දේශපාලඥයින් රාජ්‍ය සේවයේ පිටකොන්ද කැඩුවා….!

0

අතීතයේ රට තුළ ශක්තිමත් රාජ්‍ය සේවාවක් තිබූ බවත් දේශපාලකයින් එකතු වී ඒ ශක්තිමත් රාජ්‍ය සේවාවේ පිට කොන්ද කඩා දැමූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (13) පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ පැවති ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ඇගයීම් වැඩසටහනේ ප‍්‍රතිඵල අනුව පවත්වනු ලැබූ ජාතික සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

වර්තමාන රජය යටතේ ස්වාධීනව, අපක්ෂපාතීව කටයුතු කිරීමට සියලූ දෙනාට හැකියාව ලැබී තිබෙන බවත් මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවය මගින් එය තවදුරටත් සනාථ වන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා මෙවැනි සම්මාන ප‍්‍රදානෝත්සවයක් පැවැත්වීම පිළිබඳව සියලූ දෙනා වෙත සිය කෘතවේදීත්වය පළ කළා.

“අපේ රටේ රාජ්‍ය සේවය දැනට අවුරුදු තිස්පහකට හතලිහකට ඉස්සල්ලා ගත් විට ඉතාම විශිෂ්ට රාජ්‍ය සේවයක්. හැබැයි අපේ දේශපාලඥයෝ රාජ්‍ය සේවයේ පිට කොන්ද කඩලා බිදලා දැම්මා. අවංකව වැඩ කරන නිලධාරින්ට විවිධ ප්‍රශ්න වලට දුෂ්කරතාවලට මුහුණ දීමට සිද්ධ වුණා. අවුරුදු විසිපහක් තිස්පහක් වැරදියට සිද්ධ වෙච්ච දේ මාසයකින් දෙකකින් හරිගස්සන්න බෑ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක තට්ටු තුනක ගොඩ නැගිල්ලක් හදන්න සල්ලි දුන්නා. තට්ටු දෙකෙන් නැවැත්තුවා තුන්වෙනි තට්ටුවට යන්න බෑ කියලා. සේරම මුදල් ගෙවලයි තියෙන්නේ. retention ගෙවලා. කොහොමද retention ගෙවන්නේ. මම දැන් පහුගිය මාස දෙක තුනේම ඔය ගැන අදාළ අංශ වලට කතාකළා. තාම ප්‍රතිඵලයක් දකින්නේ නෑ ඒ අයට විරුද්ධව. ඒ ඉංජිනේරුවරයා ඊට එහා ශ්‍රවණාගාරයක් හදලා තියනවා. ඒකේ අත්තිවාරමේ ඉදලා බිත්තිය අවසන් වෙන තැන ගත්තම හරියටම අඩි එකාමාරක් බිත්තිය නැවිලා. මෙහෙම දේවල් මේ රටේ වෙනවාද? මාම් ජනාධිපතිධූරයට පත් වෙලා අවුරුදු තුනකට තව පොඩි කාලයක් ඉතිරි වෙලා තියනවා. ඒ කාලය තුළ කිසිම  වංචාවක්,හොරකමක්, දූෂණයක් කරන්න මේ රටේ බයක් ඇති වෙලා තියනවා,” ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

Maithripala Sirisena

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here