මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ….

0

“අද මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමත් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයත් අනුන් තුළ හැංගිලා ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලූ තත්ත්වයන් දැන් පරාජය කර තිබෙනවා.” යෑයි ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැති ජවිපෙ පළාත් පළාන අපේක්ෂකයින්ගේ ජාතික මහ සමුළුව අමතමින් ටිල්වින් සිල්වා සදහන් කළේ අනෙක් පක්ෂ ඡන්දවලදි අපේක්ෂකයෝ තාම බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරක් බවයි.

ඔබ අපි කවුරුත් දන්නවා පළාත් පාලන මැතිවරණය වසර දෙකකට වැඩිය ප‍්‍රමාදයක් තිබුණු බව. අපි දැවැන්ත සටනක් ජයගෙන අලූත් මැතිවරණ ක‍්‍රමයක් යටතේ මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්තී‍්‍රවරයෙක් තෝරාගත හැකි අපේ රටේ ජනගහනයෙන් 51%ක් වන කාන්තා දේශපාලන නියෝජනය වැඩි ක‍්‍රමයක් යටතේ මේ මැතිවරණය එන්නේ. ජනතා විමුක්ති පෙරමුණේ අපි ප‍්‍රතිපත්තිමය දේශපාලනයකට අන්කවරදාත් වගේම මුලපුරා තිබෙනවා. මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා හෘදය සාක්ෂියක් තිබෙන මානවවාදී දේශපාලන සංස්කෘතියක් මේ රටේ ගොඩනඟන්න මැදිහත් වෙන්නේ මේ රැස්වෙලා ඉන්න ආදරණීය අපේක්ෂක අපේක්ෂිකාවන්.

මේ රටේ පාලන බලය හොබවපු පක්ෂ දෙකේම අය නැවත ජනතාවගේ ඡන්දය ඉල්ලන්නේ අවුරුදු හතරක් යැපෙන්න හොඳ රස්සාවක් හදාගන්න. ලොකු දීමනාවක් නැති වුණාට, ලැබෙන දේශපාලන බලය පාවිච්චි කරලා ලොකු ධනස්කන්දයක් උපයාගන්න පුළුවන් නිසා. මේ වගේ දේශපාලන සංස්කෘතියක් තුළ ජනතා විමුක්ති පෙරමුණේ අපි පුවත්පත් දැන්වීමක් පළ කළා. මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ යටතේ අපේක්ෂකයන් වශයෙන් කැමති අය ඉදිරිපත් වෙන්න කියලා. අපි එහෙම කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ඉන්න රට ගැන හැඟීමක් තියෙන කැපවීමෙන් රට ගොඩනඟන්න අපේක්ෂාවක් තියෙන ප‍්‍රතිපත්තිගරුක මිනිසුන් වෙනුවෙන් අපේ පක්ෂයෙන් ඉඩ ලබාදෙන්නයි. මේ සමුළුවේදී අපේක්ෂක අපේක්ෂිකාවෝ හැමදෙනාම ඒ බවට දිවුරා පොරොන්දු වුණා.

අපි මේ මැතිවරණයට එන්නේ රට පුරාම පළාත් පාලන ආයතනවලට අපේක්ෂක අපේක්ෂිකාවෝ ඉදිරිපත් කළ ජයග‍්‍රාහී පසුබිමක. පළාත් පාලන මැතිවරණයකට යාපනය, කිලිනොච්චිය, මුලතිව් වගේ දිස්ති‍්‍රක්කවලින් අපේ පක්ෂයෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කළ පළමුවෙනි අවස්ථාව මේක. ඒක ජනතා විමුක්ති පෙරමුණ විදිහට ලබාගත් විශාල ජයග‍්‍රහණයක්. අපේ පක්ෂයේ ගෞරවණීය දේශපාලන සංස්කෘතිය රටට අවශ්‍යයි. එය ජයග‍්‍රහණය කරා ගෙනයන්න ඉන්නේ මෙතනට රැස්වෙලා ඉන්න ඔබ සැමදෙනායි. මේ දක්වා අපේ රටේ මැතිවරණ සිතියම හැදුවේ බලයේ සිටින පාලක පක්ෂයයි. මේ මැතිවරණය ජනතාවගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වඩාත් හරවත් ආකාරයෙන් දිනාගන්නට අනුර කුමාර සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ මන්තී‍්‍ර සහෝදරවරු සමත් වුණා. අද මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඡන්දයට එන්නේ නාවන්න බල්ලන් ගෙනියනවා වාගේ. ඡන්දය කල්දාන්න යටිකූට්ටු ආකාරයට පෙත්සම් ඉදිරිපත් කළා. ඒ පෙත්සම් ඉවර වෙනවාත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායමත් තවත් විදිහකින් පෙත්සම් ඉදිරිපත් කළා. ඒවගේම එක්සත් ජාතික පක්ෂයත් අනුන් තුළ හැංගිලා ඡන්දය කල්දාන්න කැමැත්තෙන් සිටියේ. ඒ සියලූ තත්ත්වයන් දැන් පරාජය කර තිබෙනවා.

