වාර්ගික පදනමෙන් බලය බෙදීම ගෝත්‍රික සංකල්පයක්

0

“රටේ පුරවැසියන්ගේ පාලක පන්තිය හා පාලක පන්තියට සම්බන්ධ සුළු පිරිසක් හැරුනුකොට රටේ අති බහුතරයක් පුරවැසියා දෙවන පන්තියේ පුරවැසියන් වන බවත්, සිංහල සමාජයේ මෙන්ම දෙමළ හා මුස්ලිම් සමාජයේත් රටේ පලවන පන්තියේ පුරවැසි අයිතීන් භුක්ති විදින සුලු පිරිසක් සිටින බවත්ය. මෙයින් පැහැදිලි වන්නේ ශිෂ්ටසම්පන්න සමාජය අහිමිවීමෙන් සමාජ පන්තිය අනුව පුද්ගලයන් අවමානයට ලක්වීම සිදු වන බව ය.”

නීතිඥ මංජුල සේනානායකගේ නීතිය බලය සහ ජනාධිපති කෘතිය ඇසුරින් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවාගේ විවරණයක්

නීතිඥ මංජුල සේනානායක විසින් රචිත නීතිය බලය සහ ජනාධිපති – විධායක අගමැති ක්‍රමයද ඒකාධිපතිත්වයකි, කෘතිය මේ පිළිබඳව වර්තමානයේ යම් සාකච්චාවකට ආරම්භයක් ගෙන තිබේ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය වෙනුවට විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීම නිරර්ථක බව හා එමඟින් රටේ ආණ්ඩු පාලනයේ දී ඇතිවන ව්‍යාකූලභාවය ද, රට බෙදුම්වාදීන්ට ගොදුරු වන ආකාරය ද, නීතිමය වශයෙන් ද දේශපාලනික වශයෙන් ද මනා ලෙස විග්‍රහ කර ඇති අතර වාර්ගික අයිතීන් පිළිබඳව ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ සංකල්පය මත පදනම්ව සාකච්ඡා කර ඇත. නීතිඥ මංජුල සේනානායක මහතා සිය කෘතියෙන් දක්වන්නෙ දැඩි දේශපාලන ආතතියකින් පසුවන ශ්‍රී ලංකා සමාජයේ බෙදුම්වාදී දේශපාලන කණ්ඩායම් වර්ගවාදී පදනමෙන් තම බෙදුම්වාදී දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට සභාග ආණ්ඩු බිඳ දැමීම සිදුකරන බවත්, විධායක අගමැති ක්‍රමය එකී දේශපාලන සුදුවට හොඳ පසුබිමක් සපයන බවත්ය. ජන වර්ග හෝ ආගමික පදනම්වලින් ක්‍රියාත්මක දේශපාලන පක්ෂ ලෙස පෙනී සිටින මූලධර්මවාදී හා බෙදුම්වාදී කණ්ඩායම් එසේ සභාග ආණ්ඩු බිඳ දමා හැරයාම රාජ්‍යයේ දේශපාලන ඒකාග්‍රතාවය බිඳ දැමීමක් මෙන්ම එය ලිබරල් ජාතික රාජ්‍යයේ පැවැත්මට ද දේශපාලන අනන්‍යතාවයට ද හානිකර බව මෙම කෘතිය තුළින් පෙන්වා දී ඇත. වර්ගවාදී අරමුණින් ආණ්ඩු හැරයාම රාජ්‍යයේ පුරවැසිභාවය අභියෝගයට ලක්කිරීමක් බවද කතුවරයා පෙන්වා දෙයි. එම කරුණ සාකච්ඡා කිරීම සඳහා වාර්ගික අයිතීන් පිළිබඳව දක්වා ඇත.

