රටට ගැටලු ඇති කළ හැකි නව ව්‍යවස්ථාවක් එපා….ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය

0

පෙඩරල් පාලන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට කෙසේවත් ගැළපෙන්නක් නොවේ. ලෝකයෙහි පෙඩරල් පාලන ක්‍රමය බිහිව ඇත්තේ ස්වාධීනව වෙන්ව පැවැති ප්‍රාන්ත හෝ රාජ්‍යයන් වැඩි දේශපාලන ස්ථාවරයක් ඇතිව ආර්ථික සංවර්ධනය පිණිස එක්සත් කරගැනීමට බවත් රටට ගැටලු ඇති කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි යන මහ නාහිමිවරු හා අමරපුර මහ සංඝ සභාවේ වැඩ බලන මහ ‍ලේඛකාධිකාරී ආචාර්ය පල්ලෙකන්දේ රතනසාර නාහිමිගේ අත්සනින් යුතුව එම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

අතුරු වාර්තාවේ ඇතුළත් යෝජනා හා විකල්ප විධිවිධාන මගින් බුද්ධාගම පිළිබඳ ප්‍රමුඛස්ථානයටත්, රටේ ඒකීය භාවයටත් විය හැකි අනතුරු අපිදු පිළිගනිමු. ඊටත් වඩා අනතුරක් ලෙස අප දකින්නේ උතුරු හා නැගෙනහිර දෙපළාත් ඉලක්ක කරගෙන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව සතු බලතල දුර්වල කිරීමට කර ඇති යෝජනාත්, එකී දෙපළාත් එක් ඒකකයක් ලෙස එකතු කිරීමට කර ඇති යෝජනාත්ය. උතුරට අසීමිත බලයක් ලබාදීම යනු බෙදුම්වාදයට ලබාදෙන බලයක් බව අපි එකහෙළා කියමු. බලලෝභී සුළු දේශපාලන කණ්ඩායමක් ලබාගන්නා අසීමිත බලයෙන් දෙමළ ජනතාවට වුවද සෙතක් සැලැසේ යැයි අප විශ්වාස නොකරනුයේ උතුරේ ඇතැම් දේශපාලකයන් දැනුදු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන අන්තවාදී අදහස් නිසාය. ඔවුන්ගේ අභිලාෂය වෙනම රාජ්‍යයකට තුඩු දිය හැකි පරිපාලන බලයක්, නැතහොත් පෙඩරල් පාලන ක්‍රමයක් බව පෙනේ. මෙය පසුකලෙක මුළු රටටම බලපාන තර්ජනයක් විය හැකි බව මෑත අතීතයෙහි සිදුකර ඇති ප්‍රකාශ මගින් නිගමනය කළ හැකිය.

පෙඩරල් පාලන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට කෙසේවත් ගැළපෙන්නක් නොවේ. ලෝකයෙහි පෙඩරල් පාලන ක්‍රමය බිහිව ඇත්තේ ස්වාධීනව වෙන්ව පැවැති ප්‍රාන්ත හෝ රාජ්‍යයන් වැඩි දේශපාලන ස්ථාවරයක් ඇතිව ආර්ථික සංවර්ධනය පිණිස එක්සත් කරගැනීමටය. එක්සත් රාජධානිය, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව ආදී රටවල් ඊට උදාහරණයි. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියෙන් සිදුවන්නේ මූලාරම්භයේ සිට ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවැතුණ ශ්‍රී ලංකාව තුළ (නොබෙදිය හැකි යැ යි මිථ්‍යාවක් පෙන්වා) බෙදා පාලනය කරන පෙඩරල් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමය. මෙවන් ක්‍රියාවක් ජනවාර්ගික වශයෙන් දැනට නැති විවිධ ප්‍රශ්න හා ගැටලු ඇතිවීම නොවැළැක්විය හැකිය. එහෙයින් වර්තමානයේ පවත්නා වාතාවරණය යටතේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර දැනට තිබෙන සාමය හා සංහිඳියාව නැති කිරීමටත්, එමගින් රාජ්‍ය අස්ථාවර වීමටත් හේතුවනවා පමණක් නොව අප රටේ පරාධීන කරමින් විදේශීය බලවේගවලට මීටත් වඩා අනිසි ලෙස මැදිහත් වන්නට දොර ඇර දීමක් බවත් සඳහන් කරමු.

