මතක තියාගනිල්ලා, මේ රට බෙදන්න කාටවත් ඉඩ දෙන්නේ නෑ!

1

මොන කවුරු රට බෙදන්න හැඩුවත් ජනතා විමුක්ති පෙරමුණ කිසිවිටක රට බෙදීමට උත්සහ නොකර බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත පවසා සිටිනවා.

එම පක්ෂයේ නායක රෝහණ විජේවීර සහ තවත් මියගිය පක්ෂ සාමාජිකයන් 60,000කට aආසන්න ප්‍රමාණයක් සැමරීම සඳහා ඊයේ (13) විහාරමහ දේවී එලිමහන් රංග පීඨයේ පැවති ඉල් මහ විරු සමරුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදි අදහස් දැක්වූ ලාල් කාන්ත,

“අපි කාටත් 1989 නොවැම්බර් 13දා අමතක නොවන දිනයක්. අපේ පක්ෂයේ නායක ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා එදා මැරුවා. තවත් ගොඩක් අය එදා මරා දැමුණා. ඊට කලිනුත් අප් පක්ෂයේ බොහෝ දෙනෙක් මරා දැම්මා. ඊට පස්සෙත් තව විශාල පිරිසක් එවකට පාලකයින්ගේ අණ දීමෙන් ඝාතනයට ලක්කළා. මුළු සංඛ්‍යාව හැටදාහක් කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ හැටදාහක් වෙච්ච අපේ ආදරණීය සහෝදර සහෝදරියන් සමරන දිනය තමයි නොවැම්බර් 13වෙනිදා. දැන් අවුරුදු 28ක් ගතව තිබෙනවා.”

“කර්නල් ජානක පෙරේරා උතුරු මැද පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වුන බව හැමෝම දන්නවා. අපේ පක්ෂය වෙනුවෙන් අනුරාධපුර දිස්ත‍්‍රිකකයේ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවූයේ මම. එක්තරා වෙලාවක එයාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා, මාව හම්වෙන්න ඕන කියලා. අපි එක්තරා තැනකදී හමුවුනා. මිය ගිය කෙනෙක් කියපු දේවල් එච්චර කියන්න හොඳ නැහැ. මොකද ඒවට උත්තර දෙන්න එයා නැති නිසා. නමුත් ඔහු කියපු දේවල් අතර එක දෙයක් කිව යුතුයි. ‘මම මේ ඝාතනයට සම්බන්ධ නැහැ. මම කළේ අත්අඩංගුවට ගන්න එක. අත්අඩංගුවට අරගෙන මම භාර දුන්නා.’ කියලා කිවුවා. මේ කාරණයෙන් නිදහස් වෙන්න ඔහුට උවමනාවක් තිබුණා. ඔහුගේ හමුදා නායකයින් ඔහුගේ දේශපාලන නායකයින් පාවා දුන්නේ නැහැ. ඝාතනය කළේ කවුද කියලා කිවුවේ නැහැ.”

“ඒ කතාව මම මතක් කළේ විශේෂයෙන් මෑතකාලයේ අවසන් කළ එල්ටීටීඊ ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මර්දනය කළාට පස්සේ ඒකේ අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. මහින්ද රාජපක්ෂ කියනවා මමයි නායකත්වය දුන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ කියනවා එයා කියලා. සරත් ෆොන්සේකා කියනවා එයා තමයි කියලා. ඊට අමතරව තවත් පොත් ලියන අයත් ඉන්නවා. 87, 88, 89 කාලයේ හැටදාහක් වෙච්ච අපේ ආදරණීය සගයන් ඝාතනය කළාට අද වෙනකල් අයිතිකාරයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ජාතික පුවත්පතක ශීර්ෂ පාඨයක් තියෙනවා දැක්කා ‘විජේවීර ඝාතනය කරන්න අණදුන්නේ කවුද?’ කියලා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. බියගුල්ලෝ; නිවටයෝ. ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න දේශපාලන නායකයෙක් හරි හමුදා නායකයෙක් හරි පොලිසියේ නායකයෙක් හරි නැහැ. ඇයි ඒ? තාමත් ඒ අරගලය ඉවර නැහැ. ඒ අරගලය ඉදිරියට ගමන් කරනවා. ජයග‍්‍රාහීව ඉදිරියට ගමන් කරන සටනක් නිසා තමයි අයිතිකාරයෝ ඉදිරිපත් වෙන්නේ නැත්තේ. අදත් සටන ජීවමානයි.”