රටක පුරවැසියකු වීම මත පුරවැසියාට හිමි වන තත්වයන් පුරවැසි භාවය ලෙස පෙන්වාදෙන කතුවරයා, ජාතික රාජ්‍යය ගොඩනැඟීමේ දී අත්‍යාවශ්‍ය කොන්දේසියක් ලෙස සජාතීය ප්‍රජාවක් නිර්මාණය කිරීම අවශ්‍ය වූ බවත්, එයින් ජාතිය ගොඩනැගීම අදහස් වූ බවත් පෙන්වා දී ඇත. භාෂාවෙන්, ආගමෙන්, සංස්කෘතියෙන්, වෙනස් කම් තිබූ කුඩා ප්‍රජාවන් බහුතර ප්‍රජාව වෙත අවශෝෂණය කිරීම ජාතිය ගොඩනැගීමේ ලිබරල් ප්‍රතිපත්තිය බවත්, එහි අපේක්ෂාව විෂමතා අහෝසිකර පුරවැසියාගේ සංස්කෘතිය රාජ්‍යයේ සංස්කෘතියට සමපාත කිරීම බවත්, කෘතියෙන් දක්වා ඇත. මෙම පටිපාටිය අර්බුදයට යාම කතුවරයා විස්තර කරන්නේ “මෙම ක්‍රියාදාමයේදී පළමු කාණ්ඩය ලෙස ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, වැනි රටවල මුල් පදිංචිකරුවන් තමන් සමාජ, සංස්කෘතික හානියකට ගොදුර බවට චෝදනා කළ අතර, කැනඩාව තුළ ප්‍රංශ ජාතිකයන් තමන්ට ඉංග්‍රීසි කතා කරන පිරිසගෙන් සිදුවන පීඩා ගැන ද, ස්කොට්, අයිරිෂ්, ජාතිකයන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි ජාතිකයන්ගේ වෙනස්කම් වලට ලක්වන බවට ද, චෝදනා කළේය. දෙවන කාණ්ඩය ලෙස, දෙවන ලෝක යුද්ධයෙන් පසු සිදු වූ සංක්‍රමණ හේතුවෙන් තම මව්බිමෙන් වෙනත් රාජ්‍යයකට පදිංචියට ආ පුද්ගලයන් සිය මුල් භාෂාව, ආගම, සංස්කෘතිය පවත්වාගෙන යෑමට ඉල්ලීම් කළහ. මෙම තත්ත්වය මත ජාතිය ගොඩනැගීම ගැන වූ ලිබරල් න්‍යාය අර්බුදයට ගියේය” යනුවෙනි. තම ප්‍රජාවට විශේෂ නියෝජන අයිතීන් ද, වාර්ගික අයිතීන් ද, පසුව ස්වයං පාලන අයිතීන් ද, ඉල්ලා සිටින්නේ ඉහත කී දෙවන කාණ්ඩයට අයත් පිරිස බව මෙම කෘතියෙන් පෙන්වා දෙයි.

මෙම ජාතික රාජ්‍ය බිහි කිරීමට පෙර පුරවැසිභාවය එසේ නොවූ බව කතුවරයා කියයි. භෞතික දේශ සීමා පිළිබඳ සැලකීමක් සිදු නොවු අතර රාජ්‍ය විග්‍රහ කරනු ලැබ ඇත්තේ ගෝත්‍රයක් මුල්කරගෙනය. එම ඉතිහාසය ශිෂ්ටාචාරයක් බිහි කළ ජාතියකට අයත් භූමියක් තුළ ඔවුන් විසින් ගොඩනැගූ ජාතික රාජ්‍යය සමඟ ගැලපීමේදී, වාර්ගික ලක්ෂණ මත කෙරෙන ස්වයං පාලන උත්සාහයන් ගෝත්‍ර යුගයේ භාවිතාවක් වන බව කතුවරයා පෙන්වා දෙයි. කතුවරයා එම තර්කයට එළඹෙන්නේ ජාතික රාජ්‍ය බිහි කර ගැනීමේ පදනම සැලකිල්ලට ගෙනය. එම පදනම නිවැරැදි ය. ඉතිහාසය විකාශනය සමග සැසඳීමේදී තාර්කිකය. මෙම පදනම කෘතියෙන් පැහැදිලි කර ඇත්තේ මෙසේය, “ඓතිහාසික ජාතියකට අයත් භූමියක් එම ජාතිය මුල් වීමෙන් වෙනම ජාතික රාජ්‍ය ලෙස බිහිකර ගත් අතර ශ්‍රී ලංකාව ( සිංහලය ), ජපානය, එවැනි රාජ්‍ය වේ. ජාතීන් කිහිපයක් හා ඔවුන්ගේ නිජබිම එකට එක්කර සමූහ ජාතික රාජ්‍යය ද නිර්මාණය කර ඇත. ඉන්දියාව ඒ ආකාරයෙන් ගොඩ නගා ඇත. යම් ඓතිහාසික ජාතියක් බලහත්කාරයෙන් යටපත් කර ඔවුන්ගේ භූමිය තුළ නවීන ජාතියක් වශයෙන් රාජ්‍ය ද ගොඩනගා ඇත. ඇමරිකාව මෙවැනි රාජ්‍යකි. නවීන ජාතික රාජ්‍ය අතරට අමෙරිකාවට අමතරව නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ද එක්විය යුතුය.