දැනටත් උතුරු – නැගෙනහිර දෙපළාත්හි බෞද්ධ උරුමය හා පුරාවස්තුවලට සිදුවන විනාශය ඉතා ප්‍රකටය. උතුරේ නිජභූමි අයිතිය ඉල්ලීම මතු නොව එහි වෙනම නිරාගමික පාලනයක් සඳහාද හඬක් නැගේ. ශ්‍රී ලංකාවේ දෙදහස් පන්සිය වසර ගණනාවකට එහා විහිද ගිය අපේ උරුමය පෙන්වන සැබෑ ඉතිහාසය හිතුමතේ විකෘති කරමින් මිථ්‍යා ඉතිහාසයක් ගොඩ නගමින් පවතී. වාර්ගික බලය හා ඡන්දය තහවුරු කරගැනීමට අපේ වන සම්පත විනාශ කරමින් නව ජනාවාස ආක්‍රමණයද දැඩි ලෙස සිදුවෙමින් පවතී. මධ්‍ය රජයක පාලනයක් තිබෙන වත්මන්හි මෙබඳු ශෝචනීය දෑ සිදුවෙද්දී පුළුල් බලතල සහිත පෙඩරල් පාලනයක් ඇති කළහොත් අනාගතයේදී මුළුමහත් රටටම සිදුවිය හැකි හානිකර ඉරණම අප විසින් ගැඹුරින් කල්පනා කළ යුතුය. ව්‍යවස්ථා අධිකරණය මගින් හෝ දෙවන මන්ත්‍රණ සභා මගින් හෝ මේවාට නිසි විසඳුම් හා පිළිසරණ සෙවීම කළුනික සෙවීමක් වනු ඇත.

අප රටේ සාධාරණ – සාමකාමී සමාජයක් ඇති කළ හැක්කේ දැනට ඇති ව්‍යවස්ථාපිත බලය සමතුලිතව උපයෝගී කරගැනීමෙනි. රටපුරාම එක ලෙස නිසි ආර්ථික කළමනාකරණයක් සහිත මානව හිතවාදී සංවර්ධනයක් ඇති කිරීමෙන් මිස විදේශීය බලවේගවල අවශ්‍යතා මත රට බෙදීමකට තුඩුදිය හැකි බලය බෙදීමකින් නොවන බව අපි අවධාරණය කරමු. සෑම පුරවැසියකුටම සිංහල හා දෙමළ භාෂාවලින් කටයුතු කිරීමට අවශ්‍ය භාෂා දැනුම ලබාදීමද දිගුකල් සංහිඳියාවට හේතුවන කරුණක් බව සඳහන් කරමු.

අප රටට බලෙන් ගෙනෙන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා දැනටමත් ලංකාවේ රාජ්‍ය පාලනය ආකුල ව්‍යාකූල වී තිබෙන හෙයින් කාලීන වශයෙන් බරපතළ අවශ්‍යතාවක් නොපෙන්වන, ජන වරමක්ද නැති නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වඩා සියලු මහ ජනතාවගේ සංහිඳියාව හා නිරවුල් ආර්ථික සංවර්ධනය උදෙසා 13 වන සංශෝධනයද නිෂේධනය කිරීම කාලෝචිත පියවරක් බව අපගේ පිළිගැනීමයි.

කරුණු මෙසේ හෙයින් මහජනතාවගේ සාමකාමී පරිසරය විනාශ කිරීමට ඉවහල් වන නව ව්‍යවස්ථා යෝජනාවලින් වැළකී, අප රටේ දැවෙන ජාතික හා ආර්ථික ප්‍රශ්න විසඳාගෙන සංවර්ධිත සුඛිත මුදිත දේශයක් නිර්මාණය කරගැනීමට දේශපාලන වාද භේද ඉවත ලා ජාතික සමගිය වෙනුවෙන් එක්සත් වන ලෙස සියලු දේශපාලන පක්ෂ හා මහජනතාවට මෙයින් දන්වන අතර අනාගතයෙහි රටට ගැටලු ඇති කළ හැකි නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් වැළකී පවතින ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන පමණක් සිදු කිරීමට අවධානය යොමු කරන මෙන් ශ්‍රීමත් ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප්‍රධාන රජය වෙත මහජන හිතානුකම්පාවෙන් දන්වා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here