රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරයට කැබිනට් හෝ ප්‍රාදේශීය සභාවේ අවසර ගෙන නෑ

0

වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය මෙන්ම වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බව මුල්‍ය අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් මඟින් ඊයේ (7) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් වරයා වෙත දැනුම් දි තිබේ.

අදාළ ව්‍යාපෘතිය සදහා ශ්‍රම දායකත්වය ලබා දීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් වාචික උපදෙස් හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එවකට හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව සිදු කර ඇති බවද මුල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කර තිබේ.

හිටපු ජනපති කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක්‍ෂගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් පිහිටි වීරකැටිය මැදමුලන හන්දියේ ඉදිකර ඇති ස්මාරක දෙක සහිත කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුකර ඇති අතර මේ ඉදිකිරීම් සඳහා ලක්‍ෂ 900ක මුදලක් වැයකර ඇති බවටත්, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ මෙම ඉදිකිරීම් සිදුකර ඇති බවටත් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ විමර්ශනය සිදුකෙරේ.

මෙම විමර්ශනයට අදාළ නඩුවේ නීතිමය කරුණු අභියෝගයට ලක් කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයේ 391/17 යටතේ නඩුවක් පවරා ඇති බවත් එහි අතුරු තහනම් නියෝගයක් මේ මස 15 දක්වා නිකුත් කර ඇති බව දැන්වූ මුල්‍ය අපරාධ කොට්ඨාසය ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථා‍වේ 2013, 2014 හා 2015 වර්ෂවලට අදාළ වාර්ෂික අවසන් ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ඇති බවත් විමර්ශන සිදු කර වාර්තා කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ජනවාරි 25 වන දිනට නඩුව යළි කැඳවීමට නියම කර තිබේ.