කතුවරයාගේ අදහස වශයෙන් පෙනෙන්නේ සමූහ ජාතික රාජ්‍ය තුළ ද, නවීන ජාතික රාජ්‍යය තුළ ද, වාර්ගික පදනමෙන් වෙනම පාලන ඒකක තබා ගැනීමේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අයිතියක් ඇතැයි කල්පනා කළ හැකි නමුත්, එයද එක් පුරවැසිභාවයක් අගයන ලෝකයට නොගැළපෙන එකක් බවයි. පරිපාලන ඒකක වෙන් කළ යුත්තේ පුරවැසියාගේ දෛනික අවශ්‍යතා හා ගැටලු ප්‍රමාදයකින් තොරව ඉටු කිරීමටය. එය රටේ පොදු නීතියට අනුකූල විය යුතුය. බෙදීමක් නොපෙන්විය යුතුය. ඓතිහාසික ජාතික රාජ්‍යය තුළ එවන් ඉල්ලීමක් කිරීමටවත් අයිතියක් නැත. කතුවරයා තර්ක කරන්නේ ඓතිහාසික ජාතික රාජ්‍යය තුළ එක් පුරවැසිභාවයක් තබා ගනිමින් වාර්ගික පදනමෙන් පාලන ඒකක නිර්මාණය පරස්පර හා නොගැලපෙන භාවිතාවක් බවයි. එසේ ගෝත්‍ර ගත ලක්ෂණ සඳහා අරගල කරනුයේ රාජ්‍යයේ තනි පුරවැසි තත්ත්වය පිළිගැනීමට ඇති අකැමැත්ත නිසා බව කතුවරයා පෙන්වා දේ. එවන් ඉල්ලීම් අවසානයේ ස්වයං නිර්ණය අයිතිය දක්වා ඇදී යන බවත්, එහිදී ජාතික රාජ්‍යය අභියෝගයට ලක්වීම සිදු වන බවත් මෙම කෘතිය තුළින් පෙන්වා දී තිබේ.

දෙමළ වීම මත අසාධාරණයට ලක්වේය යන චෝදනාව ඊනියා විලාපයක්

මෙම කෘතියෙන් කතුවරයා මතු කරන වැදගත් අදහසක් වන්නේ මෙරටට ශිෂ්ට සම්පන්න සමාජයක අවශ්‍යතාවයක් පවතින බවට වන තර්කයයි. බෙදුම්වාදී ඉල්ලීම් අසාධාරණ ඉල්ලීම් ලෙස නොපෙනෙන්නේ සමාජය ශිෂ්ට සම්පන්න නොදීම හේතුවෙන් බවට මතයක් ඇති කිරීමට කතුවරයා උත්සාහ දරන බව පෙනේ. ශිෂ්ටසම්පන්න සමාජයක තමන්ට අවමානයක් සිදු වූ බවට හිතෙන භාවිතයන් නැති ආයතන පැවතිය යුතු බව කතුවරයා දක්වයි. ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ දේශපාලන බලය සඳහා සංවර්ධනය නොව, දේශපාලන බලය සඳහා දේශපාලනය කිරීමේ සංස්කෘතියක් බවත්, තමාට ලැබෙන අමාත්‍යාංශයට තම කුලයට අයත් පුද්ගලයන් නිලධාරීන් ලෙස තෝරා ගැනීමේ උනන්දුවේ සිට ගෝත්‍ර ගතවීම් ඉහවහා ගිය දේශපාලන භාවිතයක් බවත් කතුවරයා කියා සිටී. මෙයින් කතුවරයා කියා සිටින්නේ මෙරට සමාජය ශිෂ්ට සම්පන්න නොවන බවයි. මෙම තර්කය කෘතියෙහි මනා ලෙස ගොඩනගා ඇත.

