රුසියාවෙන් හසුවු කෘමියා ශ්‍රී ලංකාවේ තේ වගාවේ හෝ වෙනත් කෘෂි වගාවක නෑ…

0

ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ බහලුමක තිබි හසුවණායැයි කියන කෘමියා ශ්‍රී ලංකාවේ තේ වගාවේ හෝ වෙනත් කෘෂි වගාවක මෙතෙක් වාර්තාවී නොමැති කෘමියෙක් බවත්, එම නිසා ලංකාවේතේ ගොවියා හෝ සෙසු බෝග වගාකරුවන්  ඒ සම්බන්ධව බියක් ඇතිකරගත යුතු නොමැති බවත් ශ්‍රීලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.බී.ගවරම්මාන අද (18) පැවසීය.

ශ්‍රීලංකාවේ සිට රුසියාවට පසුගියදා  ආනයනය කරන ලද තේ තොගයක් ඇතුළතක් බහලුමක තිබී “කප්රා බීට්ල්” (ප්‍රගෝඩමා ගානේරියන්) නැමති කෘමියාගේ සුහුඹුලකු හමුවිමේ සිද්ධියත් සමග රුසියානු රජය මගින් ශ්‍රීලංකාවේ තේ හා සියලු කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම තාවකාලිකව තහනම් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ තේ පර්යේෂණායතනයේදී අප කළ විමසුමකදී වෛද්‍ය ගවරම්මාන එසේ පැවසීය.

එහිදී මාධ්‍යට වැඩිදුරටත් අදහස් දක්වමින් ගවරම්මාන මෙසේද කීය.

“ශ්‍රී ලංකාවෙන් අපනනයනය කරන තේ හා අදාළ කෘෂි නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පනවා ඇති බවයි දැණුම් දී තිබෙන්නේ. මා දන්නා තරමින් ඒ තහනම රුසියාවේ ශාක නිරෝධායන අංශය මගින් ශ්‍රීලංකාවේ ශාක නිරෝධායන ආයතනය වෙත ඒ දැණුම්දීම කර තිබෙන්නේ. ඇත්තෙන්ම මෙහිදී සිදුවී තිබෙන්නේ අනවශ්‍ය තොරතුරු මාධ්‍ය හරහා  ප්‍රචාරය වී ඇති බවක් සඳහන් වෙනවා. ඒ කෙසේ වෙතත් සත්‍ය තත්වයනම් කප්රා බීට්ල් නමින් ඇති එසේත් නැතිනම් ප්‍රගෝඩමා ගානේරියන් යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කුරුමිණි විශේෂයක, එහි  සුහුඹුළකු  ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනලද තේ අඩංගු බහලුමක තිබී හමුවීම තමයි සිදුවෙලා තිබෙන්නේ.”

“එසේත් නැතිනම් ශ්‍රී ලංකවෙන් අපනයනය කරන ලද තේවල හෝ තේ අසුරා තිබූ  අදාළ ඇසුරුම්වල නොවේ මේ සුහුඹුලා හමුවෙලා තිබෙන්නේ. ශ්‍රී ලංකාවෙන් තේ අපනයනය කරන ලද බහලුමක නැතිනම් කන්ටේනරයක තිබී හමුවී ඇතිබවයි වාර්තා වෙන්නේ. මේ හමුවුණා කියන සුහුඹුලා සියැසින් නිරීක්ෂණය කරලා පර්යේෂණ කටයුතු සිද්ධ කරලා සත්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ලබා දිමට  කටයුතු කරයි. ඒ වගේම මෙම කප්රා බීට්ල් කියන කුරුමිණි විශේෂය ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ හෝ තේ වගාවේ වගේම වෙනත් කිසිම වගාවක වාර්තාවී  නොමැති කෘමි විශේෂයක්. එම නිසා මෙම කප්රා බීට්ල් නැමති කෘමි විශේෂය අදාළ බහලුම්වල තිබී හසු වුණේ කොහොමද කියන එක අපටත් අපේ පර්යේෂකයින්ටත් යම්කිසි ගැටළු සහගත තත්වයක්.”

“ඒ එක්කම මේ කප්රා බීට්ල් කියන කෘමි විශේෂය රුසියාව ඇතුලු වෙනත් රටවල සිටින බවට වාර්තා වෙනවා. මෙම කෘමි විශේෂය බහුලව ඉන්නේ තිරිඟු, වී එසේත් නැතිනම් ධාන්‍ය වගා ආශ්‍රිතවත් එම ධාන්‍ය ගබඩා කරන ස්ථානවල තමයි ඒ රටවල්වල බොහෝවිට වාර්තා වන්නේ. එසේ නම් ශ්‍රී ලංකාවේ අපනනයනය කරන ලද තේ බහලුමක තිබී මෙම සත්වයාගේ සුහුඹුවකු හමුවීම සම්බන්ධව අදාළ පරීක්ෂණ සිදුවිය යුතුව තිබෙනවා. ඒ එක්කමමම ඉතා වගකීමෙන් කියන්න කැමතියිමේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ තේ වගා කරුවන්ට හෝ අපේ සෙසු කෘෂි බෝග වගාකරුවන්ට මේ ගැන කිසිදු  බියක් ඇතිකර ගතයුතු නෑ.මෙම කප්රා බීට්ල් කියන කෘමියාගේ තර්ජණයක් අපේ බෝග වගා කරුවන්ට නෑ.”

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)