විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසි කරලා මැතිවරණ ක්‍රමයත් වෙනස් කළොත් තනි පක්ෂයකට බලය ගන්න ලොවෙත් බෑ

1

විධායකධූරය අහෝසිකර පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය 60% – 40% අනුපාතයට පැවැත්වූවිට කිසිම තනි දේශපාලන පක්ෂයකට බලය ලබාගත නොහැකි බව අමාත්‍ය සුසුල් ප්‍රේමජයන්ත පවසනවා.

අද (01) පාර්ලිමේන්තුවේදි නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“අද දින ආරම්භවන මෙම විවාදයේ ප්‍රස්තූතය වී ඇත්තේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවයි. ව්‍යවස්ථා සම්පාදන කාර්යාවලියක් සඳහා 2016/03/09 දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාව මත 2016/04/05 දින මෙහෙයුම් කමිටුව පත්කර ගන්නා ලදී. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව ප්‍රධාන විෂයපථයන් 12 ක් හඳුනාගෙන ඉන් 6 ක් සඳහා අනුකමිටු 6 ක් පත්කරගන්නා ලදි. එසේ පත්කරගන්නා ලද කමිටු 6 විසින් පිළියෙල කරන ලද වාර්තා 6 ක් සහ මෙහෙයුම් කමිටුව විසින් සකස්කරන ලද තත්කාර්යය වාර්තාවක්ද 2016/11/19 හා 2016/12/10 දින සභාගත කරන ලදි. අනුකමිටු වෙත භාරනොදුන් සෙසු විෂයයන් සඳහා මෙහෙයුම් කමිටුව වරින්වර රැස්වී කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵල ලෙස අද විවාදයට ගැනෙන මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළියෙල කර ඇත.”

“මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇති විෂයයන් සම්බන්ධව එක් එක් දේශපාලන පක්ෂ හා පුද්ගල ප්‍රතිචාරයන් මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඇමුණුම් ලෙස 1 (අ) සිට 1 (ඌ) දක්වා මේ සමඟ සභාගත කර ඇති අනුකමිටු වාර්තා 6 න් වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ මධ්‍යය හා පර්යන්තය පිළිබඳ වාර්තාවයි. මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් සිදුවූවාදැයි සැකසහිතය. කෙසේ වෙතත් මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තම ප්‍රතිචාරය ඇමුණුම් ලෙස සභාගත කිරීමෙන් පැහැදිලි වන්නේ වාර්තාවේ විෂයයන් සම්බන්ධව ඒකමතිකභාවයක් නොතිබූ බවයි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමුණුම් වාර්තාවේ මුලින්ම දක්වා ඇත්තේ වාර්තාවේ සඳහන් සූත්‍රණ හා මූලධර්ම සාකච්ඡා කළා විනා එකඟ නොවූ බවයි.  ”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමේ පරමාර්ථය වූයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය අනුකමිටු පිහිටුවීම, වාර්තා ලබාගැනීම, තත්කාලයේදී රටක් ලෙස මුහුණ දී ඇති ආර්ථික හා සමාජීයය ප්‍රශ්න සදහා අවශ්‍ය නීති පැනවීම සඳහා මුළු පාර්ලිමේන්තුවම එක කමිටුවක් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමයි. මෙහිදී මූලික වශයෙන් වර්ෂ 30 ක යුද්ධයකට බලපෑ කරුණු අධ්‍යයනය කර දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ඊට ගැළපෙන අයුරු සකස්කර ගැනීමත් මීට පෙර අවස්ථා ගණනාවකදී විවිධ සාකච්ඡා, සමුළු, කමිටු මඟින් ඉදිරිපත් වූ කරුණු ද සළකා බලා  ගැටුම් යළි ඇතිනොවන, ජනවාර්ග අතර සාමය සහ සංහිඳියාව ඇති කර රටට ආර්ථික සමෘද්ධියත් ශක්තිමත් රාජ්‍ය පාලනයක් සහ ප්‍රාදේශීය මට්ටමින් විසඳාගත හැකි ප්‍රශ්න ඒ මට්ටමින් විසඳාගැනීමට අවශ්‍ය නෛතික හා පරිපාලන බලය පර්යන්තය වෙත ලබාදීමත් සඳහා රටේ මූලික නීතිය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇතිකිරීමයි.”

“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසය ගැන දැන් සළකා බලමු. ලන්දේසින්ට යටත්ව තිබූ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1796 දී යටත් කරගත් ඉංග්‍රීසීන් 1802 දක්වා නැගෙනහිර ඉන්දීය වෙළඳ සමාගම  විසින් පාලනය කර ඇත. ඉන්පසු බ්‍රිතාන්‍ය කකිරීටයේ යටත් විජිතයක් බවට පත්විය. ඒ අනුව පාලනය ආණ්ඩුකාරවරයෙක් යටතට පත්විය. ඔහු බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ලේකම්ටත් එමඟින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත්  වගකිවයුතු වූ අතර පරිපාලන ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ආණ්ඩුකාරවරයාට තිබූ අතර ඔහුගේ මණ්ඩලය ලෙස සැළකූ අග්‍රවිනිශ්චයකාරතැන, සේනාධිනායක සහ ප්‍රධාන ලේකම් ගෙන් සැදුම්ලත් මණ්ඩලයකින් අවශ්‍ය උපදෙස් ලබාගත හැකිවිය.”

