කොළඹ නගරය මේ රටේ බලගතුම නගරය වෙන එක නතර කරන්න කාටවත් බෑ..!

0

‘රාජ්‍ය නිලධාරීන් අකාර්යක්ෂමයි, නගර සභාවල ඉන්නේ පගා මරුවෝ. වැඩක් කර ගන්න බැහැ කැම්මැලියි’ යන චෝදනා මැදින් කොළඹ කුණු ප්‍රශ්නයට සාර්ථක ලෙස විසදුම් සෙවීම සාර්ථකව සිදු කර ගැනීමට හැකියාව ලැබුණු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වෝටර්ස් ඒජ් කොළඹ නගරයේ කැළි කසල ගැටළුව විසඳීමට දායක වූවන් ඇගයීමේ සම්මාන රාති‍්‍රය හෙවත් ‘කොළඹ නගර අලංකරණ සම්මාන ප‍්‍රධානෝත්සවය – 2017’ අමතමිනි.

”ඉහළම නිලධාරියාගේ සිට පහළම කම්කරුවා දක්වා ඔබ සියළු දෙනාටම අපේ ප‍්‍රණාමය පුද කරනවා දේශපාලන අධිකාරියකින් තොරව නිලධාරීන් හැටියට කොළඹ නගරය අර්බුදයට පත්වී රටම විවේචනය කරන අවස්ථාවක එය ගලවා ගැනීම සඳහා දිවා රාත‍්‍රියේ වෙහෙස මහන්සිවෙලා වැඩකරලා රටට ආදර්ශයක් ලබාදීම ගැන. බොහෝ දෙනෙක් විශ්වාස කළා කොළඹ නගරයේ උදා වූ ඒ කැළිකසල ගැටළුව හමුදාවේ උදව්වකින් තොරව විසඳන්න බැහැයි කියලා. ඒ ආපදා තත්වයන්වලදී අපේ ආරක්‍ෂක අංශ අති විශිෂ්ඨ මෙහෙයක් කර තිබෙන බව ඇත්ත. නමුත් මේ අවස්ථාවේදී අපේ ආරක්‍ෂක අංශ සිදු කළේ පසුවිපරමක් පමණයි. සෑම ආකාරයකින්ම ඒ කැපවීම කළේ අපේ නිලධාරීන් හා සේවකයින්. මේ රටෙත් විශ්වාසයක් තිබෙනවා රාජ්‍ය නිලධාරීන් අකාර්යක්ෂමයි, නගර සභාවල ඉන්නේ පගා මරුවෝ. වැඩක් කර ගන්න බැහැ කැම්මැලියි. මේ වගේ චෝදනා අතිවිශාල ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ චෝදනා අතරින් විශේෂයෙන්ම රටේ පාලනයට අමාරුම තැන වෙච්ච කොළඹ නගර සභාව මේ ලබාගත් ජයග‍්‍රහණය ඉදිරියටත් කරගෙන යනු ඇති කියා අපි විශ්වාස කරනවා. ලබන පෙබරවාරි මාසයේ සිට දේශපාලන නායකත්වයක් කොළඹ නගර සභාවට ලැබෙනවා. මේ ලැබුණු ආදර්ශය, මේ ලැබුණු වැඩසටහන ඒ අය ඉදිරියටම රැගෙන යනු ඇතැයි කියා අපි විශ්වාස කරනවා යයි”

“නැවතත් රාත‍්‍රී 7.00ට එහෙම නැත්නම් හවස 5.00 ට ඔබව වෙහෙස කරවපු ඒ රැස්වීම් නැවත පවත්වන්නේ නැහැ. ජනවාරි 1 වෙනිදා ඉඳන් අපේ නගර සභාව ඒ කටයුතු අපේ කොමසාරිස්තුමා ඇතුළු අපේ නිලධාරී මණ්ඩලයේ මූලිකත්වයෙන් ඒ කටයුතු සිදු කරනු ඇතියි කියා අපි බලාපොරොත්තු වෙනවා. අර්බුදය පියමං කරන්න පමණයි අපි කිසියම් සහයක් දුන්නේ. දැන් ඔබ සියළු දෙනාම ඒ ශක්තිය ලබාගෙන තිබෙනවා. අපි වැඩමුළුවක් පැවැත්වූවා එමගින් මේ සියළු දෙනාම ඒ වගකීම් හඳුනාගෙන තිබෙනවා. මේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කණ්ඩායම ඒ එක එක්කෙනාගේ කණ්ඩායම වගකීම් සහිත ඔවුන්ගේ වැඩ කොටස පිළිබඳව තිබෙන ලිඛිත ලියවිලි ලබාදෙනවා ඇති.”

