමි සහන මණ්ඩලය හරහා කරන්න උත්සාහ කළා. සුනාමි සහන මණ්ඩලයේ කොන්දේසි බැලුවොත් සුඩානයේ තාවකාලික ආණ්ඩුවට දුන්න බලතලවලට වඩා බලතල දීලා තියෙනවා. ඒකත් අසාර්ථක වුණා. දැන් මෙයාලා කරන්නේ නීත්‍යානුකූලව ලබා ගත් බලය භාවිතා කරමින් ගැටුමක් හදාගන්න තෙක් යම් දුරක් යනවා.

බෙදුම්වාදී මාර්ග සිතියමේ එක ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක තමයි ජාත්‍යන්තර ගිවිසුමකින් හෝ ව්‍යවස්ථාව හරහා එවැනි බල ඒකකයක් නිර්මාණය කිරීම. එතැන් සිට ගැටුම හරහා ගැටුම සමඟම නීත්‍යානුකූලව යම් දුරක් යනවා. එතැනින් එහා ටික නීතියට පිටින් යන්නේ ජාත්‍යන්තර මැදිහත් වීම මත. එතැනදී ව්‍යවස්ථාවේ ඒකීය කියලා තිබුණට වැඩක් නැහැ. එතැනි සිට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර නීතියට අනුවයි.

එදා ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචණ්ඩ විරෝධය හමුවේ ජේ. ආර්. ජයවර්ධන මහත්තයා ඉන්දියාව එක්ක ජනමත විචාරණයකට යන්න බැහැ කියන කේවල් කිරීම කළා. ඉන්දියාව ආවේ ව්‍යවස්ථාවක් හදන්නයි. ජේ. ආර් මැතිතුමා සමහර ඒවට එකඟ වුණේ නැහැ. 13 වැනි සංශෝධනය ඉන්දියාවේ තියෙවාටත් වඩා ෆෙඩරල් ව්‍යවස්ථාවක්.

මේ භයානක ෆෙඩරල් රාජ්‍යය අපි දැකලා නැහැ. විග්නේෂ්වරන්, සම්බන්ධන් වගේ ජාතිවාදී, බෙදුම්වාදී, කුලවාදී දුෂ්ඨ මිනිස්සු ඒ බලතල පාවිච්චි කරන හැටි. සම්බන්ධන්ලා වගෙ මිනිස්සුන්නට ඉඩම්, පොලිස් බලය දුන්නා නම් මොකද වෙන්නේ? ජේ. ආර් දාපු බාධක නිසා තමයි ඒක දකින්න වුණේ නැත්තේ. දැන් හදන්නේ ඒ බාධක ටික ඉවත් කරන්නයි.

විධායක ජනාධිපති ක්‍රමය හෝ බුද්ධ ධර්මයට හිමි තැන නැති කරන්න හරි මෙයාලට ඕනේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය තියෙන එක මෙයාලට වාසියි. ඒක යොදා ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකාධිපතියෙක් කියලා පෙන්වන්නයි. ඒක සටන් පාඨයක් පමණයි. බුද්ධාගම ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. මේ අපිව වෙන තැනකට තල්ලු කරන්න හදපු මාතෘකා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here