“එදා ඒ මිය ගිය සහෝදර සහෝදරියෝ හැමදෙනාටම අරමුණක් තිබුණා. ඒ අරමුණ සමාජවාදය. ඒ වගේම හැමෝටම ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කය රාජ්‍ය බලය. සමාජවාදී අරමුණ ඉටුකර ගැනීමට රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය තිබුණා. ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයාගේ පක්ෂය අදත් ජීවමානව සමාජවාදය ගොඩනැගීමේ අරමුණෙන්, රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය කරා ළඟාවෙමින් තිබෙනවා. ඒ ඉලක්කය සපුරා ගැනීම වැඩි ඈතක නෙවෙයි. අයිතිකාරයෙක් ඉදිරිපත් වෙන්නේ නැතිව හැංගෙන හැමෝටම අපි කියන්න සූදානම් ඒ කිසිම කෙනෙක් එක්ක අපේ පෞද්ගලික අමනාපයක් නැති බව. හෙට දවසේ ලාංකේය වැඩ කරන ජනතාව, ප‍්‍රගතිශීලි ජනතාව, බුද්ධිමත් ජනතාව, මේ භූමිය මත සමාජවාදී ධජය එසවූ දිනකත් අපිට ඔවුන් එක්ක ප‍්‍රශ්නයක් නැහැ. අපිට ඕනෑ දිවි පිදූ ඒ හැටදාහක් වූ සහෝදර සහෝදරියන්ගේ අරමුණ ඉටු කිරීමයි අපි හැමෝගේම වගකීම ඒකයි.”

“අපිට පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. පොදු අරමුණක් තිබෙනවා. ඊට අදාළ දේශපාලන විග‍්‍රහයක් තිබෙනවා. මේ තත්වය තුළ පෞද්ගලික අත්දැකීම් එච්චර කියන්න ඕන නැහැ. නමුත් නොවැ.13 මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්න යන්නේ. මේ දවසේ මම හිටියේ වැලිකන්ද වධකාගාරයේ. ටිල්වින් සහෝදරයා හිටියේ මැගසින් වධකාගාරයේ. අපේ සහෝදරවරු ඒ අරගලයේ ඒ ඒ තැන්වල ක‍්‍රියාකාරීව සිටියා. සහෝදරියොත් එහෙමයි. ඒ දවස්වල අපිට දෙන්නේ දිණමිණ පත්තරේ. අරගල කරන අය මානසිකව බිඳවට්ටන්න පළකරන ප‍්‍රවෘත්ති තමයි සම්පූර්ණයෙන්ම පළකර තිබුණේ. මට මතක විදියට 14 පත්තරේ ගමනායක සහෝදරයා ගැනත් තිබුණා. පොලිස් නිලධාරී මහත්තයෙක් පත්තරේ ගෙනත් දීලා ‘දැන් ඔක්කොම ඉවරයි නායකයෝ ඔක්කොම ඉවරයි. දැන් වත් ඔයගොල්ලෝ ඕක අත්හරින්න’ කියලා. මොකද අපි හිරගෙවල්වල ඉන්නකොටත් වධකාගාරවල ඉන්නකොටත් අරගලය අත්හැරියේ නැහැ. මේ අපි හැමෝම එදත් අත්හැරියේ නැහැ. අදත් අතහැරලා නැහැ. අත්හරින්නෙත් නැහැ. අරමුණ ජයග‍්‍රහණය කරනකල් අතහරින්නේ නැහැ.”