“ඒ වගේම අපි අපේ පරිසර සංවිධානවලට ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපට ලබාදුන් සහයෝගය ගැන. පරිසරය අධිකාරිය අපට ලබාදී තිබෙනවා නියෝග 121 ක්. මේ කසළ රඳවනයට ඉදිකරනවා නම් ක්‍ෂෙත‍්‍ර 12 ක නියෝග 121 ක් අපට ලබා දී තිබෙනවා කරන්න කියලා. ඒ නියෝග 121 කම අපි ඉටු කරන බව මම මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා. පරිසරයට කිසිම ආකාරයක හානියක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අද ඒ ප‍්‍රදේශයේ විනාශ වෙලා තිබෙන පරිසරය ප‍්‍රතාපවත් පරිසරයක් බවට නැවත අපි පත් කරනවා. ඒ වගේම ඒ අවට ගම්මාන සඳහා ඔවුන්ගේ ජන ජීවිතය වෙනස් කිරීම සඳහාත් කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්න ඕනේ. කෙසේ උනත් ඒ සියල්ලටම ඔබේ සහය ඉදිරි කාලයේදී අවශ්‍යයි.”

“මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේ ඒ කසළ කන්ද ස්ථාවර කිරීම සඳහා කිසිම රාජ්‍ය ආයතනයක් ඉදිරිපත් උනේ නැහැ. එය අපේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක තිබූ කසළ කන්දක්. ඒ නිසා අපි ඒ අවස්ථාවේදී එම වගකීම බාරගත්තා. එපමණක් නෙමෙයි අපේ ආරක්‍ෂක අංශවල ශක්තිය, අපේ විද්‍යාඥයින්ගේ ඉදිරිපත්වීම, අපේ අමාත්‍යාංශයත් සමග වැඩ කරන පෞද්ගලික අංශය තමයි අපට වතුර පොම්ප, විදුලි ආලෝකරණය සඳහා අවශ්‍ය ආම්පන්න ඇතුළු සියල්ලම ලබාදුන්නේ. පෞද්ගලික අංශ කළ උපකාරත් අපි මේ අවස්ථාවේදී අමත කරන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ආපදාවක් උනහම දින ගණන්,මාස ගනන්, අවුරුදු ගණන් මිනිසුන්ට සහන ලැබෙන්නේ නැහැ. නමුත් නාගරික සංවර්ධන අධිකාරියට පුළුවන් වුණා සතියක් ඇතුළත නිවාස 98 ක් ලබාදීලා ඒ ජනතාව අනාත කඳවුරුවල ඉන්න තත්වය වෙනස් කරන්න. අද ඒක සම්පූර්ණයෙන්ම විසඳපු ප‍්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. දැන් වැදගත් කරුණ මෙතනින් කොතනටද කියලා. 1997 ඉඳන් මේ ගැටළුව විසඳන්න හදපු හැම උත්සාහයක්ම ආණ්ඩුවල වරදවලට වඩා සම්පූර්ණ දේශපාලන බලවේගවල පටු විරෝධතා නිසා තමයි මේ ව්‍යසනය අපට ඇතිවුණේ.”

“මේ දෙසැම්බර් මාසේ 16 මම ගියා අරුවක්කාලූ ප‍්‍රදේශයේ තිබූ රැස්වීමට, මැතිවරණ කොමසාරිස්තුමා ලියුමක් එවලා තිබුණා කිසිම දේශපාලනඥයෙක් ඒ රැස්වීමට සම්බන්ධ වෙන්න එපා කියලා. ඒ නිසා ආවේ රංගේ බණඩාර මහත්මයා විතරයි. කිසිම විරෝධයක් නැහැ. නැගිටපු ආගමික නායකයෝ, ජනතාව ඇතුළු සෑමදෙනෙක්ම සඳහන් කලේ මේක බොහොම හොඳ වැඩක්. මේකෙන්වත් රටේ ප‍්‍රශ්න විසඳෙනවා නම් අපි කැමතියි කියලා. ඔක්තොම්බර් 15 දේශපාලකයෝ ටිකත් එක්ක තිබුණු රැස්වීමේ විරෝධතා සමග එකම ගාලගොට්ටියක්. දේශපාලකයෝ නැති වුණා විතරයි කිසිම විරෝධයක් ඒ ප‍්‍රදේශයේ නැහැ. අපි ඉල්ලා සිටිනවා දරුවන්ගේ නාමයෙන් මේ සෑම දේශපාලනඥයෙක්ගෙන්ම අරුවක්කාලූ කසළ රඳවනයට විරුද්ධ වෙන්න එපා කියලා. මේ වන විට එහි කටයුතු සාර්ථකව රජයේ අනුග‍්‍රහයද ඇතිව සිදු කරගෙන යනවා.”

“ඒ වගේම මීතොටමුල්ල කසල කන්දත්, බ්ලූමෙන්ඩල් කසළ කන්දත් නාගරික උද්‍යාන බවට පත් කිරීමේ කි‍්‍රයාවලිය ලබන වසරේ ආරම්භ කරනවා. මේවාට එරෙහිව විරෝධතා පැවැත්වීමෙන් මේක වැලැක්වුවහොත් ඒක රටට කරන සාහසික අපරාධයක් වෙනවා. තව මීතොමුල්ලවල් තැනින් තැන ඇතිවීම පමණක් සිදුවෙනවා. ඒවගේම අපි කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කිහිපයක් කි‍්‍රයාත්මක කළා. ඒවාත් යම් යම් අභියෝග මධ්‍යයේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව කියන්න ඕනේ. ඒ වගේම සමහර පාසල් ඇතුළු ඒවයේ අපේ අමාත්‍යාංශයේ කසළ කලමණාකරණ අංශය ගිහින් කටයුතු කළා. අද අපට කියන්න සතුටුයි. දේවි බාලිකා විද්‍යාලය, ඞී.එස්. සේනානායක විද්‍යාලය අද කසළ කිලෝවක් නෙමෙයි ග‍්‍රෑම් එකක්වත් කොළඹ නගර සභාවට ලබා දෙන්නේ නැහැ. අද ඒ දරුවෝ තමන් ඉදිරිපත් වෙලා ඒ වෙනස ඇති කර තිබෙනවා. ඒ වෙනස සෑම රාජ්‍ය ආයතනයකම, පෞද්ගලික ආයතනයකම ඉදිරි කාලයේදී අපි දියත් කළ යුතුයි. කසළ වලට විරෝධය පාන අය පළමුවෙන් තමන්ගේ ගෙදර, තමන්ගේ ගමේ කසළ පිළිබඳව තමන් කරලා තියෙන්නේ මොනවද කියනඑක පිළිබඳව වගවීම සලකලා පාරට බැසිය යුතුයි. ඒ නිසා සියළු දෙනාගේම සහයෝගය ප‍්‍රාර්ථනා කරනවා. මීතොටමුල්ලවැනි ඛේදවාචක යළි සිදුනොවෙන්න, ඒ ජීවිත පූජා කළ සියළු දෙනාගේ ජීවිතවලට වටිනාකමක් ලබාදෙන්නවත් මේ විද්‍යාත්මක විසඳුමට ඉඩකඩ ලබාදෙන්න කියලා. මේක මේ කොළඹ නගරයට විතරක් නෙමෙයි මුළු රටටම කරන මාහැගි සේවයක්.”

“ඒ වගේම අපි මෙයට සමාන්තරව නගර සභාවේ ඇප උපකාර ඇතිව ගවයින් ඉවත් කර ගන්නයි කියා අපේ ජනතාවගේ ඉල්ලීමක කළා. අපට කියනන සතුටුයි මේ දෙසැම්බර් 15 ට කලින් ඉවත් කර ගන්නයි කිව්වා. දැන් බොහෝ දෙනෙක් ගවයින් ඉවත්කරගෙන තිබෙනවා. පියවරෙන් පියවර අපි අපේ නගරය පිරිසිදු ඒ වගේම පිළිවෙලකින් යුතු නගරයක් බවට පරිවර්ථනය කර ගත යුතුයි. එහෙම උනොත් ආයෝජකයෝ වෙනත් විවිධ පිරිස් අපේ නගරයට සීග‍්‍රයෙන් ඇදී එන එක වලක්වන්න කිසි කෙනෙකුට හැකියාවක් නැහැ.”

කොළඹ නගරය ස්ථිරසාරවම මේ රටේ බලගතුම නගරය වන එක වලක්වන්න කාටවත් බැහැ. හැබැයි නගරය බලගතු වෙන්න නම් නගරය පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගකීම ඔබ හැම ඉදිරි කාලයේදී ඉටු කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඔබ හැම දෙනාම ඒ සම්බන්ධයෙන් දක්වපු සහයෝගයට අපේ ස්තූතිය අපි පිරිණමනවා. අපි මේ ලබාගත් ශක්තිය ඉදිරි කාලයේදී ඉදිරියට අරන් ගිහින් අපේ නගරය මේ කලාපයේ හොඳම නගරය බවට ඉහළට ඔසවා තබන්න අපට ආපහු හැරිලා බලනකොට අපිත් අපේ ජීවිත කාලය තුළ වැදගත් යමක් නගරයට කළා ඩෙංගු රෝගයෙන්, කසළ වලින්, මැසි මැස්සන්ගෙන් පීඩා විඳපු නගරය ගලවා ගන්න අපි වැඩපිළිවෙලක් කළා. ඒ විතරක් නෙමෙයි ස්ථිරසාර විසඳුමක් මේකට අප දුන්නාය කියා ආඩම්බරයෙන් ආපහු හැරිලා බලන්න ඔබ සියළු දෙනාමට හැකියාව ශක්තිය අනාගතයේදී ලැබෙයි.” අමාත්‍යවරයා මෙහිදි අදහස් දක්වමින් පවසා සිටියා.

Champika Ranawaka