බැංකු හොරු භය නැති නායකයෙකු නොව ලජ්ජා නැති නායකයෙක්!

0

බැංකු මංකොල්ලයක් සිදු කර ඇති නායකයන් කිව යුත්තේ භය නැති නායකයෙකු ලෙස නොව ලජ්ජා නැති නායකයෙක් ලෙස බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.අද (23) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් ඇති නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උවමනාවක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් ………….

“මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවීමට අපි තීරණය කළේ ඊයේ (22) අභියාචනාධිකරණය මගින් පළාත් පාලන ඡන්ද විමසීම් පිළිබඳව ලබාදීපු තීන්දුවත් එක්ක මතුවෙලා තියෙන තත්වය පිළිබඳව අපේ අදහස් ඉදිරිපත් කරන්න.

විශේෂයෙන්ම මේ පළාත් පාලන ඡන්දය මීට අවුරුදු දෙකකට කලින් පැවැත්විය යුතුව තිබුණා. 2011 ඡන්දය පැවැත්වූවාට පස්සෙ නැවත අවුරුදු 4කින් 2015 මේ මැතිවරණය පැවැත්විය යුතුව තිබුණා. නමුත් 2015 ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ නැහැ. ඒ මොහොතේ විවිධ හේතු දක්වමින් මේ මැතිවරණය කල් දැම්මා.

ඇත්තටම කලින් හදල තිබුණු විකෘති මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න වුවමනාවක් තිබුණ. ඒ වගේම ඒ විකෘති ඡන්ද ක්‍රමය මත පදනම්ව සීමා නීර්ණය කිරීමේදී ඒ සීමා නීර්ණය කිරීමේ ගැටළු රාශියක් ඇතිවෙලා තිබුණා. ඒ නිසා තමයි සීමානීර්ණ අභියාචනා කමිටුව ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් සහිතව පත් කරනු ලැබුවේ. අශෝක පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ඒ සීමානීර්ණ අභියාචනා කමිටුව වසරකට වැඩි කාලයක් තිස්සේ ඒ ගැටළු පිළිබඳව සොයා බලා වෙනස් කිරීම පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක් ඇමතිවරයාට ඉදිරිපත් කළා. ඒ නිර්දේශ මත පදනම්ව ඇමතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණා. ඒ අනුව ගත්තොත් මේ 2017 පෙබරවාරි මාසයේදී සීමානීර්ණ අභියාචන කමිටුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව ෆයිසර් මුස්තාපා පළාත් පාලන ඇමතිවරයා විසින් ගැසට් නිවේදෙනය නිකුත් කරනු ලැබුව. ඒකමත පදනම්ව තමයි මැතිවරණය පැවැත්විය යුත්තේ.

ඊට අදාළ වන දෙවෙනි ගැසට් නිවේදනය, ඒ කියන්නේ එක් එක් ප්‍රාදේශීය සභාවල, නගර සභාවල, මහ නගර සභාවල නිශ්චිත මන්ත්‍රී ධුර සංඛ්‍යාව සහිත ගැසට් නිවේදනයත් නොවැම්බර් මාසයේ ඇමතිවරයා විසින් ප්‍රකාශයට පත් කළා. මැතිවරණය පැවැත්වීම සඳහා තිබුණු සියළු බාධක, සියළු ගැටළු පහුගිය කාලය තුළ ඉවත් කරන්න පුළුවන් වුනා. ඉතින් ඇත්තටම ආණ්ඩුව මේ සඳහා අවංක උත්සාහයක හිටියේ නැහැ. විපක්ෂයේ අපි, ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන විවිධ බලපෑම් කරලා, විවිධ සටන් කරලා තමයි මේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කර ගත්තේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, මේ හවුල් ආණ්ඩුව මේ පළාත් පාලන මැතිවරණය තියන්න පූර්ව සූදානමක හිටියේ නැහැ. ආණ්ඩුවක් විදිහට ඔවුන්ගේ උපාය මාර්ගය වුනේ මේ මැතිවරණය හැකි තරම් කල්දාන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩිලා ඔවුන්ට ප්‍රශ්නයක් තිබුනා. ඒ පක්ෂය ඇතුළේ ඇතිවෙච්ච අභ්‍යන්තර අර්බුදය නිසා මැතිවරණය කල් දමාගැනීමේ වුවමනාවක් දිගටම තිබුණා. අදත් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයට ගමට ගිහිල්ලා තමන්ගේ පාක්ෂිකයන්ට වැඩක් කරා කියලා කියන්න දෙයක් නැහැ. ආණ්ඩුවක් කරාට ඒ ආණ්ඩුවෙන් බිම් මට්ටමේ පාක්ෂිකයන්ට මිණිස්සුන්ට දැනෙන්න වැඩක් කරලා නැහැ. ඒ නිසා යූඑන්පියටත් තිබුනා ප්‍රශ්නයක්; ආණ්ඩුවක් කළාට අවුරුදු දෙකක් තිස්සේ ජනතාවට කියන්න දැනෙන්න වැඩක් කරලා නැහැ. ඒ නිසා මැතිවරණයකට යන එක ඔවුන්ටත් ප්‍රශ්නයක් වෙලා තිබුනා. ඒ නිසා මේ දෙපාර්ශවයම එකඟතාවයක හිටියා මේ මැතිවරණය කල් දමමින් යන්න. එලෙස කල් දමමින් ඇවිල්ලා අවසානෙදි තවදුරටත් කල් දාන්න බැරි තත්වයට, බිත්තියටම හේත්තු වුනා. ඒත් එක්කම පළාත් සභා මැතිවරණයක් අනිවාර්යයෙන් පැවැත්විය යුතු වුනා. ඒකත් එක්ක අවසානයේදී ඔවුන්ට සිද්ධ වුනා මේ පළාත් පාලන මැතිවරණයට යන්න.

පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඒ තිබිච්ච සියළුම බාධා ඉවත් කළා. ප්‍රාදේශීය සභා පනත, නගර සභා, මහ නගර සභා ආඥා පනත ඒව වෙනස් කිරීමේ වුවමනාවක් තිබුනා. අපි දිගින් දිගට පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඇමතිවරයට සිද්ධ වුනා ඒ පනත් කඩිනමින් සංශෝධනය කරන්න. ඉතින් ඒවත් සංශෝධනය කළා. ඇත්තමට ගත්තොත් මැතිවරණය පැවැත්වීම සඳහා තිබූ නීතිමය බාධා සියල්ල ඉවත කරල තිබුනා. ඉවත් කරන්න විවිධ පාර්ශවයන් විසින් සෘජු ලෙස මැදිහත්වීමක් කළා. එහි ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී මැතිවරණය කෙසේ හෝ පවත්වාගැනීමේ හැකියාවක් නිර්මාණය වුනා. ඒ අනුව තමයි ස්වාධීණ මැතිවරණ සේවා කොමිසම ප්‍රකාශයට පත් කළේ, නොවැම්බර් මාසේ 27,28,29,30 දවස් ඇතුළත නාමයෝජනා කැඳවීම පිළිබඳව දැනුම්දීමක් කරන්න පුළුවන්, දෙසැම්බර් 11,14 දිනවල නාමයෝජනා කැඳවීමේ දින ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. එහෙම ගත්තොත් ජනවාරි මාසයේ 27,28 වෙනකොට මැතිවරණය පවත්වන්න පුළුවන් කියලා. මැතිවරණ කොමිසම මගිනුත් ප්‍රකාශයක් කළා.

ඉතින් එහෙම තත්වයක් නිර්මාණය වෙලා මැතිවරණය පවත්වන්න සියල්ල සූදානම් වෙලා තිබෙද්දි තමයි. හිටපු ගමන් හදිසියේ මෙම අධිකරණමය කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුනේ. ඇත්තටම මේක හිතාමාතා, දැනුවත්ව, සැලසුම්සහගතව කරපු දෙයක්. මොකද මැතිවරණය කල්දාන්න තිබිච්ච සියළුම බාධා ඉවත්කරගත්තට පස්සේ ආණ්ඩුවට වෙනත් හැකියාවක් තිබුණේ නැහැ මේ මැතිවරණය කල් දාන්න. ඒකට උපක්‍රමයක් විදිහට තමයි ආණ්ඩුව ඊලඟට ගියේ අධිකරණය හරහා මේ මැතවරණ පැවැත්වීම කල්දැමීමේ උත්සාහයට.

මේ නඩුව ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මෙත් නැහැ. මේ නඩුව අභියාචනාධිකරණයට දැම්ම. අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේම, තවදුරටත් මේක කල් අදින්න. යම් හෙයකින් අභියාචනාධිකරණ තීන්දුව ඔවුන්ට අවාසි සහගත විදිහට ආවොත් නැවත ඇපිල් කරලා සුප්‍රිම් කෝට් එකට යන්නත් ඉඩක් තියාගෙන. එතකොට තවත් කල් අදින්න පුළුවන්.

ඉතින් මේ උත්සාහය එන්න ප්‍රධාන හේතුව තමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඇතිවෙලා තිබෙන අර්බුදය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි පැහැදිළිව මැතිවරණයකට යන්න බයයි. මැතිවරණයකට ගියොත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මෛත්‍රී පාර්ෂවය විශාල අර්බුදයකට මුහුණ දෙනවා. ඒ අර්බුදයට මුහුණදෙන්න තියෙන බිය නිසා තමයි අද මේ ඡන්දෙ කල් දාන්නේ. ඒක වෙනස් කරනගන්න එක්සත් ජාතික පක්ෂය සමත් වෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂයත් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ. අයවැය සම්බන්ධයෙන් ඔවුන් දෙගොල්ලෝ එකතුවෙලා එකට කටයුතු කරනවා. හැබැයි මැතිවරණය සම්බන්ධයෙන් අච ඔවුන් දෙපැත්තට ඇදලා වෙන වෙන කතා කියනවා. හැබැයි ජනතාවට වග කියන්න ඕව ආණ්ඩුව. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්සත් ජාතික පක්ෂයද කියන එක අදාළ නැහැ. ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. නිසි කලට, නිසි වෙලාවට මේ පළාත් පාලන ඡන්දය පවත්වන්න.

අද මේ ඡන්දය කල් යාම පිළිබඳ ප්‍රධාන වගකීම මේ ආණ්ඩුව බාරගන්න ඕන. මේකට ආණ්ඩුව වගකියන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවේ එක පාර්ෂවක් විතරක් නෙමෙයි. අගමැතිවරයා, ජනාධිපතිවරයා මේ පිළිබඳව හරියට මැදිහත්වුනානම් මේ මැතිවරණය නිසි කලට තියන්න පුළුවන්.

දැන් එක්සත් ජාතික පක්ෂයේ අය කියනවා අපි නෙවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුහරි තමයි මේ උසාවි ගිහිල්ලා තියෙන්නේ. අපි කැමතියි මේක තියාගන්න ඒ උත්තරය ජනතාවට වැඩකි නැහැ. ජනතාව ඕනි ආණ්ඩුවක් විදිහට මේ මැතිවරණය ඉක්මනින් තියනව කියන සහතිකය. පහුගිය දවස්වල දිගටම ඒ සටන අපි දියත් කළා. ඒ අරගලය අපි කළා. ඒ අනුව තමයි මේ මැතිවරණය තියන්න දින නියම වුණේ. එහෙම තියෙද්දි දැන් මේ සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණ කුමන්ත්‍රණයක්. ඇත්තටම සීමා නීර්ණ අභියාචනා කොමිසම මේ වාර්තාව ඉදිරිපත් කළේ මේ අවුරුද්දෙ මුල. ඒ අනුව මේ ගැසට් එක නිකුත් කළේ මේ අවුරුද්දේ පෙරබවාරි මාසේ. ගැසට් එක නිකුත් කිරීමේ ප්‍රධාන බලධාරියා වුනේ විශය භාර ඇමතිවරයා ෆයිසර් මුස්තාපා.

දැන් අභියාචානාදිකරණයට ඉදිරිපත් කරල තියෙන පෙත්සමේ ප්‍රධාන තර්කය වෙලා තියෙන්නේ ඇමතිවරයා විසින් පෙරබරවාරි මාසයේ නිකුත් කරපු ගැසට් නිවේදනය දෝෂ සහිතයි. වැරදියි කියලා. එතකොට ඇමතිවරයා අත්සන්කරලා ඉදිරිපත් කරපු ගැසට් නිවේදනය වැරදියි කියලා තමයි දැන් මේ නඩුව දාල තියෙන්නේ. නඩුව දැම්මේ කවුද කියන එකත හරි පැහැදිලියි. නඩුව දාල තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. මේ ෆයිසර් මුස්තාපාලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ෂවයේ සැලසුම් සහගත නඩුවක්. එතකොට ඒ නඩුව දාන්න නිමිත්ත හොයාගත්තේ ඇමතිවරයාගේ ගැසට් එකෙන්. එතකොට මේ නිමිත්ත දන්නෙ වෙන කෙවුරුවත් නෙවෙයි. ඇමතිවරයම තමයි. මොකද ඔහු විශභාර ඇමතිවරයා විදිහට වැරදි ගැසට් එකක් නිකුත් කිරීම පිළිබඳව වගකියන්න ඕන. දැන් කියනවනම් මේ සීමානීර්ණ අභියාචනා කමිටුවට සීමා නිර්ණයන් පිළිබඳ විතරයි බලය තියෙන්නෙ බිම් මට්ටමේ කොට්ඨාස වැඩි කිරීම, අඩු කිරීම හෝ ඒකාබද්ධ කිරීමේ බලයක් නැහැයි කියලා. එහෙමනම් ඒ බලතල පිළිබඳව හරියට දන්නෙනැතුවද ඇමතිවරයා මේ ගැසට්එක ගැහුවේ. එහෙම වෙන්න බැහැ. මොකද ෆයිසර් මුස්තාපා කියන්නේ විශයභාර ඇමතිවරයා පමණක්ම නෙවෙයි. ජනාධිපති නීතීඥවරයෙක්. ඉතින් ඔහු නීතිය දන්නෙ නැද්ද? ඒව බොරු කතා. ඔහු නීතිය දන්නවා. ඔහු දැනගෙන මේ වැඩේ කළේ. ඔහු දන්නවා ඔහුම පත්කරපු සීමානීර්ණ අභියාචනා කමිටුවේ බලතල හා කර්තව්‍යයන් මොනවද කියලා. ඒ සීමානීර්ණ අභියාචනාධිකරණ කමිටුවට තියෙන බලතල මොනවද කියනඑක දැනගෙන තමයි ඔහු ඒ කමිටුව පත් කළේ. මොකද කමිටව පත්කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කරද්දි ඒ කමිටුවට තියෙන බලතල මොනවද කියලා සඳහන් කරලා තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඒ බලතල ඉක්මවා ගිහිල්ලා වැඩකරලා තියෙනවනම් අමැතිවරයට ඒක තේරෙන්න ඕන. අඩුම ගානේ ජනාධිපති නීතිඥයෙක් වුනාට ඔහු හරියට නීතිය දන්නේ නැත්නම් ඔහුට වගකීමක් තියෙනවා සීමානීර්ණ අභියාචනා කමිටුවෙන් ඉදිරිපතකරන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව හරහා විමසීමකට ලක් කරලා එහි දෝෂ තියෙනවද ඒ බලතල ඉක්මවා ගිහිල්ලා තියෙනවද නැද්ද කියලා ප්‍රශ්න කරන්න. ඕනම ගැසට් එකක්, පනතක් ඉදිරිපත් කරද්දි නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය අරගෙන තමයි ඉදිරිපත් කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අනපනත් ඉදිරිපත් කරන්නේ නැහැ කැබිනට් මණ්ඩලයටත එතකොට හිතාමතාම ඔහු මේක මගහැරලා තියෙනවා. මේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ වගකීම පැහැර හැරලා තමයි මේ ගැසට් එක ගහලා තියෙන්නේ. එතකොට පෙබරවාරි මාසෙ ගහපු ගැසට් එකට උසාවි යන්නේ නොවැම්බර් මාසයේ. හරි පැහැදිලියි මෙතන තියෙන කුමන්ත්‍රණය. මේ ගැසට් එකේ දෝෂයක් තිබුණනම්, වැරැද්දක් තිබුණනම් පෙබරවාරි මාසේ කියන්නේ දෙවෙනි මාසේ, නොවැම්බර් මාසෙ කියන්නේ 11 වෙනි මාසේ. මාස 09යක් තිස්සෙ මේ ගැසට් එකේ තිබිච්ච වැරැද්ද නිවැරදි කරන්න ඇමතිවරයා අපොහොසත් වෙලා. ඇත්තයම මේ පිළිබඳව අවංකවම උසාවි ගියා කියනවනම් නොවැම්බර් මාසේ වෙනකම් ඉන්නෙ නැහැ. ඒක නිසා මේක හරි පැහැදිලියි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මුල් වෙලා මේ කණ්ඩායමේ වුවමනාව මත ගහපු ගේම් එකක් මේ තියෙන්නේ. මේ කණ්ඩායමේ වුවමනාවම තමයි අන්තිම මොහොත දක්වා ඉඳලා මැතිවරණය පවත්වන්න දින තීන්දු වෙන කිට්ටු වෙනකොට මේක උසාවිය ගිනිහිල්ලා මැතිවරණය කල්දාන එක.

මොකද ඔවුන් තමයි මේක දන්නේ. මෙකේ වැරැද්දක්, දෝශයක් තියෙනවා කියලා දන්නේ ෆයිසර් මුස්තාපා. මේ බලතලවලට එහා ගිහිල්ලා ගැසට් එක ගැහුවයි කියන එක සාමාන්‍ය ජනතාවට දැනග්න ක්‍රමයක් නැහැ. ඔහු තමයි මේකේ හරියටම ඒ අඩුව, සිදුර දැනගෙන හිටපු කෙනා. ඒක නිසා මේ ගැසට් එක ගහපු කෙනා විදිහට මේ කුමන්ත්‍රණය දියත්කිරීමත් ඔහුම බාරඅරගෙන තියෙනව. බරපතල අපරාදයක් වැරැද්දක් කරල තියෙනව.

මේ ප්‍රාදේශීය සභා ඡන්දය කියලා කියන්නේ මේ රටේ බිම්මට්ටමේ ජනතාවගේ ඡන්ද අයිතියක් අද අවුරුදු ගණක් තිස්සේ මුළු රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ක්‍රියාත්මක වේනනේ නැහැ. බිම්මට්ටමේ පළාත් පාලන ආයතන තමයි අද තියෙන ආයතනික ව්‍යූහය අනුව සාමාන්‍ය ගම්මට්ටමේ පුරවැසියට යම් කිසි හෝ බලයක් ලැබෙන ආයතනය. ඔවුන්ගේ දුක්ගැනවිල්ල, ඔවුන්ගේ සබෑ ප්‍රශ්නය විසඳගන්න තියෙන එකම ආයතනය තමයි ඒ බිම්මට්ටමේ තියෙන පළාත් පාලන ආයතනය. ඒවා අකර්මන්‍යවුනාම බිම්මට්ටමේ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න ක්‍රමයක් නැහැ.

අනික් පැත්තට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත්තොත් මැතිවරණ කල් දැමීම කිසිසේත්ම යහපාලනයට උචිත නැහැ. යහපානය කියලා කියන්නේ නිසි කලට වෙලාවට මැතිවරණ පවත්වලා ප්‍රචාතන්ත්‍රවාදය සහතික කරන එක. එතොකට යහපාලනයේ ප්‍රධාන මූලධර්මයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන එක. ඒ නිසා මේ ක්‍රියාමාර්ගය හරහා ආණ්ඩුව පෙන්නලා තියෙන්නේ එක පැත්තකින් සදාචාර විරෝධී විදිහට අනික් පැත්තෙන් නීතිවිරෝධී විදිහට මෙම මැතිවරණය කල් දැමීමක්. මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගැනීමක් ප්‍රචාතන්ත්‍රවාදයට මේක මරුපහරක්. ඒ නිසා අපි දකිනවා මේකෙදි විශයභාර ඇමතිවරයා බරපතල අපරාධයක් කරල තියෙනවා. වැරැද්දක් කරල තියෙනවා. ඔහු වැරැද්ද දැන දැන මේ ගැසට් නිවේදනය නිකුත් කරපු එක වැරදියි. අද ඔහුට එරෙහිව ඔහු ප්‍රධාන වගඋත්තර කාරයා කරලා උසාවියේ නඩුවක් යද්දි අඩුම ගානේ ඔහු රටෙත් නැහැ. ඔහු රටින් පැනලා. ඔහු රටින් පැනලා ඉන්න වෙලාවේ මෙහේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයට උත්තර බඳින්නවත් ෆයිසර් ඇමතිවරයා නැහැ.

අපි දකිනවා දිගින් දිගටම මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශයභාර ඇමතිවරයා විදිහට ෆයිසර් මුස්තාපා ඇමතිවරයා තමන්ගේ වගකීම දිගින් දිගටම පැහැර හැරලා තියෙනවා. වතාවක්, දෙවතාවක් නෙවෙයි සිය වතාවක් මේ වැරැද්ද ෆයිසර් මුස්තාපා විශයභාර ඇමතිවරයා විසින් කරලා තියෙනවා. අනසානමොහොතෙත් මැතිවරණය පවත්වන්න සියළු කටයුතු සංවිධානය වෙලා තියෙන මොහොතෙත් ඇමතිවරයා විසින් මේ වගකීම පැහැර හැරලා තියෙනවා. ඒ නිසා වැරදි ගැසට් එකක් ගහපු ඇමති, ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගෙන මේ මැතිවරණය කල්දාපු ඇමතිවරයා තවදුරටත් මේ අමාත්‍ය ධුරයේ සිටියයුතු නැහැ. ඔහුට මේ ධුරය දරන්න තවදුරටත් සදාචාරාත්මක මෙන්ම නීතිමය අයිතියක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව කියනවා අමාත්‍යවරයා මේ වගකීමෙන් වහාම ඉවත් කළ යුතුයි. ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා වහාම තීන්දුවක් ගතයුතුයි. ජනාධිපතිවරයා ඒ තීන්දුව ගන්නේ නැති බව අපිට පැහැදිලියි. මොකද ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයේ වුවමනාව තමයි ඔහු මේ ඉටුකරමින් තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ 225ක් ඉන්න මන්ත්‍රීවරු ඒ බහුතරයක් ඇමතිවරයාගේ මේ අත්තනෝමතික වැරදි ක්‍රියාමාර්ග කිසිසේත්ම අනුමත නොකළ යුතුයි කියලා අපි හිතනවා. ඔහුට මේ ගකීම දරන්න අයිතියක් නැහැ. ඔහු මේ විශය දරණ ප්‍රධාන ඇමතිවරයා වීමට කිසිදු හැකියාවක් ඔහුට නැහැ. මොකද ඔහු වැරදි ගැසට් නිකුත් කරලා. ඔහු මැතිවරණය කල් දානවා. ඒ නිසා අපි බලාපොරොත්තුවෙනවා නොබෝදිනකින්ම ෆයසර් මුස්තාපා ඇමතිවරයා ජනතාවගේ මැතිවරණ කල්දැමීමේ, ඒ වගේම වැරදි ගැසට් නිකුත් කිරීමේ ප්‍රධාන වගඋත්තර කාරයා විදිහට ෆයිසර් මුස්තාපා ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගේන්න.

අපි ඉදිරියේදි ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරිම සඳහා වෙච්ච විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහිදී පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ නියෝජන කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඒ මැදිහත්වීම අපි බලාපොරොත්තුවෙනවා. අපි ආරාධනා කරනවා සියලු දෙනාටම වගකීමට සුදුසු නැති වැරදි ගැසට් නිකුත් කරන, තනතුරෙන් ජනාධිපති නීතිඥයෙක් වුනාට තමන් නිකුත් කරන ගැසට් එකවත් හරියට ඉදිරිපත් කරන්න බැරි මෙහෙම ඇමතිවරු ඒ වගකීමට කිසිසේත්ම සුදුසු නැහැ. අනික් පැත්තට ඒ ඇමති බලය පාවිච්චි කරලා තවදුරටත් මැතිවරණ කල් දාන්න ඔහුට සදාචාරාත්මක, නීතිමය අයිතියක් නැහැ. ඒ නිසා මෙවැනි ඇමතිවරු මේ වගකීමේ මේ තනතුරේ තවදුරටත් සිටියයුතු නැහැ. ඔහු වහාම ඉවත් කළ යුතුයි. ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත්ක රනවා කතානායක තුමාට ඉදිරියේදි භාරදෙනවා. අපි ආරාධනාකරනවා සියලු මන්ත්‍රීවරුන්ට මේ විශ්වාසභංගයත් එක්ක මේ විශයට නොගැලපෙන මේ ෆයිසර් මුස්තාපා ඇමතිවරයා මේ ධුරයෙන් ඉවත් කරන්න කටයුතු කරන්න සහයෝගය දෙන්න කියලා. අපි සූදානම් මේ ඡන්දය නිසිකලට පවත්වන්න අනිවාර්යයෙන්ම මේ ජනතාවගේ අයිතියක් වෙච්ච මේ ඡන්දය පවත්වා ගැනීම සඳහා වෙච්ච සියලු සටන් ක්‍රියාමාර්ගවලට යන්න.

පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් මහජනතාවත් එක්කත් මහ පාරට බැහැල උද්ඝෝෂණය කරලා සටන් කරලා මේ මැතිවරණය අනිවාර්යයෙන්ම දිනාගත යුතුයි. මේක ජනතාවගේ අයිතියක්. ජනතාවගේ අයිතිය පක්ෂවල අර්බුද නිසා, අභ්‍යන්තර අර්බුද නිසා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න ඉඩදෙන්න බැහැ. ඒක රටක අනාගතයට ඉතාම අනුතුරු දායකයි. ඉතිහාසයේ අපි අත්දැකලා තියෙනවා මැතිවරණ කල් දැමීමේ ආදීනවයන්, ප්‍රතිවිපාකයන්. ඒ නිසා නැවත ඒ ඉතිහාසයේ ඇතිවෙච්ච සිදුවීම් අනාගතයේ ඇතිවෙන්න ඉඩ තියන්න බැහැ. ඒව වලක්වන්න ඕන. ඒව වලක්වන්න ප්‍රජාතන්ත්‍රවාදය දිනාගතයුතුයි. ප්‍රජාතන්ත දිනාගැනීමේ ප්‍රධාන එකක් තමයි මැතිවරණ දිනාගැනීම. මැතිවරණ දිනාගැනීමේ සටනට පාර්ලිමේන්තුව තුළත් ඉන් එළියෙත් අපි සටන් කරනවා. ඒ නිසා පළවෙනි සටන් ක්‍රියාමාර්ගය ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඒම.

අපි දින දෙක තුනකින් මේ විශ්වාසභංගය කතානායක තුමාට භාරදෙන්න අපි සූදානම්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here