“ටික දවසකට පස්සේ පොළොන්නරුවේ වයිඑම්බීඒ වධකාගාරයට මාරු කළා. එතන හිටපු සහෝදරයෝ තවත් අය මෙතන ඉන්නවා. ඒ ඇතුළෙත් අපි දේශපාලන සාකච්ඡා කළා. පංති පැවැත්වුවා. හැම තැනකම එහෙම කළා. කඳවුරුවල, කැලෑවල එහෙම කළා. අපි කවුරුත් මේක අත්හැරියේ නැහැ. ඒවා කරන්න ගිහින් අපි තවත් දඩුවම්වලට ලක්වුණා. පොළොන්නරුවේ ජයලත් සහෝදරයා මෙතන ඉන්නවා. වයිඑම්බීඒ කඳවුරේදිත් අපි පංති කළා. පංති කරලා අහුවුණා. දවස් 8ක් අත්දෙකට මාංචුදාලා කකුල් දෙකට දම්වැල් දාලා උඩුබැලි අතට එල්ලලා තිබ්බා. අපි හැමෝටම ඒ වගේ අත්දැකීම් තිබෙනවා. ඊට පස්සේ බූස්සට දැම්මා. එතකොට බූස්ස කඳවුරේ අපේ නායකයා ගලප්පත්ති අයියා. අපි හැමෝම ඒ ඒ තැන්වල වැඩ කළා. ඒ හැමතැනක්ම දේශපාලනයේ අධ්‍යාපන කඳවුරු බවට පත්කර ගත්තා. මේ අරගලය කවදාවත් නතර වුණේ නැහැ. සමහර සහෝදරවරු විදේශගත වුණා. එහෙත් අරගලය නතර කළේ නැහැ.”

“1994න් පස්සේ අපි අලූත් ආකෘතියකට සටන් කරගෙන ආවා. අපි දැන් සෑහෙන කාලයක් මේ සටනේ ඇවිත් තිබෙනවා. 1983 අපේ පක්ෂය තහනම් කරනකොට අපේ නායක සහෝදරවරු කිවුවේ ‘අපිට දේශපාලනය කරන්න ජේආර් ජයවර්ධනගෙන් ලයිසන් ඕන නැහැ, එයා දෙන රූට් පර්මිට් අපිට ඕන නැහැ කියලා.’ නිර්ධන පංතියේ ජයග‍්‍රහණය වෙනුවෙන් අපිට දේශපාලනය කරන්න තියෙන අයිතිය දේශපාලනය තහනම් කිරීමෙන්වත් අවලාදවලින්වත් හැටදහසක් ඝාතනය කිරීමෙන්වත් නතර කරන්න බැරිවුණා. සහෝදර සහෝදරියෝ කිසිවෙක් ඒ දේශපාලන අයිතිය අත්හැරලා නැහැ. අපේ මිය ගිය නායකයන්ගේ හඬ, ඒ හයිය තමයි අපිට ඉතිරි වෙලා තියෙන්නේ. 83ට කලින් තිබිච්ච හැම මැතිවරණයකට අපි ඉදිරිපත් වුණා. සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වුනා. අපි ජයග‍්‍රහණ ලැබුවා. 82 ජනාධිපතිවරණය ආවා. රෝහණ විජේවීර සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත් කළා. ඊට පස්සේ ජනමත විචාරණය ආවා. ගොඩක් අය මේක අත්හැරලා ඉන්නකොට ආණ්ඩුවේ වුවමනාව පරාජය කරන්න දැවැන්තම වැඩකොටස කළ පක්ෂය අපි. ජේආර් ජයවර්ධනට 77 මැතිවරණයෙන් ලැබුණු 5/6ක බලය රැකගන්න වංචාකාරී ජනමතවිචාරණයක් පැවැත්වුවා. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ පක්ෂය ඊට විරුද්ධව අධිකරණයට ගියා. ඊට පස්සේ 83 පක්ෂය තහනම් කළා.”