“1833 දී කෝල්බෘක් කොමිසමේ නිර්දේශ මත ආණ්ඩුකාරවරයාගේ සභාපතිත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් නිර්මාණය වූ අතර පසුව එම මණ්ඩලයට සිංහල, දෙමළ සහ බර්ගර් ජාතිකයන් 3 දෙනෙකු ඇතුළත් කරනු ලැබීය. මෙය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පාලනයක ඇරඹුම වීය. 1833 ව්‍යවස්ථාවේ මූලධර්ම 1910 තෙක් පැවැති අතර මෙම කාළය තුළ ප්‍රතිසංස්කරණ සදහා බල කෙරිණි. 1889 දී නිල නොවන නියෝජිතයන් 8 දෙනෙකු බවට පත්කරමින් උඩරැටියන් හා මුස්ලිම් නියෝජනයක් ඇතිවිය. 1920 දී 37 න් යුත් ව්‍යවස්ථාදායක සභාවක් ඇතිකරන ලදි. ඉන් 14 ක් නිල මට්ටමින් හා 23 ක් නිල නොවන මහජන නියෝජිතයන්ද ඉන් 11 ක් කළාප මට්ටමින් තෝරාගන්නා ලද අතර ඉන් 3 ක් බස්නාහිර පළාතටද එක බැගින්  සෙසු පළාත් වලටද පත්කෙරිනි. 1923 දී නව ව්‍යවස්ථාදායකය ඇතිකරන ලදි. (නිල 12 + නිල නොවන 37) ඉන්පසු ඩොනමෝර් කොමිසම පිහිටුවන ලද අතර 1931 – 1936 දක්වා ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පාලනය සිදුවිය. 1936 – 1943 දක්වා ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ පත්කරන ලද රාජ්‍ය සභාව මඟින් ආණ්ඩුකාර යටතේ රට පාලනය විය. 1931 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඡන්දයෙන් නියෝජිතයන් පත්කරගන්නා ලදි. සොල්බරි කොමිසමේ වාර්තාව අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරු 95 ක්ද ආණ්ඩුකාරවරයා විසින් නම් කරන ලද 6 දෙනෙකු සමඟ 101 විය. මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස හඳුන්වන ලදි. (පාර්ලිමේන්තුව) සහ දෙවන මන්ත්‍රණ සභාව හෙවත් සෙනෙට් මන්ත්‍රී  මණ්ඩලයේ එක් එක් පක්ෂය පාර්ලිමේන්තුවේ ඇති නියෝජනයට අනුපාතිකව නම්කරන ලදි. සංඛ්‍යාව 30 කි. ඉන් 15 ආණ්ඩුකාරතැන විසින්ද ඉතිරි 15 පාර්ලිමේන්තුව විසින්ද තෝරා පත්කරගන්නා ලදි. ”

“ඒ අනුව සොල්බරි ව්‍යවස්ථාවේ විධායකය – අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයයි. එය ආණ්ඩුකාරවරයාට වගකිව යුතුය. රාජ්‍ය සේවය හා අධිකරණ සේවය පිහිටුවන ලදි.”

“ඒ අනුව සොල්බරි ව්‍යවස්ථාව 1946 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මඟින් අනුමත කර නිදහස් පනත 1947 දී හඳුන්වා දී එම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුව හා සෙනෙට් සභාව ස්ථාපිත විය. සොල්බරි ව්‍යවස්ථාව යටතේ අග්‍රාණ්ඩුකාරයාට (රැජිනගේ නියෝජිත) වගකියන අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය විධායකය ලෙසත් පාර්ලිමේන්තුව හා සෙනෙට් සභාව ව්‍යවස්ථාදායකය ලෙසත් අධිකරණ සේවා කොමිසම මඟින් පත්කරන පහළ අධිකරණ විනිසුරුවරුන් හා උපරිමාධිකරණ විනිසුරුවරුන් ආණ්ඩුකාරවරයා විසින් පත්කරන අධිකරණයකින් ද සමන්විත විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මූලධර්ම අනුව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙක බලතල අභිබවා නොයන එකකට එකක් තිරිංග ලෙස  ක්‍රියාකිරීමෙන් මොන්ටෙස්කියු න්‍යාය ක්‍රියාත්මක විය. 1947 සිට 1972 මැයි 22 දක්වා සොල්බරි ව්‍යවස්ථාව යටතේ රට පාලනය විය. මෙම ව්‍යවස්ථාව යටතේ අවසන් අධිකරණ බලය හිමිවූයේ බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයටයි. ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ ඩොමිනියන් තත්වයයි. මෙම ව්‍යවස්ථාව බ්‍රිතාන්‍යයන් විසින් අපට හඳුන්වාදුන් ව්‍යවස්ථාවක් විනා අප විසින් සම්පාදනය කරන ලද ව්‍යවස්ථාවක් නොවේ. එහි 29 (2) (3) (4) උපවගන්ති මඟින් නීති පැනවීමේ සීමා පනවා තිබුණි.”

“1970 පැවැති මහා මැතිවරණයේදී සමගි පෙරමුණ විසින් ජනතාව ඉදිරියේ තබන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිශ්චිතව සඳහන් වූ අයුරු ජනතාව විසින් මෙම මැතිවරණයේදී ලබාදෙන ජනවරම අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපනය කරන බව සඳහන් කර ලබාගත් පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ජනවරමින් වසර දෙකක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මඟින් කෙටුම්පත් කරන ලද 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදෙන ලදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ඇමති ලෙස ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාත් නොයෙල් තිත්තවැල්ල කමිටු ලේකම් ලෙසත් කටයුතු කරන ලදි. මෙම ව්‍යවස්ථා සම්පාදනයේදී එක්සත් ජාතික පක්ෂය, ෆෙඩරල් පක්ෂය වැනි පක්ෂ වෙනස් මතයක් ගන්නා ලදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා ලංකා කොමියුනිස්ට් පක්ෂය සමඟි පෙරමුණු රජයේ හවුල්කාර පක්ෂයන්ය. මෙම ව්‍යවස්ථා සම්පාදනයේදී නීති විශාරදයන්ගේ නීති තර්ක අභිබවා ගොස් ජනතාව කෙරෙන් ලබාගත් ජනවරම පදනම් කරගෙන ඩොමිනියන් තත්වයෙන් මිදී බ්‍රිතාන්‍යයට වග නොකියන ශ්‍රී ලාංකීය ජනතාව කෙරෙහි වූ ජනතා පරමාධිපත්‍යයෙන් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලය ක්‍රියාත්මක විය.”

“1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදන මෙලෙස සඳහන් කර ඇත. “ශ්‍රී ලංකාවාසී වූ අපි ජනතාව කෙරෙන්ම ලබාගන්නා වූ බලයත් අධිකාරයත් ඇත්තාවූ ද ශ්‍රී ලංකාවෙහි මුඛ්‍ය නීතිය බවට පත්වන්නාවූ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  පනවම්හ ” මේ සඳහා “අප විසින් පිහිටුවා ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය මඟින් ක්‍රියාකරමින් ——— යනුවෙන් සඳහන් කර ඇත. මින් පැහැදිළි වන්නේ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ප්‍රතිපාදන නොතකා (සොල්බරි ව්‍යවස්ථාව අප විසින් සම්මත කරන ලද්දක් නොව බ්‍රිතාන්‍යයන් විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද්දකි.) 1970 සමගි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයට අනුව ජනතාවගෙන් ලබාගත් ජනවරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීමත් එමගින් 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ බවයි.”

“එමනිසා 1972 ජනරජ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම හා ව්‍යවස්ථා සම්පාදනය 1970 මහ මැතිවරණයේදී ජනතාවගෙන් ලබාගත් බලය හා ජනවරම අනුව සිදුකරන බව 1972 ව්‍යවස්ථාවේ පෙරවදනින්ම සඳහන් කර ඇත. මෙම ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය මගින් ශ්‍රි ලංකා ජනරජය ඒකීය රජයක් බවත් 3 වන වගන්තිය මගින් ශ්‍රි ලංකා ජනරජයේ පරමාධිපත්‍යය පිහිටා ඇති බවත් එය අත්හළ නොහැකි බවත් අන්සතු කළ නොහැකි බවත් සඳහන්ව ඇත. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් තෝතෝරාපත්කරගත් ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සභාවක් මගිනි. 1972 ව්‍යවස්ථාවේ 5 වන වගන්තිය මගින් දක්වා දක්වා ඇත්තේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය හා රටේ ආරක්ෂාව ඇතුඵ විධායක බලතල ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය මගින්ද ජනතාවගේ අධිකරණ බලය නීතියෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද අධිකරණ හා වෙනත් ආයතන මගින්ද ක්‍රියාත්මක කරන්නේ ජාතික රාජ්‍ය සභාවයි . මෙම ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායක බලය විධායක බලය හා අධිකරණ බලය ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට ප්‍රමුඛතාවය ලබාදී ඇත.”

“එමනිසා 1972 ව්‍යවස්ථාව සොල්බරි ව්‍යවස්ථාවෙන් වෙනස් වේ. දෙවන මන්ත්‍රණ සභාව (සෙනෙට් සභාව) අහෝසි කර ඇත. තවද 1972 ව්‍යවස්ථාවේ 6 වන වගන්තිය අනුව ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. වෙනත් ආගම් වල මූලික අයිතිවාසිකම් 18(1)ඈ වගන්තිය යටතේ තහවුරු වන අතර බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුය.”

“මෙම වගන්තිය මගින් ජනගහනයේ 70%ට අධික වූ බෞද්ධ ජනතාවගේ ආගම වූ බෞද්ධාගම  ආරක්ෂා කරන අතර  වෙනත් ආගම්වල මූලික අයිතීන් ආරක්ෂා කර ඇත. මෙම වගන්තිය මගින් 1505 පෘතුග්‍රීසින්ගේ ආක්‍රමණයේ සිට එනම් සියවස් 5 ක කාලයක සිට බුද්ධාගමට තිබූ අනාරක්ෂිත තත්වයට ව්‍යවස්ථාමය පිළියමක් යොදා ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිට සඟ, වෙද ,ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ පලමුවෙන් සඳහන් වන්නේ ගරුතර මහා සංඝයා වහන්සේය. තවද බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම නිසා වෙනත් ආගම් ඇදහීමට හෝ මූලික අයිතිවාසිකම් කඩවී නොමැත. සියඵ  ආගමිකයින් සහජීවනයෙන් සිටින බවද පෙන්වා දියයුතුය.”

“1977 ජුලි 21 දින මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ ප්‍රකාශනයෙන් ජනතාවගෙන් ලබාගත් ජනවරම අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම, සම්මත කිරීම සිදුකරන බවත් ජනවරම අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන බව පෙරවදනේ පැහැදිළිව සදහන් කර ඇත. එනම් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම 1972 ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුගමනය කරමින් හා ජනතාවගේ ප්‍රකාශිතවම ලබාගත් 5/6 ක බහුතර ජනවරම හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින් 1978 ව්‍යවස්ථාව සකසා සම්මත කළ බව පෙන්වාදී ඇත. මෙම ව්‍යවස්ථාවේ 2 වන වගන්තිය ශ්‍රි ලංකා ජනරජයේ  ස්වභාවය එනම් ශ්‍රි ලංකා ජනරජය ඒකීය ජනරජයක් බව දක්වා ඇත. 3 වගන්තිය මගින් ශ්‍රි ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව  කෙරෙහි පිහිටා ඇති බවත් පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවත් දක්වා ඇත. මෙම වගන්තිය 1972 ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය අනුගමනය කර ඇති අතර මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුලත් කර ඇත.1978 ව්‍යවස්ථාවේ   4 වන වගන්තිය ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය  දක්වා ඇත.  4(අ) ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරාපත්කර ගන්නා ලද මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද 4(ආ) විධායක බලය රටේ ආරක්ෂාවද ඇතුඵ ජනතාවගේ විධායක බලය ජනරජයේ ජනාධිපතිවරයා විසින්ද 4 (ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද අධිකරණය විසින්ද ක්‍රියාත්මක වේ.”

“පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය හා ජනරජයේ ඒකීයභාවය ආරක්ෂා කරන්නාවූ වගන්ති ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන වගන්තිය මගින් ව්‍යවස්ථාදායක බලයත් 76(1) වගන්තිය මගින් ව්‍යවස්ථාදායක බලය පවරා දීම සම්බන්ධයෙන් දක්වා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්නොහළ යුත්තේය. කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේය. කවර වූ හෝ ව්‍යවස්ථායක බලයක් ඇති කිසිම අධිකාරියක් පාර්ලිමේන්තුව විසින් නොපිහිටවිය යුත්තේය යනුවෙන් සඳහන් වේ.”

“ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද 13 වන ව්‍යවස්ථා සංශෝධනය,17 වන සංශෝධනය, 18 වන සංශෝධනය, 19 වන සංශෝධන මගින් ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ බලයට සිදුවී ඇති බලපෑම සලකා බැලිය යුතුය.”

“මෙහිදී 13 වන ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා  පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2, SLR 87 නඩු තීන්දුවේ අර් ථනිරූපන හා හේතු දැක්වීමද තීරණයට එළඹීමට පාදක වූ කරුණු ද විග්‍රහ කරගත යුතුය. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සඳහා අග්‍රවිනිශ්චයකාරතුමා වූ එස්.ෂර්වානන්ද විනිශ්චයකාරතුමා ඇතුඵ විනිශ්චයකාරවරුන් 9 දෙනෙකු සහභාගී වී ඇත. අග්‍රවිනිශ්චයකාරතුමා සහ තවත් විනිශ්චයකාරතුමන් 4 දෙනෙකු 13 වන සංශෝධනය හා පළාත් සභා පනත සඳහා 2/3 ක බහුතර ඡන්දය ප්‍රමාණවත් බැවින් ජනමත විචාරණයක් අවශ්‍යය නොමැති බවත් පෙන්වා දී ඇත. ආර්.එස් වනසුන්දර විනිශ්චයකාරතුමා ප්‍රමුඛව විනිශ්චයකාරවරුන් 4 දෙනෙකු 2/3 ප්‍රමාණවත් නොවන බැවින් ජනමත විචාරණයක් අවශ්‍ය බවත් තීරණය කර ඇත. මෙම නඩුවේදී එවකට දිවයිනේ සියළුම ප්‍රසිද්ධ අධිනීතිඥවරුන් දෙපාර්ශවයටම පෙනීසිට ඇති අතර එම හේතුවෙන් ප්‍රබල නීති තර්ක හා මූලධර්ම රාශියක් සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත් වර්තමාන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී එම නඩු තීන්දුවේ සාකච්ඡා කර ඇති මූලධර්ම, නඩු තීන්දු හා වාර්තා වැදගත්ය.”

