නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

0

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ස්වකීය මතය කථානායකවරයා වෙත දන්වා යැව්වේ ද? යන්න විමසා බලමු…

77 ව්‍යවස්ථාව මෙසේ ය.

 “77. (1) 82 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ සහ (2) වැනි අනුව්‍යවස්ථාවේ දැක්වෙන නියමයන් කඩවී ඇත්තේ ද යන වග ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේනියම කොට ඇති විශේෂ බහුතර ඡන්දයෙන් විනා නීත්‍යනුකූලව සම්මත කළ නොහැකි විධිවිධාන ඇතුළත් වී ඇත්තේ ද යන වග ද දැනගැනීම පිණිස සෑම පනත් කෙටුම්පතක් ම පරීක්ෂා කර බැලීම නීතිපතිවරයාගේ කාර්යය වන්නේ ය. මේ ව්‍යවස්ථාව යටතේ තම කාර්ය ඉටු කිරීමේ දීනීතිපතිවරයාට හෝ නීතිපතිවරයාට සහාය වන්නා වූ යම්කිසි නිලධරයෙක් වේ නම් ඔහුට හෝ ඒ කාර්ය ඉටු කිරීමට අවශහ් සියලු පහසුකම් සැලසිය යුත්තේ ය.

(2) යම්කිසි පනත් කෙටුම්පතකින් 82 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ සහ (2) වැනි අනු ව්‍යවස්ථාවේ දැක්වෙන යම්කිසි නියමයක් කඩ වී ඇති බව නීතිපතිවරයාගේ මතය වේ නම්, එසේ නැතහොත් යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කොට ඇති විශේෂ බහුතර ඡන්දයෙන් විනා නීත්‍යනුකූලව සම්මත කොට ගත නොහැකි බව නීතිපතිවරයාගේ මතය වේ නම්, එකී මතය නීතිපතිවරයා ජනාධිපතිවරයාට දන්වා යැවිය යුත්තේ ය

එසේ වුව ද, පනත් කෙටුම්පතකට පාර්ලිමේන්තුවේ දීයෝජනා කරනු ලැබූ සංශෝධනයක් සම්බන්ධයෙන් ස්වකීය මතය ඒ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අවසාන සම්මතය ලබා ගැනීම සඳහා පිළියෙළ වී ඇති අවස්ථාවේ දීනීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වා යැවිය යුත්තේ ය.”

දැන් අපි නීතිය ගැලපිම සිදු කළ යුත්තේ ඉහත නීතිමය සීමාව තුළ සිටිමින් ය.

නීතිපති 77 ව්‍යවස්ථාව අනුව ක්‍රියාකිරීමේදී එය පමණක් නොව සහ 154 (ව) ව්‍යවස්ථාව පිළිබදවද සැළකිලිමත් විය යුතුය.

154 (ව) ව්‍යවස්ථාව මෙසේ ය.

 “154ච. පාර්ලිමේන්තුව විසින්, නීති මගින් –

(අ) පළාත් සභාවල මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සහ එම සභාවල සාමාජිකත්වය ලැබීම සඳහා සුදුසුකම්¦

(ආ) ඒ සෑම සභාවක් ම විසින් කටයුතු කරගෙන යාමේ දීඅනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය ¦

(ඇ) පළාත් සභාවල මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා ¦ සහ

(ඈ) මේ පරිච්ඡේදයේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අවශහ් වෙනත් යම් කාරණයක් සහ මේ පරිච්ඡේදයේ විධිවිධානවලට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා,

සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්විය යුත්තේ ය.”

නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ 2/3 පමණක් නිසා 83 ව්‍යවස්ථාවේ දැක්වෙන කිසිම ව්‍යවස්ථාවකට පළාත් සභා හෝ පළාත් සභා ඡන්ද විමසීම හෝ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමක් වී නැත. 154 ව ව්‍යවස්ථාව අනුව කරන නීති පැනවීමක් සහ පාර්ලිමේන්තුව 2 හා 3 වැනි වර කියවීමේදී සිදුකරන සංශෝධන කිසිවක් ජනමතවිචාරණයක් දක්වා දුර දිග යන්නේම නැත.එදා13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව දුන් වනසුන්දර ඇකුළු විනිසුරැ 4 තීන්දුව බලාත්මක නොවූ බවත්, ෂර්වානන්ද ප්‍රමුඛ 5 තීන්දුව බලාත්මක වන බවත් අපට වාදයකින් තොරව පිළිගැනීමට සිදුවේ. සුළුතර තීන්දුව නොව බහුතර තීන්දුව පිළිගත යුතුය. (එය තවත් එවැනිම බහුතර තීන්දුවකින් වෙනස් කර ගන්නා තෙක්…13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව තීරණය 5:4) ඒ අනුව නීතිමය තත්ත්වය පැහැදිලි හෙයින් විෂය ගත පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතවිශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට අවශ්‍ය බවට නීතිපතිවරයා විසින් කථානායකවරයා වෙත දන්වා යැවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිවැරදිය.