“එයාලා 82 ජනාධිපතිවරණයේදී අපිට ලැබුණු ඡන්ද ප‍්‍රමාණය ගණනය කරලා පාර්ලිමේන්තුවට යන්න තිබුණු අවස්ථාව ජනමත විචාරණයෙන් නැති කළා. පාර්ලිමේන්තු මාවතේ අරගලය අපිට අහිමි කළා. නමුත් ඒ අයිතිය දිනාගන්න අපේ සහෝදරවරු සටන් කළා. මෑතකාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති එයාගෙ මල්ලි බැසිල් රාජපක්ෂ ඒ වගේම එයාගෙ වලව්වේ කුස්සියේ දංකුඩ කාපු දේශපාලඥයෝ ටිකයි එකතු වෙලා, අපිව මේ දේශපාලන ක‍්‍රියාමාර්ගයෙන් පැත්තකට ඇදල දාන්න අලූත් ඡන්ද ක‍්‍රමයක් ගෙනාවා. ඒ ගොල්ලෝ හැර අනෙක් ඔක්කොම අතුගාලා දාන්න පළාත් පාලන ඡන්ද ක‍්‍රමයක් ගෙනාවා. අපි ඒ ඡන්ද ක‍්‍රමයට විරුද්ධව සටන් කළා. ඒ සටනෙන් අපි දිනුවා. අපි අලූත් ඡන්ද ක‍්‍රමයක් ගෙනාවා. ඒ ඡන්ද ක‍්‍රමයට අනුව ජනවාරි මාසයේ මැතිවරණයක් එනවා. ඒ මැතිවරණයෙන් අපි ජයග‍්‍රහණ ලබනවා.”

“මනාප නැති ඡන්ද ක‍්‍රමයක් මේ රටේ ජනතාව ඉල්ලූවා. ඒ ඡන්ද ක‍්‍රමය ගෙනත් තියෙනවා. ඒ ගැන අගය කරන්න පත්තරවල මොනවා හරි ලියනවාද? ඒකට මැදිහත් වෙච්ච අය ගැන කතාකරන්න මොනවා හරි ලියනවාද? තමන්ගේ කොට්ඨාශයට මන්ත‍්‍රී කෙනෙක් ඕනෑ බව ජනතාව කිවුවා. ඒ අනුව මැතිවරණ ක‍්‍රමයක් ගෙනත් තිබෙනවා. කාන්තා නියෝජනය සියයට විසිපහක් කරන්න මැතිවරණ ක‍්‍රමයක් ගෙනත් තිබෙනවා. අනෙක් අය පිටමං නොකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉඩකඩ වැඩිවැඩියෙන් නියෝජනය කරන්න ඡන්ද ක‍්‍රමයක් ගෙනත් තියෙනවා. ඒ ගැන කිසිකෙනෙක් අගය කරනවාද? අපේ පක්ෂයේ නායක අනුර සහෝදරයා අතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හයදෙනාට මේ ඡන්ද භූමියෙන් අපිව පිටමං කරන්න මහින්ද රාජපක්ෂලා ගෙනාපු ඡන්ද ක‍්‍රමය පරද්දලා අලූත් ඡන්ද ක‍්‍රමයක් සම්මත කර ගන්න හැකි වුණා. අපේ ගෞරවනීය ප‍්‍රණාමය අපේ ආදරණීය සහෝදරත්වය ඒ අරගලයේ යෙදුණු සහෝදරවරුන්ට පළකරන්න ඕනෑ. රාජපක්ෂලා එතනත් පරාදයි. එදා අපිව දේශපාලනයෙන් පිටමං කරන්න ජේආර් අපේ පක්ෂය තහනම් කළා. රාජපක්ෂලා අපිව දේශපාලනයෙන් පිටමං කරන්න අලූත් ඡුන්ද ක‍්‍රමයක් ගෙනාවා. ඒකත් අපි පරාජය කරලා තියෙන්නේ.”