“The term “Unitary” in article 2 is used in contradistinction to the term “Federal” which means an association of semi autonomous units with a distribution of sovereign powers between the units and the centre. In a unitary state the national government is legally over all other levels. The essence of a unitary state is that the sovereignty is undivided. In other words , that the powers of the central government are unrestricted. The two essential qualities of a unitary state are:-
I.    The supremacy of the central parliament
II.    The absence of subsidiary sovereign  bodies
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 75 හා 76 (1) මෙයට අදාල වේ.
Dr. Wheare in his book “Modern Constitutions “brings out the distinction at page 19.
“In a federal Constitution the powers of government are divided between a government for the whole country and governments for parts of the country in such way that each government is legally independent within its own sphere.”-”

“මේ අනුව පළාත් සභා වලට ලැබෙන විධායක බලය විධායක ජනාධිපතිතුමා විසින් ආණ්ඩුකාරතුමාට ලබාදීමත් එම බලය ප්‍රධාන ඇමති හා ඇමති මණ්ඩලයට ලබාදීමත් සිදු වේ. එමගින් පළාත් සභා වලට විධායක බලය ලැබුනත් එය ජනාධිපතිගේ අවසාන පාලනයට යටත්ය. එම ව්‍යවස්ථාදායක බලයට 154G(2) හා (3) (2/3 පාර්ලිමේන්තු බලය) හැර පාර්ලිමේන්තුවේ පාලනයට යටත් බැවින් ෆෙඩරල් ස්වරූපයක් 13 වන සංශෝධනයෙන් පළාත් සභාවලට නොලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර මතය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 154G(2) හා (3) මගින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට  සීමාවක් නොවන බවත් ඉන් සිදුවන්නේ කාර්යපටිපාටිමය සීමාවක් බවයි. පළාත් සභාවක විධායක බලය 154(C) අනුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් සෘජුව හෝ පළාත් අමාත්‍ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරයි. ආණ්ඩුකාරතුමා පත්කරනු ලබන්නේ විධායක ජනාධිපති  විසිනි. ජනාධිපතිතුමාට විධායක බලයෙන් ලැබෙන්නේ ජනාධිපති මැතිවරණයකදී ජනතාවගෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය. ජනාධිපතිතුමා විධායක බලය පළාත් ආණ්ඩුකාරවරයාට නියෝජනය කරයි. (DELEGATE) අධිකරණ බලය ව්‍යවස්ථාවේ 4(ඇ) වගන්තියට බලපෑමක් නොමැති බව බහුතර තීරණයෙන් දක්වා ඇත. පළාත් මහාධිකරණය පිහිටුවීම අධිකරණ ව්‍යූහය තුල සිදුවන්නකි. අධිකරණය ප්‍රාදේශීයව ජනතාවට සමීපකර ඇත.”

“The Centre Continues to be Supreme in the judicial area and the Provincial council has no control over the Judiciary functioning in the province.”

“මෙම නඩු තීන්දුවේ බහුතර මතය වූයේ ශ්‍රි ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක් ලෙස තවදුරටත් පවතින බැවින් 13 වන සංශෝධනය මගින් ඒකීය භාවයට අගතියක් නොවන බවත්ය.”

“In Our view the Republic of Sri Lanka will continue to be unitary state and the Bills in no way affect its Unitarians devolution and Decentralization.”

“බලය බෙදීම හා විමධ්‍යගත කිරීම ගැන මෙහිදී සාකච්ඡා කර ඇත. බලය බෙදීම යනු රජයේ උත්තරීතරභාවය අත්නොහැර මධ්‍යම රජයේ බලය නියෝජනය (Delegate) කිරීමකි.”

“බලය බෙදීම ව්‍යවස්ථාදායක හෝ පරිපාලන විය හැක. හෝ ඒ දෙකම විය හැක.”

“මහා බ්‍රිතාන්‍යයයේ බලය බෙදීම එහි ඒකීය භාවයට බලපෑමක් වී නැත.ලිඛිත ව්‍යවස්ථාවක් නැත.”

“Devolution of parts of the United Kingdom would not affect the unity of the UK or the power of the parliament to legislate for all or any part of UK or to repeal  amend  the revolutionary amendments themselves. Hood Philips constitutional and Administrative Law 6th Ed.At page 716.”

“ව්‍යවස්ථා සංශෝධනය යනු කුමක්ද?
The word amendment postulates that the old constitution survives without loss of its identity despite the change and continues, even though it has been subjected to alterations as a result of the amendment. The old constitution cannot be destroyed and done away with it is retained though in the amended form.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම ගැන 1972 ජනරජ ව්‍යවස්ථාවේ 51 වගන්තිය හා 1978 ව්‍යවස්ථාවේ 82 වගන්තියේ දක්වා ඇත.”

“මෙම නඩු තීන්දුවේ (2SLR87) පටහැනි (descending Judgment) මතයක් ඉදිරිපත් කළ වනසුන්දර විනිශ්චයකාරතුමාගේ මතය වන්නේ 13වන සංශෝධනය මඟින් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය  සහිත  ස්වාධිපත්‍යය ආයතන බිහිවන බැවින් 2/3 ඡන්දයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.”

“එතුමන්ගේ මතය අනුව 1978 ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11 සහ 83 සහ 30(2), 62(2) සංශෝධනය කළ හැක්කේ 2/3 බහුතර බලයට අමතරව ජනමත විචාරණයකින් පමණි. තවද 1978 ව්‍යවස්ථාවේ පෙරවදන මඟින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන සඳහන් කර ඇත.”

“මේ අනුව 1978 ව්‍යවස්ථාවට ගෙන ආ 13වන සංශෝධනය සම්බන්ධ මෙම නඩු තීන්දුවේ සාකච්ඡා කර ඇති මූලධර්ම, සංකල්ප මෙවැනි අවස්ථාවක සාකච්ඡා කිරීම වැදගත් බව පැහැදිළි කර දිය යුතුය. තවද 17, 18, හා 19 සංශෝධන වල  බලපෑම් ද සඳහන් කිරීම වැදගත්ය.”

“17 ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම හා ස්වාධීන කොමිෂන් සභාව මඟින් ජනාධිපති සතු විධායක බලය හීන කර ඇත. 18වන සංශෝධනය 17හි තත්වය වෙනස් කළද 19 සංශෝධනය මඟින් නැවත එම තත්වය උදා කර ඇත. ”

“19 සංශෝධනය 17න් ඔබ්බට ගොස් ඇත. විධායක බලතල ව්‍යවස්ථාදායක සභාවට හා ස්වාධීන කොමිෂන් සභාවලට පවරා ඇත.”

“19 ව්‍යවස්ථා කෙටුම්පතේ 11වන වගන්තිය අනුව 1978 ව්‍යවස්ථාවේ ජනපති සතු විධායක බලය
42 (3), 43 (1), 43 (3), 44 (2), 44 (3), 44 (5) සංශෝධන මඟින් විධායක අගමැතිවරයකු නිර්මාණය කිරීමට දැරූ ප්‍රයත්නය එම අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රී පවන් අග්‍රවිනිශ්චයකාරතුමන්ගේ තීන්දුව මඟින් ජනමත විචාරණයක අවශ්‍යතාවය දැක්වූ නිසා නොහැකි විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 (ආ) සංශෝධනය කිරීමෙන්ද මෙය කළ හැකිව තිබුණද ජනමත විචාරණයක් මඟ හැරීමට ඉහත වගන්ති සංශෝධනය යෝජනා කළා විය හැක.”

“1987 දී 13වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීම සඳහා එදා 5/6ක එක්සත් ජාතික පක්ෂයට බලය තිබුනා වුවද මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපි ලබාගෙන තිබුණි. කොළඹ Oberioi හෝටලයට කැඳවූ මන්ත්‍රීවරු යුධටැංකිවල හා හමුදා ආරක්ෂාව ඇතිව පාර්ලිමේන්තුවට ගෙනගිය බව සිහිපත් කළ යුතුය.”

“වර්තමානයේ විධායක ධූරය අහෝසි කිරීම මෙහෙයුම් කමිටු වාර්ථාවේ ප්‍රධාන කරුණකි. 1978 සිට විධායක ධූරය අහෝසි කළ යුතු බවට විරුද්ධ පක්ෂ හා වාමාංශික පක්ෂවල මතය විය. එහෙත් 13වන සංශෝධන නඩු තීන්දුවෙන් පසු නැවත ඒ ගැන සලකා බැලිය යුතුය. ඉහත විස්තර කළ 2SLR87 නඩු තීන්දුවේ පැහැදිළිව ප්‍රකාශකර ඇත්තේ ජනතාවගේ විධායක බලය ජනතාවගේ ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති දරණ නිසාය. පළාත්සභාවට ආණ්ඩුකාරතුමා හරහා ලැබෙන්නේ එම බලය බැවින් ජනතා පරමාධිපත්‍යට අගතියක් නොවන බවයි. එසේනම් බලය 13න් එහාට බෙදීම කරන යෝජනා සමඟ විධායක ධූරය අහෝසි කිරීම ගැන සලකා බැලිය යුතුය.”

“විධායක ධූරය අහෝසි කිරීම ගැන 2015/01/08 වන දින ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් කළ “මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්” ප්‍රකාශනයේ පටුනේ 01 ලෙස සඳහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක්( පිටු 13 )යනුවෙනි.”

“පෙරවදන මෙසේය.
“ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 සහිතව සම්මත කිරීම සඳහා නායකත්වය ලබාදිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය.” මා මෙවර ජනාධිපතිවරණයට රටේම ජනතාවගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම සඳහාය. (13 පිටුව)
අසීමත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යටතේ සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවයි.”-”

“මෙම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීමට මා හට හැකිය. ……………මෙම සංශෝධනය අනිවාර්යෙන්ම සිදුකරන්නෙමි.”

“මෙහිදී 19වන සංශෝධනය ගැන සඳහන් කර ඇත. 19 වන සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 142 ක සහයෝගයෙන් සම්මත කර ඇත.
තවද මෙසේ සඳහන් කර ඇත.”

” එනම්,
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ හැකි ව්‍යවස්ථා වගන්තිවලට මෙම යෝජිත ව්‍යවස්ථා සංශෝධනයේදී අත නොතබන බවට මම සහතික වෙමි. එමෙන්ම රටේ ස්ථාවරභාවය, ආරක්ෂාව හා ස්වෛරීත්වය සඳහා ඇති ඉඩකඩ වැඩිදියුණු වන්නා වූ සංශෝධනයක් මිස ඊට හානිකර වන්නා වූ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවටද මම සහතික වෙමි. (14 හා 15 පිටු)
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට සහතික වී ඇත. (15 පිටුව)”

“1972 දී හා 1978 දී සිදු කළාක් මෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට බලයට පත්කරන රජයට ජනතා වරමක් ලබා ගැනීම කළ යුතුය. මේ අනුව 2015/08/18 දින පසුගිය මහ මැතිවරණයේ දී දැනට සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (එක්සත් ජනතා නිදහස් සන්ධානය) ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ ගැන ඇති ප්‍රකාශ විපරම් කළ බැලිය යුතුය.”

“එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබුණේ “මාස 60න් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය” ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. මෙහි කිසිම තැනක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන හෝ විධායක ධූරය අහෝසි කරන බවවට සඳහනක් නැත.”

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානය පසුගිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “රටට පණ දෙමු අලුතෙන් පටන් ගමු” “අනාගතයට සහතිකයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් තැනීම හෝ විධායක ධූරය අහෝසි කිරීම ගැන සඳහනක් නැත. එම ප්‍රකාශනයේ 7වන පිටුවේ 1.7 ලෙස මෙසේ සඳහන්ව ඇත. ”

“-“ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා ඒකීය රටක් තුළ සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කෙරෙන සාධාරණ දේශපාලන විසඳුමක් ලබා දීමේ අරමුණින් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට නොයන පළාත් සභා පළාත් පාළන ආයතන වඩා ශක්තිමත් කෙරෙන දේශපාලන විසඳුමක් සඳහා අවතීර්ණ වීම අපගේ අරමුණයි. ඒ සඳහා පළාත් සභා සහ පාර්ලිමේන්තු නියෝජිතයන් ජාතික තලයේ දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශවයන් සමඟ රජය පත්වී මසක් ඇතුලත සාකච්ඡා ආරම්භ කරන අතර මාස 06ක් ඇතුලත විසඳුමක් යෝජනා කිරීමට අපි සහතික වෙමු.”-”

“එම ප්‍රකාශනයේ 51 වැනි පිටුව දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන සඳහන් කර ඇත. එනම් විධායකධූරයේ බලතල සංශෝධනය කිරීම. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම.”

“මේ හැර වෙන කිසිවක් සඳහන් කර නැත.”

“එසේ නම් ජනාධිපතිතුමාට හෝ එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ නව ව්‍යවස්ථාවක් පැනවීමේ ජනවරමක් 2015/08/18 පසුගිය මහ මැතිවරණයේ දී ලැබී ඇතිද?”

“එවිට 1972 ව්‍යවස්ථාවේ හෝ 1978 සඳහන් අයුරු ජනතාව විසින් දෙන ලද බලය හා ජනවරම අනුව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව සඳහන් කළ හැකිද?”

“චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ පාලන සමයේ 2000/08/03 දින එවකට අධිකරණ, ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා කටයුතු, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා වන මහාචාර්‍ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කොට ඒ වෙනුවට වෙනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතියෝජනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගත්තේ කෙසේද? 1994 මැතිවරණ ප්‍රකාශනයේ නව ව්‍යවස්ථාවක් ගැන සඳහන්ව නැත.තවද 2/3 කට ජනවරමක් ලැබුණේද නැත.”

“එම 20‍00 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ පෙරවදන මෙසේය.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ස්වරූපයෙන් හෙබි උත්තරීතර නීතියක් පදනම් කරගෙන
රාජ්‍යානුශාසනයේ නියුක්ත ආයතන ශක්තිමත් කරන්නාවූද පුළුල් ලෙස බලය බෙදාහැරීමක් තහවුරු කරන්නාවූද  යනාදී වශයෙන් සඳහන් කර ,
“ශ්‍රී ලංකාවාසී ජනතාව වූ අපි අපගේ ස්වෛරී ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කිරීමෙහි ලා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංශෝධනය කරම්හ”
මෙයින් පැහැදිළි වන්නේ ජනතාවගෙන් ලබාගත් ජනවරමක් නොමැතිව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කර ඇති බවයි. මෙම කෙටුම්පතේ පළවන පරිච්ඡේදයේ රජය යන්න දක්වා ඇත්තේ මෙසේය.”

“01.    (1) ශ්‍රී ලංකා ජන රජය එකම නිදහස් ස්වාධිපති ස්වාධීන රාජ්‍යයකි. එහි මධ්‍යම ආණ්ඩුවේ ආයතන වලින් සහ පළාත් ආයතන වලින් සමන්විත වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති පරිදි බලතල එකී ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලැබිය යුත්තේය.
(2) ජනරජයේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍ය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම ද ශ්‍රී ලංකා සමාජයේ බහු වාර්ගික, බහු භාෂාමය, සහ බහු ආගමික ස්වභාවයන් පිළිගනිමින්”යනුවෙන් සඳහන්ව ඇත.
ජනතාවගේ පරමාධිපත්‍ය
01.    (අ) ජනතාවගේ විධායක බලය අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස්මත ක්‍රියාකරමින් ජනරජයේ ජනාධිපතිවරයා විසින් ද ඒ ඒ ප්‍රධාන අමාත්‍යවරුන්ගේ හා පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත ක්‍රියා කරමින් ආණ්ඩුකාරවරයා විසින් ද ක්‍රියාත්මක කරනු ලැබේ. මෙමඟින් විධායක බලය පළාත් ආණ්ඩුවලට සමානුපාතිකව බෙදාහැර ඇත.

02.    2(අ) ව්‍යවස්ථාදායක බලයද පළාත් සභාවලට බෙදා හැර ඇත.

03.    (1)    ජනරජයේ භුමි ප්‍රදේශය පළාත් වලින්ද, යනුවෙන් සඳහන්ව ඇත.”

“1978 ව්‍යවස්ථාවේ – 9වන වගන්තියද 2000 කෙටුම්පතේ 7 (11) සහ(2) යනුවෙන් සඳහන් කර ඇත.
මේ අනුව 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන්ද නව ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලද බව පෙරවදනේ සඳහන් කර නැත. විධායක ,ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය මධ්‍යය හා පළාත් අතර බෙදී යනු ඇත. විවාදය අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු විසින් කෙටුම්පත පුළුස්සා දමන ලදී.රජය කෙටුම්පත ඉල්ලා අස් කර ගත්තේය.”

“මා මෙහි සදහන් කළේ අප රටේ බ්‍රිතාන්‍ය යුගයේ සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විකාශනය හා බලය බෙදීම සම්බන්ධ මූලධර්ම හා ඒවා ඒ ඒ ව්‍යවස්ථාවල නීතිගත කර ඇති අයුරුත් විශේෂයෙන් 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් ඇරඹි අපේම වූ ව්‍යවස්ථා සම්පාදනයේදී එම ව්‍යවස්ථාවල දේශපාලන පක්ෂ නායකයන් හා සම්පාදකයින් ක්‍රියා කර ඇති ආකාරය පෙන්වා දීමටයි.”

“1977 ලබාගත් 5/6 ක ජනවරමක් තිබියදීත් 1987 ඉන්දු ලංකා ගිවිසුම අනුව 13 සංශෝධනය හා පළාත් සභා පනත ගෙන ඒමේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියා කළේ 2 SLR 87 නඩු තීන්දුවේ සඳහන් කර ඇති අයුරුම ඉතා සූක්ෂම ලෙස මධ්‍යම රජය හීන නොකර බලය බෙදීමයි. 154 G (2) (3) (විශේෂ බහුතරය 2/3 )හැර විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ජනතා පරමාධිපත්‍යට රැකදීමෙනි. වර්තමාන නායකයන් මෙය ආදර්ශයට ගතයුතුව ඇත. මෙම වගන්තිය තුළ මුලින් සඳහන් කළ අද විවාද කරන මෙහෙයුම් කමිටු අතුරු වාර්ථාවේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය 1 (අ) ඇමුණුම මඟින් දක්වා ඇත. ඒ අනුව 1, 2, 3, 4, 5, 6, 8 වගන්ති එලෙස පැවතිය යුතුය. මෙය ව්‍යවස්ථාවේ සඳහන්ව ඇති බැවින් නැවත සදහන් කරනු නොලැබේ.”

“1978 ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය කිසිඳු සංශෝධනයකින් තොරව 1978 ව්‍යවස්ථාවේ පවතින ආකාරයෙන් පැවතිය යුතුය. 1987 2SLR (පිටුව 405) වනසුන්දර විනිශ්‍චයකාරතුමා දක්වා ඇත්තේ පළාත් සභා ලේඛනයේ 25 (2) පෞරාණික ස්ථාන ගණයට බෞද්ධාගමික සිද්ධස්ථාන ඇතුලත් නොවන නිසා 9 වන වගන්තිය වැදගත් වන බවයි.”

“අතුරු වාර්තාවේ 5.1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙනම පිහිටුවීමට එකඟ නොවන අතර ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් පත්කරන විනිශ්‍චයකාරවරුන්ගෙන් සමන්විත ව්‍යවස්ථා අධිකරණයක් විය යුතුයි.”

“7. ආණ්ඩුකාරවරයාට විධායක බලතල ලැබෙන්නේ විධායක ජනාධිපතිවරයාගෙනි පත්කරන්නේද විධායක ජනාධිපති විසිනි. ජනාධිපති ධූරය අහෝසි කිරීමට යෝජනා කරන අතරතුර ආණ්ඩුකාර බලතල සම්බන්ධයෙන් 2 SLR 87 නඩු තීන්දුවේ දක්වා ඇති කරුණු සැලකිල්ලට ගතයුතුව ඇත. 20වන ඡේදය ඉවත්කළ යුතුය. ඉඩම් හා පොලිස් බලතල ගැන කෙටුම්පත් කරන විට නැවත සාකච්ඡා කළ යුතුය. දෙවන මන්ත්‍රණ සභාවේ සංයුතිය ගැන වෙනම යෝජනා කර ඇත.”

“කිසිවිටෙක පළාත් දෙකක් ඒකාබද්ධ නොකළ යුතුය යන්න අපගේ ස්ථාවරයයි.
සමගාමී ලැයිස්තුව සම්පූර්ණයෙන් අහෝසි නොකළ යුතුය. දකුණු අප්‍රිකාව, ඉන්දියාව වැනි රටවලටද සමගාමී ලැයිස්තුවක් ඇත.”

“මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙනී සිටී. කේවල 60% හා අනුපාත 40% අනුව යෝජිත මන්ත්‍රීවරු 233 න් සමන්විත ක්‍රමය සඳහා බොහෝ දුරට එකඟවිය හැක.”

“විධායකධූරය අහෝසිකර මිශ්‍ර මැතිවරණ ක්‍රමයට යන විට රට තුළ ස්ථාවර පාලනයක් ගෙනයාම ගැන කල්පනා කළ යුතුය.”

“2015 දී ගෙනා 19 වන සංශෝධනය ජනාධිපති බලතල හීනකර විධායක අගමැති පත්කිරීමට වූ වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ නිසා 1978 ව්‍යවස්ථාවේ 4 (ආ) මඟ හැර විධායක අගමැතිවරයෙකු පත්කිරීමට ගත් උත්සාහය වැළකුනේ විධායක බලය නියෝජනය කළහැකි වුවත් (පළාත් ආණ්ඩුකාර) විධායක බලය අගමැතිට පවරාදිය නොහැකි බව ප්‍රකාශ වීමෙනි. ඊට හේතුව ජනතාවගේ පරමාධිපත්‍යය ජනතා ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපතිට මිස දිස්ත්‍රික්කයකින් පත්වන අගමැතිවරයෙකුට පවරාදිය නොහැක.”

“20 වන සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ජනමත විචාරණයක් අවශ්‍ය බව පෙන්වා දෙනු ලැබීය. ඉන්පසු පළාත්සභා වල කාන්තා නියෝජනය වැඩි කිරීමට ගෙනා සංශෝධනය සමඟ තෙවන වර කියවීමේදී පළාත්සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, 50% – 50% මිශ්‍ර මැතිවරණ ක්‍රමය හරහා පළාත්සභා මැතිවරණ කල්දැමීම, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපේද? ස්ථාවර පළාත් සභාවක් සෑදිය හැකිද? මෙවැනි ව්‍යවස්ථා සම්පාදනයේදී අත්දැකීම් ඇති මෙරට ජනතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දෙස බලන්නේ සැක සහිතවය. මෙහෙයුම් වාර්තාව දෙස එලෙස බලන්නේ ඉහත සඳහන් පෙර අත්දැකීම්ද පදනම් කරගෙනය. ව්‍යවස්ථා සම්පාදකයන් මේ ගැන අවධානය යොමු කළ යුතුය. මෙම තත්වය මඟහැරීමට වෙනත් බොහෝ රටවල මෙන් ව්‍යවස්ථා පැනවීමෙන් පසු සති 2 තුළ අධිකරණයට යාමට ආයතනයකට හෝ පුරවැසියෙකුට අයිතිය ලැබෙන නෛතික ප්‍රතිපාදන ගෙනා යුතු බව මගේ හැඟීමයි.
මෙම මෙහෙයුම් කමිටු වාර්තාව සමඟ වෙනත් පක්ෂවල ප්‍රතිචාරද අමුණා ඇත.  ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දේශපාලන පක්ෂ 4 ක් විධායකධූරය අහෝසි කිරීමට විරුද්ධය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට සියළුදෙනා එකඟය. එසේනම් ඉහත කී සියළු කරුණු සළකාබලා නව ව්‍යවස්ථාවක් අවශ්‍යද? ඒ සඳහා 1972 හා 1978 මෙන් ජනවරමක් තිබේද? බලය බෙදීම මැතිවරණ ක්‍රම සංශෝධන සමඟ ස්ථාවර රටක් පවත්වාගෙන යන්නේ කෙසේද? යන්න ගැඹුරින් සළකා බැලිය යුතුය. එසේනම් ජනමත විචාරණයකින් තොර 2/3 බහුතරයකින් ගෙන ආ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දැනට ප්‍රමාණවත්ද යන්න විමසිල්ලට බඳුන් කළ යුතුය. මේ සියළු කරුණු සමඟ දුර්වල මධ්‍යම රජයක් හා ප්‍රබල පළාත්  ආණ්ඩු නිර්මාණය
වීමෙන් රටේ අස්ථාවරභාවය ඇතිවීමට කැමති බොහෝ බලවේග ඇත. ඔවුන්ට මූල්‍ය පහසුකම් හා තාක්ෂණ පහසුකම් සපයන අයද සිටිය හැක. මෙහිදී ජනමතය නිවැරදිව වටහා ගතයුතුය.”

“ලෝකයේ වෙනත් රටවල මෙවැනි අවස්ථාවල ඇති  වී තිබෙන අර්බුද ගැන සැළකිලිමත් වියයුතුය. (ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රශ්නය)
ජාත්‍යන්තරයට පොරොන්දු ලබාදීමේදී සැළකිලිමත් වියයුතුය. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මීට සම්බන්ධ වී ඇත්ද යන්න කල්පනා කළ යුතුය.
වර්තමානයේ මතුව ඇති සමාජ ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාවට ජනමත විචාරණයක් ලදවිට කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? එහි ප්‍රතිඵලය අනුව මතුවන තත්වය කෙබඳුද? යන්න කල්පනා කළ යුතුය. නව ව්‍යවස්ථාවක් සඳහා අනිවාර්යයෙන් ජනමත විචාරණයකට යා යුතුය. එහිදී ඔව් / නැත යනුවෙන් පිළිතුරු සැපයීමට ප්‍රශ්න කීපයක් ලැබෙනු ඇත. එක් ප්‍රශ්නයකට පමණක් නැත යන පිළිතුර දුන්විට ප්‍රශ්න කීපයටම නැත යන පිළිතුර දෙන සංඛ්‍යාව නිරායාසයෙන් වැඩිවනු ඇත. එනම් ජනමත විචාරණයට නැත යන පිළිතුර ලැබෙනු ඇත.”

“කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ දේශපාලනඥයෙකුට තමන් ලද ජනවරමෙන් පිට කටයුතු කළ නොහැක. එම නිසා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේදී මෙම විවාදයේ පළවන අදහස්, සමාජ කථිකාවන්, ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ අදහස් පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ, සංවිධාන සමඟ පුළුල් කථිකාවකින් පසු කෙටුම්පත් කිරීම සළකා බැලියයුතුය. ”

“1987 දී ව්‍යවස්ථාවේ නෛතික කරුණු හා මූලධර්ම වලට අමතරව එදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට තිබූ දේශපාලන අවශ්‍යතාවය වූයේ විධායක ජනාධිපති ක්‍රමය හා සමානුපාතික නියෝජනය මත හැකිතරම් කළක් එක්සත් ජාතික පක්ෂය තනි පාලනයක් ගෙනයාම විය හැක. එය එතුමාගේ පැත්තෙන් සාධාරණ විය හැක. 13 වන සංශෝධනය ගෙන ආවේ 1987 ඉන්දු – ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසයි. රටේ තිබුණේ ගැටුම්කාරී වාතාවරණයකි.”

” ගැටුම් නිරාකරණය කරගැනීමේ අවශ්‍යතාව සාමාන්‍ය ජනතාවටත් අවශ්‍ය විය. 2000 ව්‍යවස්ථා කෙටුම්පත ගෙනෙන විට එදා ජනාධිපති ලෙස කටයුතු කළ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියටද 13 න් එහාට ගොස් හෝ බලය බෙදා ගැටුම් නැවැත්වී‍මේ අවශ්‍යතාවය තිබුණි. එය 2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි වේ.2009 මැයි 19 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාළයේදී ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ගැටුම් නැවැත්වීය. එහි ප්‍රතිඵල ලෙස කලින් දී තිබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත වෙන්කළ උතුරු, නැගෙනහිර  පළාත් සඳහා පළාත් සභා ඡන්ද පවත්වා 1987 පළාත්සභා පිහිටුවීමේ සිට පැවැත්විය නොහැකිව තිබූ උතුරු, නැගෙනහිර පළාත්සභා ඡන්ද  පවත්වා පළාත් පරිපාලනය ස්ථාපිත කර දැනට වසර (නැගෙනහිර – 2008 සිට, උතුර  – 2013 සිට) කීපයක් ගත වී ඇත. 13 සංශෝධනය යටතේ ඇති බලතල පළාත්සභා මඟින් ක්‍රියාත්මක නොකර එම පළාත්වල (විශේෂයෙන් උතුරු) ජනතාවට බලය බෙදීමේ ප්‍රතිලාභ ලබාදීමට මහ ඇමතිවරයා අපොහොසත් වී ඇත. ඒ වෙනුවට ඇමති මණ්ඩලය හා ගැටුම් ඇතිකරගෙන ඇත. (මාධ්‍ය වාර්තා අනුව) බෙදුම්වාදී අදහස් පළ කරයි.”

“2015 ජනාධිපතිවරණයේදී 1982 න් පසු ප්‍රථම වතාවට LTTE නායක ප්‍රභාකරන් නැති ගැටුම් නැති වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්විණි. 2015 අගෝස්තු මැතිවරණයද එලෙසම පැවැත්විණි. එසේ නම් ගැටුම් අවසන් කළ වාතාවරණයක මෙහෙයුම් කමිටු වාර්තාවේ විකල්ප යෝජනා හා සමහර දේශපාලන පක්ෂවල  යෝජනා ගැන සුපරීක්ෂාවෙන් විග්‍රහ කළ යුතුය. අප රටේ ව්‍යවස්ථා සම්පාදනය විය යුත්තේ අප රටේ බහුතර ජනතාවගේ අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට මිස ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙනත් පිටස්තර අයගේ අභිමතාර්ථ ඉටුකිරීමට නොවේ.”

“මෙහෙයුම් කමිටු වාර්තාවෙන් පසු ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේදී අත්‍යවශ්‍ය අංගයක් වනුයේ විධායකධූරය අහෝසිකර පාර්ලිමේන්තුවේ මැතිවරණ ක්‍රමය 60% – 40% අනුපාතයට පැවැත්වූවිට කිසිම තනි දේශපාලන පක්ෂයකට බලය ලබාගත නොහැකි වනු ඇත. (පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය විග්‍රහ කළවිටද මෙය පෙනීගොස් ඇත) එවිට දුර්වල මධ්‍යම ආණ්ඩුවක් බිහිවනු ඇත. රට අස්ථාවර වනු ඇත. එවිට ජාත්‍යන්තර බලපෑම තවත් වැඩිවනු ඇත. සංහිඳියාව වෙනුවට අරගල හටගනු ඇත. මෙම දේශපාලන කරුණුද සැළකිල්ලට ගතයුතුව ඇත.වර්තමානයේ පොදු ජනතාව පෙළන සමාජ ආර්ථික ප්‍රශ්න වලට ප්‍රමුඛතාවය ලබා දී ව්‍යවස්ථා සංශෝධන ඉන්පසු සැලකිල්ලට ගත හැක.”

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here