මේ මැතිවරණයට විශ්වාසයෙන් ඉදිරිපත් වෙන එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. ජනතාවගේ පැත්තෙන් ඉල්ලා හිටිය මනාප පොරය නැති කොට්ඨාසයට වගකියන මන්තී‍්‍රවරයෙක් සහිත අවම වශයෙන් කාන්තා නියෝජනය 25%ක් සකී‍්‍රයව දේශපාලනයට සම්බන්ධවන අලූත් තත්ත්වයක් තුළ අපි මේ මැතිවරණයට මුහුණ දෙනවා. මේ නිසා ඡුන්ද කල්දැමීමේ කුමන්ත‍්‍රණ පරාජයට පත්කර, සටන් කිරීමෙන් ලබාගත් ඡුන්දයේ ප‍්‍රතිඵල ජනතාවට වාසිදායක ආකාරයට ලබාගත හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් වැඩි පිරිසක් මහජන නියෝජිතයන් වශයෙන් පත්කර ගත්තොත් පමණයි. මේ වන විට අප ඉදිරියේ තියෙන ප‍්‍රධාන අභියෝගයත් ඒකයි. කොට්ඨාස වගේම පළාත් පාලන ආයතන රැසක බලය බිම් මට්ටමෙන් ලබාදීමෙන් ජනතාවට වැඩි ජයග‍්‍රහණ ලබාගන්න පුළුවන්. පල්වෙලා ගඳ ගහන, වංචා – දුෂණ පිරුණු මත්ද්‍රව්‍යවලට ලොල් බවක් දක්වන ජාවාරම් කාරයන්, හොරෙන් වැලි ගොඩ දාන්නන්, වගේ අයගෙන් හොර ගුහාවක් වූ මේ ආයතනය මහජන මිත‍්‍රශීලී ආයතන බවට පත්කරන්න ඕනෑ. පහුගිය හැත්තෑවසර පුරා වගේම විශේෂයෙන් 1977න් පස්සේ පාදඩකරණය කළ දේශපාලනය මේ රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරුණා. මේ තත්ත්වය වෙනස් කරන්න දේශපාලනඥයා මහජන මිත‍්‍රශීලී මහජන සේවකයෙකු කරන්න ඕනෑ. එයට මුල පුරන්න හොඳම තැන පළාත් පාලන ආයතනයි.

මේ දක්වා එක්සත් ජාතික පක්ෂයේ හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය තුළ සිටි අවංක කි‍්‍රයාකාරිකයන් රැුසක් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් විදිහට ඇවිත් තියෙනවා. ඔවුන් ඇවිත් තිබෙන්නේ විවිධ දුෂ්කරතා දරාගන්න, වැඩියෙන් කැපකිරීම් කරන්න, පඩි නැතිව වැඩකරන්න විතරක් නොවෙයි, බැණුම් අහන්නත් බලාගෙනයි. අවලාද අපහාස අහන්නත් බලාගෙනයි. මේ හැමදෙනාම ජනතාව අතරට යන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ගම ගොඩනඟන වැඩපිළිවෙළක් සහිත අපේක්ෂකයන් හැටියටයි. ඒ වෙනුවෙන් තමන්ගේ තිබෙන කැපවීම, ප‍්‍රතිඥාවකින් ප‍්‍රකාශ කළා. ගම ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මේ බිමේ යථාර්ථයක් කරන්න ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපි සතුරාව පරාජය කරන්න ඕනෑ. ඡුන්දයෙන් විතරක් නොවෙයි. දේශපාලන වශයෙනුත් පරද්දන්න ඕනෑ. දේශපාලන වශයෙන් පරාජය කළ හැක්කේ ආදර්ශ දීමෙන්. දුෂ්කරතා විඳදරා ගනිමින් කැපකිරීමෙන්. මහජනතාවගේ පොදු අරමුණු වෙනුවෙන් පෞද්ගලික ජීවිතයේ සුඛ විහරණය, කැපකිරීමෙන් විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒ පොදු අරමුණු වෙනුවෙන් දිවිපුදා ගොඩනඟාගත් පක්ෂයක්.

