සයිටම් අහෝසි කිරිම කපටි නරියන් බඳු පාලකයින්ගෙන් ආරක්ෂා කරනු! 

0

සයිටම් අහෝසි කිරීම, අධ්‍යාපන විකිණීමේ යහපාලන වුවමණාව පැරදවිම කපටි නරියන් බඳු පාලකයින්ට කිසිසේත් වෙනස් කිරීමට නොහැකි අයුරින් මෙම ජයග‍්‍රහණය ආරක්‍ෂා කළ යුතුබව ජාතික භික්‍ෂු පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

සයිටම් අහෝසි කිරීම, අධ්‍යාපන විකිණීමේ යහපාලන වුවමණාව පැරදවූ ජනතා ජයග‍්‍රහණයක්

නිදහස් අධ්‍යාපනයට මාරකයක් ලෙසින්, රටට මහා පිළිලයක් වෙමින්, ජනතාවට මහා පිඩාවක් ඇතිකළ සයිටම් හොර උපාධි කඩය ලෙස නාමකරණය වූ සයිටම් ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුව ගත් තීරණය අධ්‍යාපනය විකිණීමේ යහපාලන වුවමණාව පැරදවා ජනතාව ලැබු උසස් ජනතා ජයග‍්‍රහණයක් බව ජාතික භික්‍ෂු පෙරමුණ අවධාරණය කර සිටින්නෙමු.

වෛද්‍ය උපාධිය මුදලට අලෙවි කිරීම සඳහා ආරම්භ කළ සයිටම් උපාධි ආයතනයටත්, එය පදනම් කරගෙන අධ්‍යාපනය විකිණීමේ ආණ්ඩුවේ වුමනාවමට එරෙහිවත් ආරම්භයේ පටන්ම විරෝධී වූ සංවිධානයක් ලෙස ජාතික භික්‍ෂු පෙරමුණත් සිය කි‍්‍රයාකාරිත්වය බොහෝ සෙයින් මුදාහරින ලදි. ජනතා පෙත්සම් අත්සන් කරමින්, රට පුරා භික්‍ෂු සමුළු පවත්වමින්, බැනර් ප‍්‍රදර්ශනය කරමින්, ජනතා රැුළිවලට සම්බන්ධ වෙමින්, සයිටම් අර්බුදයට විසඳුම් සෙවීමේ මහජන කොමිෂම හමුවේ සාක්‍ෂි ලබාදෙමින්, මාධ්‍ය හමු පවත්වමින් හා මාධ්‍ය නිවේදන පළකරමින්, ශිෂ්‍ය අරගලවලට දායක මෙවින් තනි තනිව හා සාමූහිකව එම කි‍්‍රයාකාරිත්වයේ යෙදුණි.

රට පුරා පැන නැගි සමස්ථ මහා මහජන කි‍්‍රයාකාරිත්වයක අවසන් ප‍්‍රතිඵලයවූයේ යහපාලන ආණ්ඩුව හකුළා නොගන්නා තීන්දුවක සිටි අධ්‍යාපනය විකිණීමත්, ඒ සඳහා වූ ආයතනයක් වන සයිටම් ආයතනය අහෝසි නොකිරීමත් හකුළුවාගන්නා තැනට ආණ්ඩුව පත්කිරීමයි. මෙම ජයග‍්‍රහණයත් සමග නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ලද මෙවැනිම ජයග‍්‍රහණයක් වූ උතුරුකොළඹ වෛද්‍ය විද්‍යාලය දිනාගැනීමේ සටන නැවත සිහිගන්වයි.

රටට වගනොකියූ පසුගිය ආණ්ඩුව සේම රටට වගනොකියන යහපාලන ආණ්ඩුව හා ආණ්ඩුවේ මැති ඇමතිවරු මෙම කාරණයෙදී හැසිරුණේ අධ්‍යාපනය විකිණීමේ බුචර්ලා සේය. මිනිස් ජීවිත 5 ක මිල ගෙවීමට සූදානම්ව හා තවත්  ඕනෑනම් පුදන්නට සූදානම් වන තෙක් ආණ්ඩුවට සයිටම් අහෝසිකිරීමේ තීන්දුව ගැනීමට නොහැකි විය. ආණ්ඩුව හැසිරුනේ හොරගල් අහුලන කුකුළන්සේ ය.

සයිටම් සටන, සටනට එරෙහි පාර්ශව පවා අවසන සටන්කාමීන්ගේ පාර්ශවය ගන්නා තරමට අතිශය සාධාරණ සටනක් විය. එම නිසා මෙම ජයග‍්‍රහණය රැකගත යුතුය. මෙය පොදු ජයග‍්‍රහණයකි. නිදහස් ආධ්‍යාපනයේ නාමයෙන් ලද ජයග‍්‍රහණයකි. ජයග‍්‍රහණය සඳහා උරදුන් සැමගේ ජයග‍්‍රහණයකි. අධ්‍යාපනය විකිණීමට තවත් වටයකින් උත්සාහ ගත් ආණ්ඩුවක් වූ යහපාලන ආණ්ඩුවේ බලවත් පරාජයකි. මහජන ජයග‍්‍රහණයකි. කපටි නරියන් බඳු පාලකයින්ට කිසිසේත් වෙනස් කිරීමට නොහැකි අයුරින් මෙම ජයග‍්‍රහණය ආරක්‍ෂා කළ යුතුබව ජාතික භික්‍ෂු පෙරමුණ මහත්  ඕනෑකමෙන් අවධාරණය කරන්නෙමු.

ස්තූතියි.

පූජ්‍ය වකමුල්ලේ උදිත හිමිලේකම් ජාතික භික්‍ෂු පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here