ආණමඩුවේ ටැම්පිට විහාරයට විතරක් ඇයි කුඩම්මාගේ සැලකිලි

0

ආණමඩුව මැතිවරණ කොට්ඨාශයේ ආලංකුලම සියඹලෑව ගම්මාන මැදිකරගෙන කරඹෑවගම්මානයේ පිහිටි ටැම්පිට විහාරය මේ වන විට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝග අවවාද පිළිපදිමින් සංවර්ධනයක් හෝ අළුත්වැඩියාවක් කිරීමට නොහැකිව වවුල් ගදට

පමණක් ආශිර්වාද කරමින් පැවතී තිබීම බෞද්ධ පුනර්ජීවනය දකින මේ අවධියේ රටට නොකියාම බැරි සිද්ධස්ථානයකි.

වළගම්බා රාජ්‍ය සමයේ බෞද්ධ ප්‍රබෝදයත් සමග ගොඩනැගුණු රාජ වන්නි කුමාර වන්නි දෙපළාතේ වෙහෙර විහාරස්ථාන අතර පරමාකන්ද රාජමහා විහාරයට අමතරව තවත් විහාරස්ථාන රාශියක් වන්නි හත්පත්තුව තුල ගොඩනැගුණු නැවත මහනුවර රාජ්‍ය සමයත් සමග විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය සමයත් සමග නැවත බෞද්ධ ප්‍රබෝදයත් වයඹ පළාත මුල් කර ගෙන ගොඩනැගුණි.

ටැම්පිට විහාර සම්ප්‍රදායට එක් වෙමින් විහාරස්ථාන රැසක් බෞද්ධ ප්‍රබෝධයත් සමග ගොඩනැගුණු අවධියේ කරඹෑව ශ්‍රී සුමංගලාරාමය මුල් කර ගෙන ටැම්පිට විහාරයක් ඉදි විය. වසර 250 කට පෙරාතුව මුඛ පරම්පරාවෙන් පැවත එන කරුණු මත බෝරුවාගල නායක ස්වාමීන් වහන්සේ කරඹෑව ප්‍රදේශයට පැමිණ කළුදේවතා බණ්ඩාර දෙවියන් වෙනුවෙන් හාස්කම් සහිතව පැවතුණු දේවාලය සමඟ මේටැම්පිට විහාරය ගොඩනැගී තිබුණ බවත් විහාරස්ථානය සමඟ ස්ථූපයක් හා බෝ මළුව වටකෙරුණු බෝධි ප්‍රාකාරයක් පැවතුන බව කියවෙයි.

මල්වතු මහා විහාර වාසික සඟ නමක් වූ බෝරුගල ලොකු හාමුදුරුවෝ විහාරස්ථානය වැඩි දියුණු කොට ටැම්පිට විහාරයක තිබිය යුතු මූලික අංග ඉදි කෙරුණි.

වෑදණ්ඩේ ලොකු හාමුදුරුවන්ගේ සම්ප්‍රාප්තියත් සමග සියඹලෑව, මීගලෑව, වෑදණ්ඩාව, ගල්කුලම යන ගම්මාන දායකත්වයට ගෙන ශාසනික දියුණුවද සමග කළුදේවතා බණ්ඩාර දේවාලයේ ද අනුහස් ලබමින් පැවතුණ බව සඳහන් වෙයි.

එම සංඝ පරම්පරාවත් සමග ආලංකුලමේ ගුණනන්ද, සුතුල්දොර සුමංගල, වරා වැවේ සිරිසුමන යන ස්වාමීන් වහන්සේලාගේ ශාසනික සේවාවත් සමග වර්ථමානය දක්වා විහිද ආ කරඹෑව ටැම්පිට විහාරය ඉතිහාසයට එක් වෙයි.

විහාරස්ථානය සහමුලින්ම ඉදි වී ඇත්තේ මැටිබදාම කපරාරුවක් තුලය. පොළවෙන් උඩට අඩි තුනහමාරක් පමණ එසවුණු ගල් කුළුණු මත ඉදි වුණ ලෑලි වේදිකාවක් මත විහාරස්ථානය ඉදි කොට තිබේ.

විහාරස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී වටමළුව පුරා බිතු සිතුවම් වලින් අලංකාර කර තිබුණු බවට සාධක ඇත. ඇතුළු මළුව තුල ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවත් තවත් බුද්ධ ප්‍රතිමා දෙකකුත් මෛත්‍රී බුදුන්ගේ යැයි කියවෙන දේවතා රූපයක් විශ්ණු දේව රූපයක් නිර්මාණය කොට ඇත.

වහලයද ලෑලි සිවිලිමකින් වසා චිත්‍ර කර්මයෙන් විසිතුරු කොට තිබෙයි. අඩි 15 යි 22 ප්‍රමාණයෙන් යුත් මෙම විහාර ගෙය තුල විහාරයකට අදාල වූ සියළු උපාංග වලින් නිර්මිතව තිබෙයි. විහාරස්ථානට හිමි භූමිය හා දේපළ පිළිබඳව දෙමළ බසින් 1862 ලියවුණු සන්නස් පත්‍රයක් ද ඇත.

(එම අවධියේ මහණුවර රාජ්‍ය පාලනයේ ලේඛණ කටයුතු බොහොමයක් දෙමළ බසින් සිදු වි ඇති බව යම් යම් සාධක මගින් හෙළි වෙයි).

ඓතිහාසික වටිනාකමින් යුත් කරඹෑව ටැම්පිට විහාරය පිළිබදව අපේ රටේ විශ්වවිද්‍යාල සිසුන් වරින් වර පැමිණ ඔවුන්ගේ ගවේශනාත්මක කටයුතු ඉටු කර ගැනෙයි. දැනට මැටි කපරාරුව මත යම් බදාමයක් යොදා ඔබවත් කොට ඇති බිත්ති කෘමීන් විසින් පළුදු කිරීම් ද සිදු කෙරෙමින් පවතී. මෙම පූජනීය මෙන්ම බෞද්ධ ප්‍රබෝදයක් ඇති කෙරෙන සිද්ධස්ථානය පිළිබදව තවත් ඈතට නොගොස් කඩිනම් ප්‍රතිකර්ම තුලින් පිළිසකර කිරීමක් විය යුතු බව නම් නොරහසකි.

වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් ජනාධිපති අරමුදලින් ටැම්පිට විහාර පිළිසකර කිරීමටගෙන ඇති තීරණයට මෙම විහාරස්ථානය ද ඇතුලත් වේවායි ප්‍රාර්ථනය කිරීමට සිදු වී ඇත.

සටහන සේයා රූ

විශේෂාංග සදහා

(පුත්තලම කේ. ප්‍රියංකර)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here