පළමු කණිෂ්ඨ ශිෂ්‍යභට පළාත් පුහුණු කඳවුර ගම්පහ දී ඇරඹේ

0

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ සංකල්පයකට අනුව පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන පළමු පළාත් ශිෂ්‍යභට පුහුණු කඳවුර අද (දෙසැම්බර් 12) ගම්පහ සියනෑ විද්‍යාපීඨ පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

බස්නාහිර පළාතට අයත් පාසල්කණිෂ්ඨ ශිෂ්‍යභට බාලක බාළිකාවන් 500ක් පමණ මෙම පුහුණු කඳවුරට සහභාගිවී සිටින අතර, මෙවැනි කඳවුරක් රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයෙන් බැහැරව පැවැත්වෙන්නේ ඉතිහාසයේ පළමුවතාවටය. පුහුණුවෙන් පසු ජාතික කඳවුරට සහභාගිවීමට නොහැකි වූ ශිෂ්‍යභට බාළක බාළිකාවන්ට මෙම කඳවුරට සහභාගිවීමට අවස්ථාව හිමිවී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් 1981න් පසුව වසර 35කට පසුව කණිෂ්ඨ ශිෂ්‍යභට වැඩසටහන 2016 වසරේදී යලි ආරම්භ කෙරුනු අතර,පාසල් මට්ටමින් පුහුණු වැඩසටහන් මේ වන විට කැපී පෙනෙන වර්ධනයක් අත්පත්කරගෙන ඇත.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පූර්ණ ආශිර්වාදය  ජාතික ශිෂ්‍යභට බළකායේ ප්‍රවර්ධනය සඳහා හිමිවී ඇති අතර, කණිෂ්ඨ ශිෂ්‍යභට වැඩපිළිවෙල දීප ව්‍යාප්ත මට්ටමින් ඉහළ තලයකට ගෙන ඒම සඳහා විෂයභාර  අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික ශිෂ්‍යභට බළකාය සම්බන්ධීකරණය කර ඉදිරිකාලය තුල දිවයිනේ අනෙකුත් පළාත් තුලද මෙම කණිෂ්ඨ ශිෂ්‍යභට පුහුණු කඳවුරු පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.