දුම්රිය දෙපාර්තමේන්නතුව තුලට යුධ හමුදාව…දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට සමිති සුදානම්

0

ජනතාවට වඩා හොඳ දුම්රිය සේවයක් ලබා දීම අපගේ අරමුණ බවත්, මතුවී තිබෙන තත්වයට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකර වෘත්තිය සමිති සතු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය අහිමි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තුලට ති‍්‍රවිධ හමුදා කැඳවන්නේ නම් දුම්රිය ධාවනය සිදුකරන ආකාරය ආණ්ඩුවට කියා දීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි….

රටෙහි පවතින තත්වය යටතේ දෛනික ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය පෙන්නා දුම්රිය සේවකයින් බිය වද්දා දුම්රිය වැඩ වර්ජන අඩපන කිරීමට හා වෘත්තිය සමිති නායකයින් මර්ධනය කිරීමේ අසාර්ථක ප‍්‍රයත්නයක ආණ්ඩුව නියැලෙමින් සිටී.
දුම්රිය රියදුරන්, නියාමක වරුන්, දුම්රිය ස්ථානාධිපතිවරුන්, තාක්‍ෂණ ශිල්පීන් ගේ රාජකාරි පුහුණු කිරීම සඳහා යුධ හමුදා නිලධාරීන් යොදා ගැනීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය මීට පෙරද කටයුතු කර ඇති බව යම් යම් අවස්ථාවල දී නොනිල වශයෙන් දැනගැනීමට තිබුනද, 06 වන ගැමුණු හේවා බල ඇනියේ අණදෙන නිලධාරි විසින්  දුම්රිය සාමාන්‍යාධිකාරි වෙත එවා ඇති ලිපියකින් එම ප‍්‍රයත්නය සනාතථවී ඇති බව ඉතා හොඳින් පැහැදිලිවේ.

දුම්රිය සේවකයාගේ ඇත්ත ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දීමට අපොහොසත් දුම්රිය බලධාරීන් සහ රනිල්-මෛතී‍්‍ර අවුල් හවුල් ආණ්ඩුව, කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන වංචා දූෂණ අක‍්‍රමිකතා නැවැත්වීමටවත් ඒවා පිලිබද සොයා බැලීමටවත්, නිසි කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. දුම්රිය සේවකයින්ගේ දැවෙන ප‍්‍රශ්නවලට විසුඳුම් ලබා දීමට අපොහොසත් ආණ්ඩුව දෛනික ජන ජීවිතය පවත්වාගෙන යෑම ඉස්මතුකරගෙන දුම්රිය දෙපාර්තමේන්තුව තුලට හමුදාව කැඳවීමට දරන උත්සාහය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින අතර, එසේ හමුදාව කැඳවීමක් කළ හොත් ඊට එරෙහිව සමස්ත දුම්රිය සේවකයින් පෙළගස්වන බවද ප‍්‍රකාශ කරමු.

දුම්රිය මූලස්ථානයේ හා ප‍්‍රාදේශීය කාර්යාලවල, වැඩ අංගනවල තොරතුරු, දුම්රිය රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය රියදුරු සහායක හා තාක්‍ෂණ ශිල්පින් ගේ ලිපිනයත්, දුරකථන අංක, හා වෙනත් පෞද්ගලික තොරතුරු රාශියක් යථෝක්ත අණදෙන නිලධාරියා විසින් ඉල්ලා ඇත. මීට අමතරව දුම්රිය වැඩවර්ජනයන් හා වෘත්තිය සමිති නායකයින්ගේ පෞද්ගලික තොරතුරු මෙම අණදෙන නිලධාරියා විසින් ඉල්ලා ඇත්තේ ඉහල මූලස්ථානයේ උපදෙස් පරිදි වන බව, ඔහුගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. හදිසි නීති රෙගුලාසි  කි‍්‍රයාත්මක  නොවන තත්වයක් තුල මෙවැනි තොරතුරු ලබාගැනීමේ කිසිදු අයිතියක් හමුදාවට හෝ පොලීසියට නොමැති බවත්, දෛනික ජනජීවිතය අඩාල නොවී පවත්වාගෙන යෑමේ වගකිම ඇත්තේ ආණ්ඩුවට හා ඒ හා සම්බන්ධ කටයුතු කරන ආයතනවලට බවත් හදිසි ආපදාවකදී  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහා  අණදෙන නිලධාරිවරයාගේ ලිපියෙන් ඉල්ලා ඇති තොරතුරු කිසිවක් අවශ්‍ය නොවන බවත්, අවධාරණයෙන් පෙන්වාදෙමු.

දුම්රිය සේවකයින්ගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දී, දූෂිත නිලධාරීන්ට එරෙහිව කටයුතු කර, වංචා දූෂණ අක‍්‍රමිකතා නතර කර රටේ ජනතාවට වඩා හොඳ දුම්රිය සේවයක් ලබා දීම අපගේ අරමුණ බවත්, මතුවී තිබෙන තත්වයට නිසි විසඳුම් ලබා දීමට කටයුතු නොකර වෘත්තිය සමිති සතු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිය අහිමි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තුලට ති‍්‍රවිධ හමුදා කැඳවන්නේ නම් දුම්රිය ධාවනය සිදුකරන ආකාරය ආණ්ඩුවට කියා දීමට සිදුවන බවත්, කිසිදු දුම්රියක් තිබෙන තැනින් සෙලවීමට හෝ නොහැකි වන පරිදි අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, පුළුවන් නම්  හමුදාව යොදාගෙන දුම්රිය ධාවන කටයුතු සිදු කරන ලෙසත් අපි ආණ්ඩුවට අභියෝග කර සිටිමු. මේ පිළිබඳව දැනටමත් දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය බලධාරින් දැනුවත් කර ඇති බව ප‍්‍රකාශ කරමු.

ස්තූතියි.
 
මෙයට විශ්වාසි,
 
එස්.පී. විතානගේ 
සමකැඳවුම්කරු 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here