අපේ පක්ෂයේ කැපකිරීම් කළේ, බිම් මට්ටමේ කි‍්‍රයාකාරිකයන් විතරක් නොවෙයි. මහජන නියෝජිතයා සත්‍ය වශයෙන්ම ජනතා සේවකයෙක් බව තහවුරු කළේ 1981 දිස්ති‍්‍රක් සංවර්ධන සභාවලදී මන්තී‍්‍රවරුන් 13දෙනෙකු තේරී පත්වූ අවස්ථාවේ ඉඳලයි. එදා අපේ පක්ෂයෙන් මන්තී‍්‍රවරුන් සඳහා ප‍්‍රතිපත්තියක් හැදුවා. තමන්ට ලැබෙන දීමනාව පෞද්ගලිකව පරිහරණය නොකළ යුතු බවට. 1984 මුල්වරට හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාව, අපේ පක්ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ලබාදුන්නා. එදා ඉඳලා අද දක්වාම නිහාල් ගලප්පත්ති සහෝදරයා ඒ ගෞරවනීය ආදර්ශය රටට ලබාදෙමින් සිටිනවා. 1997 පළාත් පාලන මැතිවරණයෙන් මන්තී‍්‍ර ධුර 101 ක් ලබාගත්තා. පළාත් සභාවලින් මන්තී‍්‍ර ධුර 24ක් ලැබුණා. ඒ ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මහජන මන්තී‍්‍ර අරමුදල වැඩි වුණා. මන්තී‍්‍ර වැටුප් හා දීමනා විතරක් නොවෙයි කාර්ය මණ්ඩල වැටුප් හා දීමනාත් මේ අරමුදලට එකතු වුණා. අපි මුලින්ම මේ අරමුදල යොදවලා හම්බන්තොට දිස්ති‍්‍රක්කයෙන් විශ්විවිද්‍යාලයට තේරී පත්වුණු ආර්ථික දුෂ්කරතා තියෙන ශිෂ්‍යයන් පිරිසකට ආධාර ලබාදුන්නා. මම මේ ඉතිහාසය මතක් කරන්නේ අපේ අපේක්ෂකයන් වශයෙන් පක්ෂයට එකතු වුණු අලූත් සහෝදර සහෝදරියන්ගේ දැනගැනීමටයි. මන්තී‍්‍ර අරමුදල යොදවලා කුරුණෑගල දුෂ්කර විදුහලක පුස්තකාලයක් සංවර්ධනය කර දුන්නා. අපි ඒක නම් කළේ සුමිත් අතුකෝරල පුස්තකාලය කියලයි. ඒ වගේම අද වගේ පරිගණක පහසුකම් නොතිබුණු 2000ට ඉස්සෙල්ලා කාලයේ රටපුරා විශ්ව පරිගණක මධ්‍යස්ථාන පහක් පටන් ගත්තා. නොමිලයේ පරිගණක පුහුණු ලබාදුන්නා. මන්තී‍්‍ර වැටුප් නොගෙන ඒවගේම කාර්ය මණ්ඩලවල වැටුප් නොගෙන මහජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන ආදර්ශය අපි ගොඩනැඟුවේ ඒ විදිහටයි.