දෙවන පෙළ පුරවැසිභාවය ගැටලුව පවතින්නේ වාර්ගික හෝ බහුජාතිමය කණ්ඩායම් වලට අයත් වීමෙන් යැයි සිතීම වැරදි බව කෘතියේ සාකච්ඡා කරයි. ආර්ථික, සමාජී,ය සංස්කෘතික, සිවිල් හා දේශපාලන, අයිතීන් න්‍යායාත්මකව හිමිව තිබියදී දේශපාලන හා සිවිල් භාවිතයන් සහ ආයතන හරහා ස්ත්‍රීන්ට පුරවැසිභාවයට අයත් අයිතීන් අහිමි වන බව කතුවරයා ගේ අදහසයි . එසේම කුල පීඩනයෙ වින්දිතයන් ද, ශරීර දුබලතා ඇත්තන් ද, සමාජ පංති භේදය හේතුවෙන් ද , අධ්‍යාපනය හා නියුතු රැකියාව හේතුවෙන් ආර්ථික, සමාජයීය, සංස්කෘතික, සිවිල් හා දේශපාලන අයිතීන් න්‍යායාත්මකව හිමි මිනිසුන් දෙවන පෙළ පුරවැසියන් බවට පත්වන බව කෘතියෙන් පෙන්වා දීම නිවැරදිය. කතුවරයා කියා සිටින ශිෂ්ට සම්පන්න සමාජය තිබුණේ නම් මෙම පිරිස දෙවන පෙළ පුරවැසියන් බවට පත්වන්නේ නැත. කතුවරයා ඊට ලාංකීය උදාහරණයක් දක්වමින් “සිංහල ජාතිය සමග භාෂාවෙන් හෝ ජනවර්ග පදනමෙන් වෙනස් නොවූ අවි ගත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කළ පුරවැසියන් දෙවන කොට සැලකීම ලංකාව තුළ තවමත් අවසන්ව නැත, එබැවින් භාෂා පදනමෙන් ස්වයං පාලන ඒකක ලබා දුන් පමණින් පුරවැසිභාවයට අදාළ සියලු ගැටලු සමනය නොවන බවට අත්දැකීම් ඉතිරිව තිබේ” යනුවෙන් දක්වයි. මෙය ඉතා සංවේදී තැනකට ගෙන යමින් “1971 දී හා 89 දී තරුණ පුරවැසියන් ඝාතනය කිරීමේ සිට මෑතක වැලිකඩ බන්ධනාගාරය තුළ වූ මනුෂ්‍ය ඝාතන දක්වා භීෂනයන් සිංහල සමාජය මුහුණ දුන් පාලකයන්ගෙන් මර්ධනයන් ය. ඒ තුළ නෛතිකව හිමි පුරවැසි අයිතීන් ලබා ගත නොහැකිව ජීවත් වීමේ අයිතියද අහිමි වූ අති බහුතර සාමාජිකයන් සිංහලය. එමගින් ගම්‍ය වන අදහස නම් පාලකයාගේ මර්දනය කාටත් පොදු බවය” යැයි කතුවරයා පවසන්නේ, දෙමළ සමාජයේ ඇතැමෙකුගෙන් නැගෙන “දෙමළ වීම මත අසාධාරණ සැලකීමක් සිදුවේ යැයි” යන ඊනියා චෝදනාවේ නිරුවත පෙන්වීමට විය යුතුය. කතුවරයාගේ අදහස වන්නේ රටේ පුරවැසියන්ගේ පාලක පන්තිය හා පාලක පන්තියට සම්බන්ධ සුළු පිරිසක් හැරුනුකොට රටේ අති බහුතරයක් පුරවැසියා දෙවන පන්තියේ පුරවැසියන් වන බවත්, සිංහල සමාජයේ මෙන්ම දෙමළ හා මුස්ලිම් සමාජයේත් රටේ පලවන පන්තියේ පුරවැසි අයිතීන් භුක්ති විදින සුලු පිරිසක් සිටින බවත්ය. මෙයින් පැහැදිලි වන්නේ ශිෂ්ටසම්පන්න සමාජය අහිමිවීමෙන් සමාජ පන්තිය අනුව පුද්ගලයන් අවමානයට ලක්වීම සිදු වන බව ය.

