වෙළඳාමට බය නැති ලංකාවක් නිර්මාණය කරන්න කාලය හරි!

0

අතීතයෙන් පාඩම් ඉගන ගනිමින් අතීතය ආරක්ෂා කර ගනිමින් වෙළදාමට භය නැති ලංකාවක් නිර්මාණය කිරිමේ යුගය නැවත ඇති කිරීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේ දී පවතී යුරෝපා සංගමය, නෙදර්ලන්තය, ජර්මන් තානාපති කාර්යාලය සහ බ්‍රිතාත්‍ය කවුන්සිලය එක්ව සංවිධානය කළ “සජීවි උරුමය“ වැඩ සටහනට අද (13) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ථූපාරාමය ආරම්භ කළ අවධියේ සිට ශ්‍රී ලංකාවේ ගොඩනැගිලි පිළිබඳ ඉතිහාසය ආරම්භ වනවා. ශ්‍රී ලංකාවේ පළමු දාගැබ ලෙස හැදින්වෙන්නේ ථුපාරාමයයි. එදා සිට රජරට කේන්ද්‍ර කරගෙන අපේ රටේ දියුණු ශිෂ්ඨාචාරයක් ඇතිවුණා. ඒවගේම දඹදෙනි යුගයේ සිට බි්‍රතාන්‍ය යුගය දක්වා ඉදිවූ ගොඩනැගිලි රාශියක් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේත් තිබෙනවා. ඒ සියලූ ගොඩනැගිලි අපි ආරක්ෂා කර ගත යුතුයි.”

“කොළඹ නගරයේ පිහිටා තිබෙන බොහෝ ගොඩනැගිලි ඕලන්ද හා බ්‍රිතාන්‍යයේ ආභාශය ඇතිව ඉදිවූ ඒවායි. අතීතයේදී ආසියාවට නවීන වාණිජ ක්‍රමය හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවයි. රෝමානු ලන්දේසි නීතිය ක්‍රියාත්මක කරමින් යුරෝපීයන් වෙළෙදාම් සිදු කළේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගෙනයි. 1960 දශකය පමණ වනතුරුම ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධානම රට ලෙස සැලකුණා. ඒ කාලයේ ශ්‍රී ලංකාවේ ඉදිවූ ගොඩනැගිලි බොහොමයක් තවමත් හොද තත්වයේ තිබෙනවා. ඒවා අපි ආරක්ෂා කරගත යුතුයි.”

“ශ්‍රී ලංකාව රජරට රාජධානි සමය තුළත්, යටත් විජිත සමය තුළත් ආසියාවේ ප්‍රධානම වාණිජ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණා. එම අවධින්වල ශ්‍රී ලංකාවේ ඉදිවූ ගොඩනැගිලි ආරක්ෂා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ හරහා අප නැවතත් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමට උත්සාහ කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය නව ගෘහ නිර්මාණ ශිල්පයක් සහ නව ගොඩනැගිලි කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු සියලූම ප්‍රදේශවල ඉදිරියේදී ඉදි කෙරෙනවා. නව ශ්‍රී ලංකාවක් සඳහා අවශ්‍ය වන නව කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් බිංගිරිය, හම්බන්තොට, කළුතර ආදි ප්‍රදේශවල ඉදිකිරීමටද නියමිතයි.”

“රජරට රාජධානි සමයේදීත්, යටත් විජිත පාලන සමය තුලත් ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් ඇතිකර ගනිමින් නොබියව ජාත්‍යන්තරයට මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබුණා. එසේ නම් වර්තමානයේ කිසිදු බියකින් තොරව අනාගතය වෙත අවධානය යොමු කරමින් ශක්තිමත් වෙළෙඳ ආර්ථිකයක් නැවත ඇතිකර ගැනීමට හැකියාව අපට තිබෙනවා. ඒ සඳහා නව ගෘහ නිර්මාණ ශිල්පයක් ද අවශ්‍ය වනවා.”

“ඒවගේම අතීතයේත්, වර්තමානයේත් වටිනාකමකින් යුත් සියලූ ගොඩනැගිලි ආරක්ෂා කිරීමටත් ඒවායින් අලූත් ප්‍රයෝජනයක් ලබාගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එමනිසා ශ්‍රී ලංකාවේ අතීතය ආරක්ෂා කරගනිමින් එම අතීතයෙන් පාඩම් ඉගෙන ගනිමින් වෙළෙදාමට භය නැති ජනතාවක් ලෙස නැවතත් ශ්‍රී ලංකාව සාර්ථක විවෘත ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත්කර ගනිමු යැයි මම ඔබට පවසනවා.”

Ranil Wickremesinghe