එය වඩාත් තහවුරුවන්නේ 154(ව) ව්‍යවස්ථාව අනුව සිදුකරන ඉදිරිපත් කරන සංශෝධනයකට ජනමතවිචාරණයක් අවශ්‍ය නැති තත්ත්වය සැළකීමේ දී ය. මන්ද 154(අ) සිට 154(ඩ) දක්වා ව්‍යවස්ථා සම්මත වූයේ ජනමතවිචාරණයකින් නොවේ. නීතිපති සිටිය යුත්තේ ඒ නීතිමය සීමාවේ පමණි.

පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පතක් (Bill) සම්බන්ධව කටයුතු කරන විට 124 ව්‍යවස්ථාව අනුව මිස වෙන ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීමට හැකියාවක් නැත. එනම් පනත් කෙටුම්පතක් (Bill) සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් විය හැක්කේ 120 සහ 121 ව්‍යවස්ථා අනුව පමණි.

(4 අ ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක කාර්ය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ ජනමතවිචාරණයකින් ජනතාවට පමණි.)

79 සහ 80 අනුව කථානායක සිය සහතිකය යෙදූ පසු කිසිම අධිකරණයකට එය ප්‍රශ්න කිරීමට තබා මතයක් ප්‍රකාශ කිරීමටත් බැරිය. 2වැනි වර සහ 3 වැනි වර කියවීමේදී ඉදිරිපත් කළ යුතු සංශෝධන කවරක්ද…ඒ කීයක්ද කියා සීමා පැනවීමක් ලිඛිත ව්‍යවස්ථාවක් ඇති ලංකා ව්‍යවස්ථාවේ නැත. මෙය ඉදිරියේ නිවැරදි කර ගත යුත්තකි.

4 (අ)ව්‍යවස්ථාව මෙසේ ය.

“4. (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයක දීජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.”

124 ව්‍යවස්ථාව මෙසේ ය.

“124. යුක්තිය පසිඳලීම සඳහා ඇතිකොට පිහිටුවන ලද කිසිම අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ වෙනත් කිසිම ආයතනයකට, තැනැත්තකුට හෝ පුද්ගල මණ්ඩලයකට, 120 වැනි සහ 121 වැනි ව්‍යවස්ථාවල විධිවිධාන සලසා ඇති පරිදිහැර, කවර හෝ හේතුවක් නිසා, යම්කිසි පනත් කෙටුම්පතක ව්යෙඅවස්ථානුකූලභාවය පිළිබඳව හෝ ඒ පනත් කෙටුම්පත ව්‍යස්ථාදායක ක්‍රියාවලියට අනුකූලවීම පිළිබඳව හෝ විමසීමට හෝ ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට, බලය හෝ අධිකරණ බලය නොමැත්තේ ය.”

79 ව්‍යවස්ථාව මෙසේ ය.

“79. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක් කථානායකවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේය:-

(පනත් කෙටුම්පතේ ලුහුඬු නාමය මෙහි සඳහන් කරන්න) නමැති මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් යථා පරිදිසම්මත කරන ලද බව මෙයින් සහතික කරමි.

පනත් කෙටුම්පත සම්මත කරන ලද්දේ යම් බහුතර ඡන්දයකින් ද ඒ බහුතර ඡන්දය ද ඒ සහතිකයෙහි සඳහන් කරනු ලැබිය හැක්කේ ය:

එසේ වුව ද, 82 වැනි ව්‍යවස්ථාවේ හෝ 83 වැනි ව්‍යවස්ථාවේ හෝ 84 වැනි ව්‍යවස්ථාවේ හෝ 123 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ හෝ විධිවිධාන ප්‍රකාර පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වන අවස්ථාවකදීඒ පනත් කෙටුම්පත කථානායකවරයා විසින් සහතික කළ යුත්තේ ඒ පනත් කෙටුම්පත ඒ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වී ඇත්නම් පමණකි.

එසේ තවදුරටත්, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාර පනත් කෙටුම්පත හෝ එහි යම් විධිවිධානයක් ජනමත විචාරණයක දීජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය වන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දීඅනුමත කරනු ලබන තෙක් නීතිය බවට පත් නොවිය යුතු බව ද ඒ සහතිකයේ සඳහන් විය යුත්තේ ය.”

80 ව්‍යවස්ථාව මෙසේ ය.

“80. (1) පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් කෙටුම්පතක් මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට මේ ව්‍යවස්ථාවේ (2) වැනි අනු ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එය නීතිය බවට පත් වන්නේ ය.

(2) යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ, යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක දීජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ(2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී 85 වැනි ව්‍යවස්ථාවේ(3) වැනි අනුව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙහි එකී විධිවිධානය හෝ නීතිය බවට පත් වන්නේ ය. එසේ අනුමත කරනු ලැබූ සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක්, ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේ ය:-

මේ පනත් කෙටුම්පත/විධිවිධානය ජනමත විචාරණයක දීජනතාව විසින් යථා පරිදි අනුමත කරන ලද බව මෙයින් සහතික කරමි.

එවැනි සහතිකයක් ජනාධිපතිවරයා විසින් පනත් කෙටුම්පතක සටහන් කිරීම –

(අ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන කිසි පෙත්සමක් ඉදිරිපත් කරනු නොලැබූ අවස්ථාවක, එවැනි ජනමත විචාරණයක වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඊට අදාළ නීතිය යටතේ ඉදිරිපත් කළ හැක්කේ යම් කාල සීමාවක් ඇතුළත ද ඒ කාල සීමාව ඉකුත් වීමෙන් පසුව ද,

පනත් කෙටුම්පතක් නීතිය බවට පත්වීම.

(ආ) ඒ පනත් කෙටුම්පත ජනතාව විසින් අනුමත කරන ලද්දේ යම් ජනමත විචාරණයක දීද ඒ ජනමත විචාරණයේ වලංගුභාවය අභියෝග කරන පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, ඒ ජනමත විචාරණය වලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබීමෙන් පසුව ද,

මිස, නොකළ යුත්තේ ය.

ඒ සෑම සහතිකයක් ම අවසානාත්මක හා තීරණාත්මක වන්නේ ය. ඒ සහතිකය පිළිබඳව කවර වූ හෝ අධිකරණයක දී ප්‍රශ්න නොකළ යුත්තේ ය.

(3) අවස්ථාචෝචිත පරිදි ජනාධිපතිවරයා ගේ හෝ කථානායකවරයාගේ සහතිකය පනත් කෙටුම්පතක් මත සටහන් කරනු ලැබූ පසු එම පනත් කෙටුම්පත නීතිය බවට පත් වන අවස්ථාවක ඒ පනතෙහි වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් හෝ විසින් නොකළ යුත්තේ ය.”

ඉහත නීතිමය සීමාවන් සම්බන්ධව සැළකීමේදී 2017.10.22 වන දිනසිට මෙම ප්‍රශ්න ගත පනත් කෙටුම්පත2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත ලෙස ලංකාවේ නීතියක් වී ඇත. ඒ අනුව 80.3 ව්‍යවස්ථාව අනුව එකී පනතේ වලංගුභාවය පිළිබඳව පරීක්ෂා කිරීම, ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම හෝ කවර වූ හෝ ආකාරයකින් ප්‍රශ්න කිරීම කිසිම අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් හෝ විසින් නොකළ යුතු වේ.

ඉහත නීතිමය විධිවිධාන සැළකීමේදී පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශේධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව සිය මතය කථානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සීමා තුළ එකී පනත් කෙටුම්පත නීතියක් වී ඇති බවද පැහැදිලි වේ.

 නමුත් මෙතන බරපතල ප්‍රශනය ඇත්තේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් 2:1 බෙදුනු තීන්දුව ය. එම තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව 83, 88, 94 සහ 4 ව්‍යවස්ථා මෙන්ම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු05 දෙනාගේ බහුතර තීරණය සළකාබැලීමේදී පැහැදීලි වේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් 2:1 බෙදුනු තීරණය නිවැරදි නොවන බවත් පූර්ණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ එය නැවත සමාලෝචනය කළ යුතු බවට වන නීතීමය කරුණු ඇතුළත් ලිපියක් ඉදිරියේදී සාකච්ඡාවට ලක්කරණු ඇත.

එහිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් 2:1 බෙදුනු තීරණයේ සිංහල පරිවර්තයක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here