“සමහර ලියන මහත්වරු කතා කරන්නේ 87, 88, 89ක් ගැන. හැබැයි අපේ සහෝදරවරු ඝාතනය කරන්න පටන් ගත්තේ 85 ඉඳලා. අනුරාධපුර ශ‍්‍රාවස්ති පුර සුදුපාලම ළඟ හිටිය සහෝදරවරු දෙන්නෙක් ජේආර්ලගේ රනිල්ගේ ආණ්ඩු පැහැරගෙන ගොස් ඝාතනය කළා. 87 රටේ පාලකයා රජීව් ගාන්ධිගේ පාලනය ඉස්සරහා දණගැහුව්වා. දණ ගහලා රජීව් ගාන්ධිගේ දෙපා ඉම්බා. තමන්ගේ ජනාධිපතිකම බේරගන්න. එහෙම කරලා ඉන්දු ලංකා ගිවිසුම නමින් රට පාවාදෙන ගිවිසුමක් අත්සන් කළා. රජීව් ගාන්ධිගේ අණ යටතේ ඉන්දීය හමුදාව මේ රට ආක‍්‍රමණය කළා. රටේ ගොඩබිමෙන් 1/3ක් සහ අපේ මුහුදු සීමාවෙන් 60%ක් ඒ හමුදාව යටතට පත්කළා. රටකට ආක‍්‍රමණයක් ආවාම සේනාධිනායකයා ඒ රටේ හමුදාවට අණදෙන්න ඕනෑ ආක‍්‍රමණයට එරෙහිව සටන් කරන්න. නමුත් මේ රටේ හමුදාව එක වෙඩි උණ්ඩයක් පත්තු කරන්න අණදුන්නේ නැහැ. මේ රටේ හමුදාවත් ඉන්දියානු හමුදාවට යටත් කළා. පාලකයා දණගහලා ගිවිසුමකින් රට පාවාදී තිබුණා. ඒකට විරුද්ධව දැවැන්ත මහජන බලවේගයක් නැගී ආවා. අපේ සහෝදරවරුන්ට අමතරව සිරිමා බණ්ඩාරනායකත් දිනේෂ් ගුණවර්ධන මහත්තයත් ඒ විරෝධතාවයේ හිටියා. ඒ බහුජන අරගලයට වෙඩි තියන්න අණදුන්නා. රතුපස්වලදී වෙඩි තියන්න අණදීපු අය ගැන දැන් පරීක්ෂණ යනවා. 87 පිටකොටුවේ බෝගහ ළඟ විරෝධතාවයට වෙඩි තියපු අය ගැන, එයට අණදීපු අය ගැන පරීක්ෂණ යනවාද? ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලවලට ඉඩක් ඉතිරි කර තිබුණේ නැහැ.”

“විදේශ හමුදාවක් රට ආක‍්‍රමණය කරල විතරක් නෙවෙයි අපේ ආර්ථිකය ඉන්දු ලංකා ගිවිසුම යටතේ යටත් කරලා තිබුණා. ඒ මොහොතේ කවුරුහරි මේකට විරුද්ධව සටන් කරන්න ඕන නැද්ද? ඒ රටේ විප්ලවවාදී ව්‍යාපාරයක් තිබුණා නම්, තමන්ගේ ඔටුන්න වෙනුවෙන් රටේ පාලකයා රට යටත් කරලා ආර්ථිකය පාවාදීලා තිබුණ නම්, රටේ හමුදාව ආක‍්‍රමණික හමුදාව ඉස්සරහ දණගස්වලා තියෙද්දි සටන් කරන්න ඕන නැද්ද? සටන් කළ යුතුයි. අපේ විප්ලවවාදී ව්‍යාපාරයේ නායක රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් ඒ සටන මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණ බව කියන්න අපි පැකිළෙන්නේ නැහැ. ඒ සටනේදී තමයි හැටදාහක් ජීවිත අහිමි වුණේ. ඒ වීරවරයන් වීරවරියන් තමයි අපි මේ සමරන්නේ. ඉතිහාසය විසින් අපේ සහෝදර සහෝදරියන් නිදොස් කරනවා. ඒ ඝාතනවලට අණදීපු අය ද්‍රෝහීන් ලෙස නම් කරන එක වළක්වන්න බැහැ. ඉතිහාසයේ යම් දවසක ද්‍රෝහියෙක් ලෙස ලියවෙන්න කැමති නැති නිසා අපේ අරගලය මර්දනය කළ අයිතිකාරයෝ ඉදිරිපත් වෙන්නේ නැහැ. එග්ටීටීඊ එකත් එක්ක කළ සටනේදී නායකත්වය දුන්න කියන්න පොරකනවා වගේ අපේ සටන මර්දනය කරන්න ඉදිරිපත් වුණු අය ඉස්සරහට එන්නේ නැහැ.”

“එදා කැප්පෙටිපොළලා සුද්දගෙ පාලනය යටතේ ද්‍රෝහීන් ලෙස නම් කළා. පස්සෙදි ඒ අය ජාතික වීරයින් වශයෙන් සමරන්න පටන් ගත්තා. අපේ අරමුණ සමාජවාදී පාලනයක් ගොඩ නගන්න රාජ්‍ය බලය ලබාගැනීමේ ඉලක්කය සම්පූර්ණ කරගත් පසු අපේ සහෝදර සහෝදරියන් අපි සමරන්නේ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව දැවැන්ත සැමරුමක් හැටියටයි. ඒක වැඩි ඈතක නැහැ. මේ රටේ ශ‍්‍රී ලංකා එක පාලනය කළා. රට හදන්න බැරි වුණා. යූඑන්පී එක පාලනය කළා. රට හදන්න බැරි වුණා. දෙගොල්ල හවුලේ පාලනය කරනවා රට තවත් ප‍්‍රපාතයට යනවා. විජේවීර සහෝදරයා එදා කිවුවේ උන්ටත් බැහැ මුන්ටත් බැහැ කියලා. අද ඒ බව ඔප්පු වෙලා නැද්ද? සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ප‍්‍රශ්න කුණුවෙලා ඕජස් ගලන සමාජයක් තියෙන්නේ. එහෙනම් මේක වෙනස් කරන්න ඕනෑ කියලා, මේක හදන්න ඕන කියලා අපේ සහෝදර සහෝදරියන් ගත්ත මාවත වැරදිද? සමාජවාදය දිනාගන්න රාජ්‍ය බලය ගන්න ඕන කියපු එක වැරදිද? රට බෙදන එක වළක්වන්න, රට විකුණන එක නවත්වන්න ඕන කියපු එක වැරදිද? ඒ සටනේ නිවැරදිභාවය ගෙවුණු අවුරුදු 28 ඇතුලේ ජනතාවට මනාව පසක් කොට තිබෙනවා.”

“ජනතා විමුක්ති පෙරමුණ මේ රට ව්‍යවස්ථාවකින් බෙදන්න යනවාලූ. අනුර දිසානායක සහෝදරයා මේක බෙදන්න යනවා කියලා වෙනමම නම් කරලත් කියනවා. මතක තියාගනිල්ලා කවුරු මේ රට බෙදන්න හැදුවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතිහාසයෙත් අපි ඒ බව ඔප්පු කළා. වර්තමානයෙත් ඔප්පු කරනවා. අනාගතෙත් එහෙමම තමයි. හැබැයි අපිට ව්‍යවස්ථාවක් ඕනෑ. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා. අරගල කරනවා. වගේම දිනනවා. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකුත් අපි මේ රටේ ජයග‍්‍රහණය කරනවා. ඒකෙන් සියලූ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. නමුත් යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයක් දිනාගන්නවා. අපි ඉස්සරහට එන ඕනෑම සටන් භූමියක් අපි බාරගන්න ඕනෑ. එදා පාර්ලිමේන්තු අරගලය අපිට අහිමි කළා. නමුත් අනෙක් අරගලයන් අපි අත්හැරියේ නැහැ. අද අපි පාර්ලිමේන්තුව ඇතුළෙත් සටන් කරනවා. මේ රටේ පාර්ලිමේන්තුව වඩාත්ම උසස්ම සහ නිවැරදි ආකාරයෙන් මේ රටේ පොදු ජනයාගේ අරමුණු වෙනුවෙන් සටන් කරන එකම කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ බව රටම පිළිගන්නවා. කෝප් සභාවේ සභාපති හැටියට හඳුන්නෙත්ති සහෝදරයා කරන අරගලය උදාහරණයක් හැටියට කවුරුත් පිළිගන්නවා. අපි අහන්න කැමතියි, ජනතාවගෙන් අපි මේ පාර්ලිමේන්තුව ඇතුළේ කරන්නේ ජනතාවගේ ජනතාවගේ අරගලය නෙවෙයි නම් වෙන මොකක්ද කියලා.”

“අපි මහ පාරේ අරගල කරනවා. මේ මෑතක කවුරුත් කතාබහ වෙච්ච අරගලයක් තිබෙනවා. සයිටම් සටන අපි භාරගත්තා. ඒකේ යම් ජයග‍්‍රහණයක් තිබෙනවා. හැබැයි ඉවර නැහැ. සමහරු මල්මාලා දානවා. කරපිටින් යනවා. වීරයෝ බිහිවෙලා ඉන්නවා. මේ වගේ විවිධ දේවල් තියෙනවා. ජයග‍්‍රහණය සමරමින් මේ දෙවල් කරනවා. හැබැයි අපිට සයිටම් එක සම්බන්ධව සමරන්න ජයග‍්‍රහණයක් නැහැ. අපි ආණ්ඩුවට එකක් මතක් කරන්න කැමතියි. සයිටම් අරගලයේදී අපි ආයුධ බිම තිබ්බා විතරයි, ආයුධ ආණ්ඩුවට බාරදීලා නැහැ. පුළුල්ව තේරුම් ගන්න අපි මේ කියන්නේ ඒ සටනේ ආයුධ තිබ්බා විතරයි භාරදුන්නේ නැහැ. ආණ්ඩුව දුන්නු පොරොන්දු ඉටු කරන්න ඕනෑ. නැත්නම් සයිටම් විරෝධී අරගලයේදී බිම තිබ්බ ආයුධ නැවත ඔසවන බවට අනතුරු අඟවනවා. ආණ්ඩුව විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම අද මොණරාගල අම්පාර දිස්ත‍්‍රික්කවල දැවැන්ත උක්ගොවි අරගලයක් යනවා. වැඩවසම් යුගයේදී වගේ ඒ ගොවියන්ව ඉඩමට බැඳලා තියෙන්නේ. උක් හැර වෙන මොකුත් ඒ ඉඩම්වල වගාකරන්න බැහැ. මේකට විරුද්ධව දැවැන්ත අරගලයක් යනවා. ඒ වගේම අපේ නාමල් කරුණාරත්න සහෝදරයාගේ නායකත්වයෙන් රට පුරා දැවැන්ත ගොවි අරගලයක් යනවා. පාර්ලිමේන්තුව ඇතුළේ අපේ රටේ ජනතාවගේ පංති අරගලය ඉතාම ඉහළින්ම කරනවා වගේම මහ පාරෙත් ඒ අරගලය ජාතික මට්ටමින් කරගෙන යනවා. ධීවර ව්‍යාපාරයේ නායකත්වය ගලප්පත්ති සහෝදරයා, රත්න ගමගේ සහෝදරයා ඇතුළු අය කරගෙන යනවා. කඳුකරයේ විනාශය වගේම පරිසර විනාශයට විරුද්ධ අරගලය සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඇතුළු අය කරගෙන යනවා. වසන්ත සහෝදරයා මහින්ද සහෝදරයා ඇතුළු වෘත්තීය සමිති නායකයෝ වෘත්තීය සමිති ක්‍ෂේත‍්‍රයේ අරගලය කරගෙන යනවා.”

“ජනවාරි මාසයේ අග අපිට තව අරගල භූමියක් එනවා. ඒ සටන් භූමියේ අපි දිනන්න ඕනෑ. අලූත් ඡන්ද ක‍්‍රමයක් යටතේ පළාත් පාලන ආයතනයක, පළාත් සභාවක කොට්ඨාසයක් ඇතුළේ සටනක් අපිට තිබෙනවා. අපේ සහෝදරවරු සහෝදරියෝ ඒ කොට්ඨාසය ඇතුළේ සටන බාර අරගෙන තියෙන්නේ. අපේ සහෝදර සහෝදරියෝ තරම් සුදුසු අය අපේ පක්ෂයට හැර වෙන කිසිම පක්ෂයකට ඉදිරිපත් කරන්න බැහැ. අපි තමයි ස්වෙච්වෙන් වැඩ කරන්නේ. කවුරු හරි කියනවානම් අපි පාර්ලිමේන්තුවාදී වෙලා හරි, සංශෝධනවාදී වෙලා කියලා මේ සටන් ඔක්කොම එකට තියලා හොඳට ඇස් ඇරලා බලන්න කියලා අපි කියනවා. එදා අපිට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අයිතිය අහිමි කරලා තියෙද්දී වෙනත් ක‍්‍රමයක් මගින් මේ රට වෙනුවෙන් සටන් කරන්න අපේ සහෝදර සහෝදරියන්ට සිදුවුණා. හැටදාහක් මරලා එදා පාලකයෝ අපිව පසු බැස්සුවා. ඒ බව අපි පිළිගන්නවා. හැබැයි අපි පාලකයින්ට කියන්න ඕනෑ අපේ නායක සහෝදරයා ඇතුළු අපේ දේශපාලන මණ්ඩලය, මධ්‍යමකාරක සභාව ඇතුළු හැටදාහක් මරලා උඹලා අපිව පසුබැස්සුවා. හැබැයි පරාද කළේ නැහැ. පරාද කරන්න බැහැ. ඒ, අපේ ටිල්වින් සහෝදරයා අනුර සහෝදරයා ඔබ, අපි හැමෝම එකතු වෙලා මේක පරාජය කරන්න බැරි තත්වයට පත්කරලා තිබෙන නිසයි. 88, 89යේ සිදුවීම්වලට අයිතිකාරයෝ නැත්තේ ඒ නිසයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි අරගලයේ අයිතිය භාරගන්නවා. රනිල් වික‍්‍රමසිංහලාට පුළුවන්ද ඒකේ අනෙක් පැත්ත භාරගන්න. විශ‍්‍රාම ගිය කවුරුහරි හමුදා නායකයෙකුට එහෙම ඉදිරිපත් වෙන්න පුළුවන්ද? විජේවීර සහෝදරයා ඇතුළු අපේ නායකයින් අපිට දීපු අත්දැකීම්වලින්, අපිට දීපු දැනුමෙන් හැටදාහක් දිවිපිදූ අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වගේම අද ජීවත් වෙන පරම්පරාව වෙනුවෙන් වගේම හෙට උපදින පරම්පරාව වෙනුවෙන් ජයග‍්‍රහණයෙන් කෙළවර කරනවා කියන සහතිකය අපි ලබාදෙනවා. ඉල්මහ විරුවන් සදාකල් දිනේවායි ප‍්‍රාර්ථනා කරනවා.”

1 COMMENT

  1. මෙන්න බිල්ලෙක් වෙලා බටලන්දයට තමන්ගෙ කාඩරයො මරන්න පාවා දීල රනිල ගෙන් බේරිච්ච එකෙක් කියනවා ජනවාරි මාසයේ පළාත් පාලන ඡන්දෙන් උන් දිනනවාලු. එක පලාත් පාලන අායතනයක බලය ජෙප්පො ගත්තොත් මම සාරියක් අැඳගෙන පාරෙ අැවිදිවා. සත්තකය්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here