මුලතිව් දැරියන්ට ගුරුවරුන්ගෙන් නරක කලදවසක්!

0

උතුරේ පාසල් ශිෂ්‍යාවන් ගුරුවරුන් අතින් ලිංගික අතවර වලට ලක්වීම වැඩිවී ඇතත් පළාතේ දේශපාලනඥයින් ඔවුන්ට දඬුවම් කිරීමට කටයුතු කිරීම වෙනුවට ඔවුන් ආරක්ෂා කරන බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මුලතිව් මන්ත්‍රී ඒ. පුවනේස්වරන් පවසයි.

උතුරු පළාත් සභාවේ 2018 වර්ෂයේ අයවැය අදහස් දැක්විමට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කලේ මුලතිව් දිස්ත්‍රික්කය තුළ පාසල් දැරියන් ගුරුවරුන් අතින් ලිංගික අතවර වලට ලක්වීම ඉතා සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇතත් බොහෝ සිද්ධීන් පොලීසිය වෙත යාමටවත් නොදී දේශපාලනඥයින් විසින් පවුල් මට්ටමින් විසඳන බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ දැනට පදිංචිව සිටින්නේ වසර තිහකට වඩා වැඩි කාලයක් තැන් තැන් වල ජීවත් වූ වැසියන් නිසා ඔවුනොවුන් එකිනෙකා නොහඳුණන තත්ත්වයක් දක්නට ලැබීම හේතුවෙන් සැකකරුවන් හඳුනා ගැනීම පවා දුෂ්කර වී ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

මෙවැනි අපරාධවලට ලැබෙන දඬුවම් අවම බව අපරාධ කරුවන් දන්නා නිසාත් උතුරේ දේශපාලනඥයින් අපරාධකරුවන්ට උදව් කිරීමත් නිසා ගුරුවරුන් ශිෂ්‍යාවන්ට සිදු කරනු ලබන ලිංගික අතවර වැඩි වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එවැනි සිද්ධීන්ට හසුවුණු ගුරුවරුන්ට දඬුවමක් වශයෙන් ලැබී ඇත්තේ ස්ථාන මාරුවක් පමණක් බවද කියා සිටියි.

මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන්ගේ ආර්ථික අපහසුකම්, පළාතේ ප්‍රවාහන පහසුකම් අඩු කම හා ගැටළු වලින් එහි ජනතාව පෙලීම යන කරුණු දඩමීමා කරගෙන එම ප්‍රශ්නවලට උදව් කරණ මුවාවෙන් ගුරුවරුන් පමණක් නොව වෙනත් අයද කාන්තාවන් ලිංගික අතවර සඳහා යොමු කරගන්නා බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.