යුධ අපරාධ ගැන දේශීය හෝ ජාත්‍යන්තර මට්ටමින් විභාගයක් Greiff අනතුරු අඟවයි

0

යුධ විරුවන්ට අධිකරණමය ක්‍රියාමාර්ග නොගන්නා බවට දේශපාලකයින් ලබා දී ඇති පොරොන්දු නීතිය ඉදිරියේ පිළිගත නොහැකි හුදු දේශපාලන ප්‍රකාශයන් පමණක් බව එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ගරීෆ් ( Pablo de Greiff) ප්‍රකාශ කරනවා.

සිය නිරීක්ෂණ චාරිකාව අවසන් කරමින් ඊයේ (24) එක්සත් ජාතින්ගේ කොළඹ කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව සඳහන් කළා.

“වසර 2ක් ගත වෙලත් මේ සංහිඳියා ක්‍රියාදාමය පැවතිය යුතු ස්ථානයට පැමිණිමටවත් අසමත් වෙලා තියනවා. යුධ විරුවන් අධිකරණය ඉදිරියට ගෙන ඒමට ඉඩ නොදෙන බවට සිදු කරන ප්‍රකාශ සංක්‍රාන්ති යුක්තියේ ඉලක්කය නොමග යැවීමක් ලෙසටයි  දකින්නේ. ඒ වගේම මානවහිමිකම් වගේම යුධ නීතිය කඩ කරපු ඕනෑම පුද්ගලයෙක් වීරයෙක් විදියට දකින්න සුදුසු නැහැ කියන එක  මෙවැනි ප්‍රකාශ සිදු කරන පිරිස අමතක කොට තිබෙනවා,” ඔහු සඳහන් කර සිටියා.

“යුධ විරුවන් සම්බන්ධයෙන් ලබා දී ඇති පොරොන්දුව නීතිමය වශයෙන් පිළිගත නොහැකි දේශපාලනික ප්‍රකාශයක්,” එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිතයා පෙන්වා දුන්නා.

“එම පොරොන්දුවට ජාත්‍යන්තර වශයෙන් කිසිදු සහතිකයක් නැහැ. මෑතකදි හිටපු හමුදා නිලධාරියෙකුට බ්‍රසීලයේ දි පැවරු නඩුව වගවීමේ ක්‍රියාවලිය මෙරට හෝ විදේශයකදි සිදු විය හැකි බවට උදාහරණ සපයනවා. අපිට සaජුවම ප්‍රකාශ කළ හැකි දේ තමයි ශ්‍රි ලංකා හමුදා නිලධාරියෙකුට එරෙහිව බ්‍රසීලයේ පවරනු ලැබු නඩුව අයිස් කන්දක මුදුන වගේ කියලා. අපිට මේ  වගේ වගේ තව බොහෝ සිදුවීම් අනාගතයේදි අපේක්ෂා කරන්නට පුළුවන්. යුධ විරුවන් ආරක්ෂා කරන බවට හැමවිටම ලබා දෙන පොරොන්දුව නෛතික නොවන එකක් බවට ප්‍රකාශ කරන්න පුළුවන්. ශ්‍රි ලංකාවේ ක්‍රමයට අනුව එම තීරණය ගත යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේන්. අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දේශපාලන නායකත්වය පවා පොරොන්දු ලබා දීම අධිකරණයට ඇති බලය උල්ලංඝනය කිරීමක්. එම හෙතුවෙන් එම පොරොන්දු ඉටු කිරීම බොහෝ දුෂ්කර විය හැකි බව මට ප්‍රකාශ කරන්න පුළුවන්,” ඔහු වැඩියෙන් පවසා සිටියා.

Pablo de Greiff