පොහොට්ටු පක්ෂය අවජාතක පක්ෂයක්!

0

අම්මෙක්, තාත්තෙක් නැති පොහොට්ටු පක්ෂය අවජාතක පක්ෂයක් බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ පවසයි.නාවලපිටිය ආසනයේ ගඟඉහළකෝරලේ එජාප මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹමින් කුරුඳුවත්ත නගරයේ පැවැති රැස්වීම ක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ ගාම්භීර පක්ෂ දෙකක් බවත් අනෙක් පක්ෂවලටද මේ රටේ පිළිගැනීමක් ඇතිමුත් පොහොට්ටු පක්ෂය අවජාතක පක්ෂයක් බවයි.

“මේ පොහොට්ටු පක්ෂයේ නායකයාවත් ඒකෙ සාමාජිකත්වය අරගෙන නෑ. ළගදි මහින්දානන්ද ශ්‍රී ලනිප පක්ෂයෙන් අයින් කළා. එයා පොහොට්ටු පක්ෂයේ ඉන්නේ. එයාවත් මේකේ සාමාජිකයෙක් නොවේ. මම පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්ෂ ඉස්සරහා තියාගෙන කීවා මේ අවජාතක පක්ෂ හදලා ජනතාව අමාරුවේ දාන්න එපා කියලා.”

“මේකේ එකම සාමාජිකයා හැට පැනලා හොට බිම ඇනිලා ජනතාව අතරින් පරාජය වුණ ජී.එල්. පීරිස් පමණයි ඉන්නේ. බංකොලොත් දේශපාලනඥයෝ පළාත් පාලන ආයතන මැතිවරණය කියන්නේ මොකක්ද කියලාවත් දන්නැතිව මේකෙන් රට පෙරළන්න දඟලනවා. මහජනතාව නොමඟ යවමින් ඔවුන් උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්නයි.”

“මේ ඡන්දයේ ප්‍රතිඵල මොකක් වුණත් ඉදිරි කාලයේත් මේ රටේ ජනාධිපති මෛත්‍රිපාල මහත්තයම තමයි. ඒ වගේම අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයම තමයි. ආණ්ඩුවත් මේ ආණ්ඩුවම තමයි.”