නිදහස් අධ්‍යාපනය නිසා වතුකරයේ දෙමළ පාසල්වල ළමුන් පවා ඉහලට ආවා

0

C.W.W. කන්නන්ගර මැතිතුමා ඇරඹූ නිදහස් අධ්‍යාපනය නිසා වතුකරයේ දෙමළ පාසල්වල ළමුන් පවා ඉහළ අධ්‍යාපනය ලබා හොද රැකියාවල් කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී. ජයසිංහ පවසයි.

හොප්ටන් දෙමළ මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා පදක්කම් පැළදවීමේ උත්සවයට එක්වෙමින් ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේ දෙමළ ජනතාව අපේ රටේ කොටසක් බවත් සියලුදෙනාම සහජීවනයෙන් කටයුතු කළ යුතු බවයි.

C.W.W. කන්නන්ගර මහතා අධ්‍යාපන ඇමති වශයෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය බිහිවුණා. ඒ අනුව අද ගම්බද දුෂ්කර පාසල්වල ළමුන්ට පවා උසස් අධ්‍යාපනයක් ලබා වෛද්‍ය, පරිපාලන වැනි ඉහළ මට්ටමේ රැකියා කිරීමට අවස්ථාව උදා වුනා. ඒ ගැන අප සතුටු විය යුතුයි.

ජේ.ආර්. ජයවර්ධන මහතා 1978 ව්‍යවස්ථාව මඟින් සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා ලෙස නම් කිරීම හේතුවෙන් දෙමළ ජනතාවට තමන්ගේ භාෂාවෙන් ලිපි ලිවීමට හා පිළිතුරු ලබා ගැනීමේ අයිතිය ලැබුණා. දෙමළ ජනතාව අපේ රටේ කොටසක්. අප සහජීවනයෙන් කටයුතු කළ යුතුයි. අද මම මෙම දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ට ශිෂ්‍ය නායක පදක්කම් පැළැඳවීමේ උත්සවයට පැමිණියේ ඉතා සතුටින්. මේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට අප උපරිම අයුරින් අදව් කළ යුතුයි.

මෙහිදී ශිෂ්‍ය නායක නායිකාවන් 60 කු සඳහා පදක්කම් පැළඳවීම කරන ලදි. මේ අවස්ථාවට ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂ මූර්ති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එස්. මනෝහරන්, විදුහල්පති වී නිරෝෂන් සහ පාසල් කිහිපයක විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here