කතුවරයා දෙමළ ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතීන් ද සාකච්ඡා කරයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහතුන්වන සංශෝධනය මගින් ස්ථාපිත පළාත් සභා හරහා ශි ලංකාව තුල දැනටමත් යම් ආකාරයක බලය බෙදා ඇති බවත්, එම බලය බෙදීම හෝ ස්වයං පාලන ඒකක ජාත්‍යන්තර නීතියේ හඳුනාගැනෙන ආකාරයේ බලය බෙදීම් පාලන ඒකක නොවන බව අවධාරණය කිරීමට කතුවරයා වගබලාගෙන ඇත. සිංහල භාෂාවට අමතරව දෙමළ භාෂාව ද ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් ලෙස 1978 ව්‍යවස්ථාවෙන් ම පිළිගෙන තිබූ අතර, දහතුන්වන සංශෝධනය මගින් 18 ව්‍යවස්ථාව සංශෝධනය කර දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් බවට පත්කර ඇත. 21 ව්‍යවස්ථාව මගින් ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකින් ඉගෙනීමට අවස්ථාව 1978 ව්‍යවස්ථාවෙන්ම සහතික කර ඇති බවත් 22 වන ව්‍යවස්ථාව යටතේ සිංහල භාෂාව පරිපාලන භාෂාව වුවද උතුරු හා නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව ලෙස දෙමළ භාෂාව යොදා ගැනීමට ප්‍රතිපාදන සකසා තිබූ නමුත් 16 වන සංශෝධනය මගින් දෙමළ භාෂාව ද ශ්‍රී ලංකාව මුළුල්ලේම පරිපාලන භාෂාවක් බවට පත්කර ඇති බව පෙන්වා දෙයි. මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සඳහන් කරමින් 1978 ව්‍යවස්ථාව මගින් මුලික අයිතිවාසිකම් තහවුරු කර ඇති අතර සිතීමේ, හෘද සාක්ෂිය හා ආගමික නිදහස ද, එකළොස් වන ව්‍යවස්ථාව යටතේ වදහින්සා අවමන් සහගත සැලකිලි වලින් තොර ව සිටීමේ අයිතිය ද පුරවැසියන්ට පමණක් නොව පුරවැසියන් නොවන තැනැත්තන්ට ද තහවුරු කර දී ඇත. දොළොස් වන ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට නීතිය පසඳලීම හා ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, උපන් ස්තානය අනුව වෙනස්කමකට හෝ විශ්ලේෂණයකට භාජනය නො වීමේ අයිතිය ද, 14 වන ව්‍යවස්ථාව මඟින් පුරවැසියන්ට භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස, සමාගමයේ නිදහස, ආගමික නිදහස සංස්කෘතික නිදහස ද, රැකියාවක් කිරීමේ නිදහසද, කවර ස්ථානයක වාසය කිරීමේ නිදහස ද, ලංකාවට පෙරළා පැමිණි මේ නිදහස, 15 වන ව්‍යවස්ථාවේ සීමා කිරීම් වලට යටත්ව තහවුරු කර තිබේ, යනුවෙන් දක්වයි.

අසාධාරණයට ලක්වීම වැළැක්විය හැකි පියවර ස්වයං පාලන ඒකක ඇති කිරීම යැයි කල්පනා කළහොත් වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රි පුරුෂ භේදය, රැකියාව හෝ උපන් ස්ථානය අනුව ද ස්වයං පාලන ඒකක සෑදිය යුතු යැයි ඉල්ලීම් ඉදිරිපත් වීම ද සාධාරණය. එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් එය සැබෑවටම විහිළුවකි. සමාජ පන්තිය මත මිනිසුන්ට සැලකීමේ ආකල්පය ඇති රාජ්‍යයක ස්වයං පාලන කලාප ඇති කිරීම මගින් එම ආකල්ප නැති කළ නොහැකිය. කතුවරයාගේ ප්‍රකාශනය ලෙස පෙනෙන්නේ පාලකයා පුරවැසියන්ට අහිමිකරන අයිතීන් දිනාගැනීම සඳහා ජනතාවගේ පොදු අරගලයක් මිස වෙතත් අරගල සැබෑ ගැටලුව යටපත් කිරීමක් ලෙසය. කතුවරයා තම කෘතිය තුලින් කීමට උත්සාහ ගෙන ඇත්තේ වාර්ගික පදනමින් බලය බෙදා හැර වාර්ගික සහ බහුජාතිමය කණ්ඩායම්වල සංස්කෘතික ලක්ෂණ ජාතික අනන්‍යතාවයන් බවට පත් කිරීමට ගන්නා උත්සාහය ශ්‍රීලංකාවේ සිංහල අනන්‍යතාවය දියකර හැරීමට ගන්නා උත්සාහයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here