මේ සමාජයේ හොඳ මිනිහෙක් වෙන්න අමාරුයි. මේ සමාජ ක‍්‍රමය ඉල්ලා සිටින්නේ ජරා ජීර්ණ වූ, තමන් ගැන විතරක් හිතන අතිශය ආත්මාර්ථකාමී වූ මිනිස් කොට්ඨාසයක්. එවැනි තත්වයක් හමුවේ සාමූහිකත්වයෙන් තමන්ගේ මනාප අංකය පවා අනික් අයට නොකියා මනාප පොරය යටතේත් අපේ පක්ෂය මැතිවරණ ආදර්ශයන් ලබාදී තිබෙනවා. තමන් අපේක්ෂකත්වය ලබාගන්නේ මම දිනන්න නොවෙයි. ප‍්‍රතිපත්ති දිනවන්න. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති මේ මහ පොළවේ යථාර්ථයක් කරන්න. අපිට තියෙන්නේ පොදු අරමුණුම නිසා, පළාත් පාලන ආයතනවලින් තේරී පත්වෙන අපේ මන්තී‍්‍රවරුන්ගේ දේශපාලන වගකීම තියෙන්නේ තමන්ගේ කොට්ඨාසයට විතරක් නොවෙයි, මුළු රටටම බවත් මතක් කරන්න ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දිනයකින් පස්සේ පිට්ටනිය සුද්ද පවිත‍්‍රකර, ආදර්ශ දෙනවා වගේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් දිනුවට පස්සේ තමන්ගේ කොට්ඨාසය වෙනමම ආදර්ශවත් කොට්ඨාසයක් වශයෙන් ගොඩනඟලා පෙන්වමු. රට වෙනස් කරන්න ආදර්ශය දෙන්න ඕනෑ ගමෙන්. 2020දී ආණ්ඩු වෙනස් කිරීමේ හැකියාව පෙන්වන්න ඕනෑ මේ මැතිවරණයෙන්. ජන සහභාගී සංවර්ධනය ගමෙන් පටන් ගන්න ඕනෑ. එවැනි දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ විශාල වගකීමක් ඔබ සියලූ දෙනාට පැවරී තිබෙනවා.

අනික් පක්ෂවලින් මේ අපේක්ෂක ලැයිස්තු හැදීමේදී පෙන්වා තියෙන්නේ හිරගෙවල්වල ඉන්න ඕනෑ මිනිස්සු මහජන නියෝජිතයන් වශයෙන් සභාවලට පත්කරන්න උත්සාහ කරන බව. ඒ අය නීතිය මඟින් හිරගෙවල්වලට යවන එකත් අපි කල්පනා කරමු. අලූත් දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන්න ජනතාව පෙළගස්වන එකත්, මේ මැතිවරණයෙන් අපි පෙන්වමු. අනික් පක්ෂ කරන්නේ ජනතාවට සිමෙන්ති, ටකරන් තහඩු, ගිනිපෙට්ටි, වගේ දේවල් බෙදා දෙන එකයි. ඡුන්දවලදි තාම, බෙදුවේ නැත්තේ මිනීපෙට්ටි විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි බෙදන්නේ, බඩු නෙවෙයි. ජනතාව දැනුවත් කරන අදහස්. බඩු බෙදන ඒවා ටික දවසකින් විනාශ වෙලා ඉවර වෙනවා. අපි බෙදන අදහස් මිනිසුන්ගේ හදවත්වල සදාකාලිකව පවතිනවා. සමාජය ගොඩනඟන්න ජනතාව පෙළ ගස්වන්න ඕනෑ බඩුවලින් නොවෙයි. අදහස්, මතවාද, ප‍්‍රතිපත්ති සහ ආදර්ශවලින්. අපට ඕනෑ ජනතාවට වගකියන පාලනයක් බිහිකරන්න. එහෙම ආණ්ඩුවක් හදන්න මුලපුරන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු. මුළු රටම ඒවෙනුවෙන් සූදානම් කරමු. හැත්තෑවසරක් පුරා මේ රට වෙලාගත්ත ජඩ පාදඩ දේශපාලන ගමන්මඟ අවසන්කර, වංචාව – දුෂණය පරදවන ගම හදන ඡන්දයක් බවට පත්කර ගනිමු. මේ සඳහා මේ කාලකණ්ණි ක‍්‍රමය සදහටම පරාජය කරන්න ඕනෑ. ඡන්ද ප‍්‍රතිඵල නිකුත්කරන කොට ජනතා විමුක්ති පෙරමුණට දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාදී රට ගොඩනඟන ඡන්දයක් බවට මේ මැතිවරණය පත්කර ගනිමු.

ජවිපෙ අපේක්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධතිය