රටේ ආදායම නංවන්න බියර් වලට සහනය දීම සුදුසු නෑ! – ජනපති පාර්ලිමේන්තුවේදි කියයි.

0

ලංකාවේ ආදායම් වර්ධනය කර ගැනීමට බියර් හෝ වේවා, වෙනයම් මොනයම්  හෝ මත්ද්‍රව්‍යයක් සඳහා සහන ලබා නොදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඊයේ (04) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධ විවාදයට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“මම ඉතාමත්ම සතුටු වෙනවා මේ කාලය තුළ සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉතාම නිදහසේ වැඩ කරන්න ලැබිච්ච පින්වන්ත ඇමතිවරයෙක්. මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට හිටි අවුරුදු 5 මට තිබුණ මානසික පීඩනය හා බර පීඩනය කොච්චර ද කියලා මම දන්නවා. මේ ආණ්ඩුව මොනවද කළේ කියලා අහන අයට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් දීලා තියන සහන වරප්‍රසාද කොච්චර කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට ඉන්න කාලයේ පිලිකා රෝගියෙකුට දෙන්න පුළුවන් ඉහළම මුදල ලක්ෂ 15යි. දැන් එහෙම නැහැ.”

“ඇබ්බැහි වීමෙන් ජනතාව වැළැක්විය යුතුයි. රජයක් විදියට ආදායම් ලබා ගැනීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට මත්පැන්, සිගරට් වලින් එන ආදායම් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි කියන පැහැදිලි ප‍්‍රතිපත්තිය මත පිහිටිය යුතුයි. ඒ වගේම විදේශවලින් ගෙනෙන සිගරට් සම්බන්ධයෙන් කිසිසේත්ම අපට එකඟවෙන්න බැහැ. එය සුදුසු දෙයක් නොවෙයි. සෞඛ්‍ය ඇමතිතුමා සඳහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන සම්මාන ගෙවී ගිය වසර දෙකක තුනක කාලය ලෝකයේ කිසිම රටකට ලැබී නැහැ. එහෙම ලැබී තිබෙන්නේ අපේ ප‍්‍රතිපත්තියේ තිබෙන ගුණාත්මකභාවය නිසයි.”

‘‘මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ හෘද ස්පන්දනය තේරුම්ගෙන කටයුතු කරන ආණ්ඩුවක්. රජයක් විදියට පොදු ජනතාව කියන වචනය භාවිතා කරනවා වගේම ප‍්‍රමුඛතාවය දිය යුත්තේ දුගී ජනතාවට.” ජනාධිපතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here