අඹගමුව තුනට කැඩුවට සතුට පලවේ…

0

කොට්ඨාශ ක්‍රමය යටතේ අඹගමුව ප්‍රාදේශීය සභාව නව ප්‍රාදේශීය සභා 03 කට වෙන් කිරීම සම්බන්ධව ප්‍රසාදය පළ කරමින් කම්කරු ජාතික පෙරමුණේ සාමාජිකයින් පිරිසක් අද (05) ප.ව. 05.00 ට පමණ මස්කෙළිය නගරයේදී  කිරිබත් අනුභව කරමින් සැමරුම් උත්සවයක් පවත්වනු  ලැබූහ.

කම්කරු ජාතික පෙරමුණේ මස්කෙළිය කාර්යාලය අසලින් ගමන් ආරම්භ කළ පිරිස  ප්‍රධාන වීදිය හරහා ප්‍රධාන බස් නැවතුම්පළ වෙත පෙලපාළියකින් ගමන් කිරීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස කිරිබත් අනුභව කරමින් සතුට පළ කළහ.

මෙම අවස්ථාවට සහභාගී වූ කම්කරු ජාතික පෙරමුණේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරස්වතී සිවගුරු මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ,යහ පාලන රජය යටතේ කොට්ඨාශ ක්‍රමය තුළින් අඹගමුව ප්‍රාදේශිය සභාව කඩා වෙන් කිරීමෙන් කාන්තාවන් ඇතුලු තම නියෝජිතයන් වැඩි පිරිසක් සභාව නියෝජනයට අවස්ථාව ලැබෙන බවත්, ඒ තුළින් පුලුල් ජනතා සේවාවක් සිදුවන බවත්,  එම අවස්ථාව ලබා දීම සම්බන්ධව පළණි දිගම්බරන්, මනෝ ගනේෂන් හා වී.රාධාක්‍රීෂ්ණන් යන අමාත්‍යවරුන්ට ජනතාව වෙනුවෙන් ස්තූතිය පුද කරන බවත්ය. මෙහිදී අදහස් දක්වමින් අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා කම්කරු ජාතික පෙරමුණේ උප සභාපති කණපති නගුලේෂ්වරන්  මෙසේ කීය.

“අඹගමුව හා නුවරඑළිය යන ප්‍රාදේශිය සභා දෙක ලංකාවේ පිහිටි විශාල ප්‍රාදේශිය සභා දෙකක්. මෙම ප්‍රාදේශිය සභා දෙක නව ප්‍රාදේශිය සභාවන් 04 කට කඩා තිබෙනවා. මේ තුළින් ජනතාවට කඩිනම් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව අඹගමුව ප්‍රාදේශිය සභාව මස්කෙළිය හා නෝර්වූඩ් වශයෙනුත්, නුවරඑළිය ප්‍රාදේශිය සභාව කොටගල හා ආගරපතන ලෙස අලුත් ප්‍රාදේශිය සභා 04 ක් ලෙස පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මෙම අවස්ථාව ලබා දීමට කැපවී කටයුතු කළ ද්‍රවිඩ සංධානයේ මනෝ ගනේෂන්, පළණි දිගම්බරන්, වී.රාධාක්‍රිෂ්ණන් අමාත්‍යවරුන්ට මෙන්ම ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයාටත් අපේ ස්තූතිය පුදකිරීම අරමුණු කරගෙන මෙම සැමරුම් උත්සවය පවත්වන්නේ.”

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයෙන් තම පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here