යුධ හමුදා මූලස්ථානය කොළඹ නගරයෙන් ඉවත් කිරීමෙන් නගරයේ ආරක්ෂාවට තර්ජනයක්

0

යුද හමුදා මූලස්ථානය පිහිටි ඉඩම ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතියට දීමෙන් පසු එයට අයත් ආයතන කොළඹ අවට ගොඩනැගිලි පහළොවක කුලී පදනම මත ගෙන පවත්වා ගෙන යාමෙන් වසරකට රුපියල් මිලියන 5000ක වියදමක් දැරීමට රජයට සිදුව තිබෙන බව ජනාධිපතිවරයා විසින් ඊයේ (19) කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

යුද හමුදා මූලස්ථානය සඳහා සුදුසු එක් ස්ථානයක් කුලියට නොගෙන ගොඩනැගිලි පහළොවක එය ස්ථාපිත කිරීමට එකල රජයට තිබූ හදිසි අවශ්‍යතාව කුමක්ද? යන්න වහා සෙවිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදි පවසා ඇත්තේ.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කර සිටියේ ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම හමුදා මූලස්ථානය සඳහා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක මුදලක් ලබා දුන් බවත් එම මුදලෙන් බත්තරමුල්ලේ ඉඩමක් රැගෙන හමුදා මූලස්ථානය ඉදිකරමින් පැවති නමුත් එහි ඉදිකිරීමේ කටයුතු ද අතරමග නතර කර ඒ ඉදිකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ය.

එසේම යුධ හමුදා මූලස්ථානය කොළඹ නගරයෙන් ඉවත් කිරීමෙන් නගරයේ ආරක්ෂාවට තර්ජනයක් හටගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියා.